අවධි

අඩි දහයයි අටේ පමණ වූ කුඩා කාමර විශාල සංඛ්‍යාවක් හා තට්ටු ගණනාවකින් යුක්ත විශාල ගොඩනැගිලි සංකීර්ණයක මධ්‍යයේ පිහිටි උසම ගොඩනැගිල්ලක, සවැනි තට්ටුවේ, අංක විසිපහ දරණ කුඩා කාමරයේ, මම ජීවත් වන්නෙමි.

මගේ කාමරයට දකුණින් පිහිටි අංක විසිහතර කාමරයේ, තමා සිදු කළ පව් පිළිබඳව පසු තැවෙන ප්‍රභාකරන් ද, වම් පසින් පිහිටි අංක විසිහය කාමරයේ සියලු පව් කළවුන්ට දඬුවම් පමුණුවන යම රජු ද වාසය කරති. ප්‍රභාකරන් මාගේ අතිජාත මිතුරෙකි. ඔහු නිතරම ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව මා හා බුද්ධිමය සංවාදයේ නිරත වෙයි. කිසිදු සුහදශීලී මුහුණක් උපතින්ම පිහිටා නැති, තමා සතු බලය නිසාමදෝ යම් කිසි උඩඟු බවක් පළ කරන යම රජු නම් මා සමඟ කතා කරනු තබා සිනහ වන්නේ ද නැත. ඔහුට මා පෙනෙන්නේ, දැනෙන්නේ මෙලොව ජීවත් වන තවත් එක් නර පණුවෙක් ලෙස පමණක් බැව් දත් මා ඔහු සමග වැඩි ඇයි හොඳැයියක් නොපැවැත්වූවෙමි.

මේ ගොඩනැගිල්ලේ අප කාමර පිහිටි සවැනි තට්ටුවේ, අතිශය වැදගත් චරිත විශාල සංඛ්‍යාවක් වසති. ඒ අයවලුන් අතුරින් මා සිත් ගත්, කතා කර ඇති පුද්ගලයෝ වූයේ බොහෝ අවම සංඛ්‍යාවකි. අනෙක් අය නම් සිටිය ද, නොමැත්තා සේම ය. තම තමන්ගේ කල්පනා වලම නිමග්න ව, සිරගත ව සිටිති. එසේත් නැත්නම් හිස් බැල්මෙන් ඔහේ බලාගත් අතේ බලා සිටිති. නිසල පිළි රූ මෙනි.

පිටත සමාජයෙන් වෙන්ව, මෙම ගොඩනැගිලි සංකීර්ණය තුළටම සිර වී මා ගත කරන මෙම ජීවිතය ගත වන්නේ යම් කිසි ආකාරයක කාලසටහනකට ය. අප සැවොම හොඳින් දත්, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා සේ කලාතුරකින් සුවිශේෂී දිනක් උදා වුව ද, අනෙක් සියළුම දින ගතවන්නේ පූර්ව සැලසුමකට අනුගතව ය. ඒකාකාරීව ය. මෙම ගොඩනැගිලි සංකීර්ණයේ වසන සියල්ලන්ගේම එදිනෙදා කටයුතු, චර්යා පාලනය කරන්නට බලලත් පුද්ගලයන් පිරිසක් ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කරති. ඔවුන්ගේ අණ, දේව අණ මෙනි. එම අණට එරෙහි ව “සිස්ටම්” එකට විරුද්ධ වන්නට මගේ කාමරයට කාමර කිහිපයක් එහායින් වසන සියලු දෙවියන්ට අධිපති සක්කරයාට තබා, ඊටත් එහායින් සිටින අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් ට වත් නොහැක්කේ ය.

මෙහි වසන සමහරුන්ට අනුව මේ පාලක චරිත යම් කිසි අද්භූත බලවේගයකට අනුව ක්‍රියාත්මක වන පුද්ගලයෝ ය. තවත් සමහරු ඔවුන් සර්ව බලධාරී දෙවියන් විසින් එවනු ලැබූ දේව දූතයන් බැව් තරයේ අදහති. එහෙත් මගේ අසල්වාසී යමරජු නම් එම පාලකයන්ට සළකන්නේ තමා යටතේ සේවය කරන යම පල්ලන් ලෙස ය. විටින් විට ඔහු ඔවුන්ට යම් යම් අණ නිකුත් කරනු දක්නට ලැබුණද ඒ අණ පිළිපදිනු ලැබුණු බවක් නම් අසන්නට ලැබෙන්නේ නැත.

පිටත සමාජයෙන් වෙන්වී නිදහසේ ජීවත් වන්නට අවස්ථාව සළසන මෙම ගොඩනැගිල්ලට පැමිණීමට මම තීරණය කළේ අදට අවුරුදු තුනකට පෙර මෙවැනිම දිනකදී ය. මෙහි පැමිණ අවුරුදු තුනක් ගත වීම සැමරීමට මට ඉඩක් නැත්තේ පාලකයන්ට දුර්ලභව උදා වන්නා වූ සුවිශේෂී දිනක් ලෙස අද දින නොසැළකෙන නිසා ය.

මම ජීවත් වන කාමරය, අන් කාමර වලින් වෙනස් වන්නේ එහි ජීවත් වන්නේ මම නිසා ම පමණි. අනෙක් කාමර වල මෙන්ම මෙහි ද ඇත්තේ එක් කුඩා ඇඳක්, “සින්ක්” එකක් හා කුඩා “කොමඩ්” එකක් පමණි කාමරය තුළ ඊට අමතර ව ගෘහ භාණ්ඩ කිසිවක් තබා ගන්නට පාලකයෝ අවසර නොදෙති. එමෙන්ම ජීවිතයකට හානි කළ හැකි කිසිදු ආකාරයක භාණ්ඩයක් ළඟ තබා ගැනීමට ද අපට අවසර නැත. යමක් ලිවීමට අවශ්‍ය නම් පෑනක් පැන්සලක් ළඟ තබා ගැනීමට මා මෙහි පදිංචි වූ අවධියේ අවසර තිබුණ ද, හතරවැනි තට්ටුවේ වාසය කළ මිහිඳු තෙරුන් වහන්සේ ඇට්ලස් චූටි පෑනකින් ගෙල සිදුරු කරගෙන මියගිය දා පටන් එයද අපට තහනම් විය. දැන් යමක් ලිවීමට අවැසි නම් අපට සිදු ව ඇත්තේ ඒ සඳහාම වෙන්වූ ලියන කාමරයට යන්නට ය. එහි සිටින කාල වර්ණැති, බඩතඩි පාලකයා අප පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නේ හදිසියේ වත් මිහිඳු තෙරුන් වහන්සේගේ ඉරණම අපිදු අනුකරණය කරතැයි බියෙන් මෙනි.

ඒ හැරුණු කොට මෙහි ගත කරන දිවියේ අඩුපාඩු කිසිවක් නොමැත. කලට වෙලාවට කන්නට බොන්නට අවැසි දේ ළඟටම ලැබේ. නෑමට සුවිසල් දිය තටාකයක්ද, උදෑසන ව්‍යායාම සඳහා විසල් මාර ගසින් වටවූ ක්‍රීඩා පිටියක්ද, දිනපතා අඳින්නට පිරිසිඳු ඇඳුම් ද අපට ඇත. මෙහි ඉතාම සුවසේ ජීවිතය ගත කෙරුමට අවස්ථාව අපට ඇත.

මම අසළ වූ “ටොයිලට් පේපර්ස්” රෝල ගෙන ඉන් කොළ ඇද මගේ කාමරය සැරසුවෙමි. ඇඳෙහි වූ අර්ධ ශ්වේත වර්ණ රෙද්ද ගෙන එයද තීරු කිහිපයකට ඉරාගත් මම, ඒවා මා වටා පතාක යෝධයන් සේ නැගී සිටින බිත්තිවල රැඳවූයෙමි.

එහා කාමරයේ සිටි ප්‍රභාකරන් මට කෑ ගසා කතා කළේ ය.

“අඩා.. අද උඹේ ඇනිවර්ෂරි යෙක නේද?” හේ මගෙන් ඇසුවේ අප කාමර සම්බන්ධ වූ කුඩා කවුළුවේ වීදුරුවට නාසය අලවාගෙන ය.

“ඔව් ඔව් බං! කොහෙද මුං මට සමරන්න දෙන්නේ නෑනේ! නැත්නම් කිරිබත් හදලා! බෝතලයක් කඩලා! එහෙමනේ වැඩේ යන්නේ!” මම වීදුරුවෙන් එහාට ඇහෙන්නට කෑ ගෑවෙමි.

“අපි දාමු පොඩි පාටි යෙකක්! පාලනේට බම්බු ගාන්ට කියලා.” ඔහු තම ඝණ උඩු රැවුල ඇඟිලි තුඩින් පීරමින් ද, ගිලා බට කහ පැහැගත් දෑස් උලුප්පමින් ද පැවසීය.

“මොකටද බං කළු ගලේ ඔළුව හප්ප ගන්නේ. ඔන්නොහේ ඉමු වෙනදා වගේ පොඩි චැටක් කාරිය දාගෙන කරගෙන” මම පැවසූවෙමි.

“එහෙම කතා කියලා පුළුවංද මුනියා අපිල මේ කෲර පාලනේට විරුද්ධව පේළි හැදෙන්න තමා ඕනා. නැතුව බෑ. ඔන්ද මුනියා වගේ ඉන්ට ඉන්ට මුංලා ඔක්කලාම අපේ ඔළුවට තමා අත ෂෝදනවා” ඔහු පැහැදිළි කළේ ය.

එක් අතකින් බැලූ විට ඔහු කියනා කතාවේද වැරැද්දක් නොමැත. මෙසේ කරබාගෙන ඉන්නට ඉන්නට පාඩු වන්නේ අපිටම ය. එහෙත් පාලකයන්ට විරුද්ධ වීම භයානක විය හැක. ඒසේ විරුද්ධ වූවන් රෑ මධ්‍යයේ පැමිණෙන සුදු ගවුම් කල්ලිය විසින් රැගෙන යන බවට, මා මෙහි පැමිණි අවධියේම පහත මාලයකදී අහම්බෙන් ඇසුණු කට කතාවක් ද කෙළවරක වසා දමා, සීල් තබා ඇති අංක දාහතර දරණ කාමරයද යම් පමණකින් සාක්ෂි දැරී ය.

“ඒක හරි සනා. ඒත් ඕනේ නෑ!” මම ඔහු සන්සුන් කරන්නට යත්න දැරීමි.

“මං කියන්නම්, අපි පොඩියට සිංදුවක් කියමු. උඹ දීපන් මියුසික්, මම කියන්නම්!”

ප්‍රභාකරන් එහා පසින් ඔහුගේ කොමඩ් එකේ වැස්ම පහත දමා එයට තට්ටු කරමින් තාලය අල්ලන්නට වූයේ ය. මමත් හැකි තරම් හොඳින් මගේ ගායනය පටන් ගතිමි. අපගේ ගායනය ඇසෙන තෙක් මානයේ සිටි සියළුම පදිංචි කරුවන් අප හට අත්වැල් ගායනයෙන් සහය වුවද යම රජු නම් එහා කාමරයේ කවුළුවෙන් මා දෙස මරුමුස් බල්මක් හෙළාගෙන රැවුල කරකවමින් සිටියේ ය.

“..වාද නැතී.. බේද නැතී.. ලස්සන ලොව හෙට අපට උදා..”

අප හැකි වෙර යොදා ගායනය කළෙමු. ගීතයේ දමිළ අන්තරා කොටස ප්‍රභාකරන් මහ හඬින් ගායනා කරත්ම, මෙතෙක් වෙලා නුරුස්නා බැලුම් හෙළමින් පමණක් සිටි යම රජු මහා හඬින් ගෝරනාඩු කළේ ය.

“සිකුරිටී..! සිකුරිටී! ඕයි තමුසෙලාට පෙන්නේ නැද්ද මුං මගේ නිදහසට බාධා කරන හැටි අම්මපා! ඒ මදිවට දෙමළෙන් සිංදුත් කියනවා,” හේ කෑගෑවේ ය.

“අම්මපා තොපි හිතාගෙන ඉන්නේ මාත් තොපේ සර්වාගමික ගැටේට අහුවෙලා කියලද? පාහර නර පණුවෝ! යකෝ මේ අපායේ ඉඩ තියෙන්නේ සිංහල බෞද්ධයන්ට විතරයි. තොපි වගේ කාලකණ්ණි දෙමළුන්ට මේකේ ඉඩ නෑ, දැනගං!”

ඒත් වාසනාවකට මෙන් කිසිදු බලලත් පුද්ගලයෙක් අප නැවැත්වීමට පැමිණියේ නැත. ඔවුන්ට අනෙක් වැඩ තිබෙන්නට ඇති බැව් නිසැක ය. අපි තව ඉන් ප්‍රමෝදයට පත් ව තව තවත් මහ හඬින් ගායනයේ නිරත වූවෙමු.

“මනුස්සකම් අහක දමා.. ජාතිවාදයෙන් උදම් අනා.. සතු..”

© 2013 Pamuditha Zen Anjana

2 thoughts on “අවධි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s