නන්නාඳුනන

ලෝකෙටම පේන්න ජීවිතය විලාසිතාවක් කරගත්තු මනුස්ස පරාණ ගොඩක් මාව පසු කරගෙන පාරේ ඒ මේ අත ගියේ හරිම ලොකු හදිස්සියකින් කියලා මට හිතුණා. පාරේ සැරටම තිබුණු දූවිල්ලෙන් වැහිලා ගිය පරණ ලයිට් කණුවකට පිට තියාගත්තු මම, මුන්ට මෙච්චර තියෙන හදිස්සිය මොකද්ද කියලා කල්පනා කළා. හැමෝම ජීවන සටනෙන් ජය ගන්න අතිශය වෙහෙසකාරී වේගයකින් එක හැල්මේ දුවනවා. තත්ත්පර දහයකටවත් නැවතිලා වෙන්නේ මොකද්ද කියලා බලන්නවත් ඒ අයට වෙලාවක් නැති වෙලා.

හැමෝම වගේ තාක්ෂණීකරණය වෙච්ච ලෝකෙට අනුව හැඩ ගැහිලා. තමන්ගේ එහා පැත්තෙන් පාර පනින මිනිහට හාට් ඇටෑක් එකක් හැදිල බිම වැටුණත් තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේට යන්න මිනිස්සු පුරුදු වෙලා. තමන්ගේ පරිසරයට අනුව හැඩ ගැහෙන සත්තු පරිණාමයේදි බේරෙනවලු. අනිත් එවුන් වඳ වෙලා යනවලු. මනුෂ්‍ය වර්ගයා මෙච්චර දියුණු වෙන්නත් එකම හේතුව තමන් ජීවත් වෙන වටා පිටාවට අනුව හැඩ ගැහීම, අනුවර්තනය වීම තමයි. ඒත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ යන්නේ කොහාටද කියන එකයි. එකම රටාවට පුරුදු වෙලා එකම විදිහට රොබෝලා වගේ උදේ පාන්දර නැගිටලා ඔහේ යන්නං වාලේ වැඩට ගිහිල්ලා, එතනත් මොකක් හරි මඟුලක් කරලා, හවස බස් එකේ නැගලා තෙරපිලා තෙහෙට්ටු වෙලා ගෙදර ඇවිත්, අම්මා හරි ගෑණි හරි දෙන බත් පිඟාන ඉබ්බෙක් වගේ ගිල දාලා, පත බෑවිලා නිදාගෙන ආපහු පහුවදාත් ඒ ටිකම කරන එකටද ජීවිතේ කියන්නේ? මම මගෙන්ම අහ ගත්තා. අහවල් දිහාවක රස්තියාදුවේ ගිය කාක්කෙක් ළඟ තිබිච්ච කුණු ගොඩක් අවුස්සලා කෑම හොයන්න ගත්තේ මගේ ප්‍රශ්නාර්ථය තඹ දොයිතුවක් වත් ගණන් ගන්නේ නැතුව.

මම වම් කකුල ළඟ තිබුණු ගඩොල් බාගෙකින් ඌට සංග්‍රහ කළා. ඌ පියාඹලා ගියේ අපේ අම්මා මතක් කරලා කාක් පාරක් දීගෙන. මම පොඩි හිනාවක් හදාගෙන වට පිට බැලුවේ බඩට මොනා හරි දාගන්න ලඟ හෝටලයක් වත් තියෙනවද බලන්න. ටිකක් විතර ඈතින් තිබුණු සයිවර් කඩයක් මගේ ඇහැට අහුවුණා. මේ යන විදිහට ගියොත් මටත් වෙන්නේ වඳ වෙලා යන්න කියලා හිත හිත මම කඩේ ඇතුළට රිංගුවා. ඒක කඩයක් කිව්වට ලොකු හෝටලයක්. ඇතුලේ සූ ගාලා සෙනඟ. මම ළඟ පාත තිබ්බ හිස් මේසයකට ගිහින් ඉඳගෙන වේටර් කෙනෙක්ට විසිල් එකක් ගැහුවා. වේටර් පොඩ්ඩක් ඔළුව වනලා වෙන වැඩක් බලාගත්තා. මටත් කරන්න වෙන වැඩක් නොතිබුණ නිසා මම අහළ පහළ මේස වල හිටපු කට්ටිය දිහා ටිකක් ඇහැ දාලා බැලුවා.

මගේ ඉස්සරහ මේසේ හිටියේ ඔෆිස් ඉවර වෙලා ගෙදර යන්න කලින් ප්ලේන්ටියක් එක්ක සිගරට් එකක් ගහලා යන්න ආපු අවුරුදු විසිඅටක විතර කොල්ලෙක්. පොර හෝ ගාලා ටෙක්ස්ට් කරනවා. එකත් එකටම උගේ කෙල්ලට වෙන්න ඇති. ඊට එහා පැත්තේ මේසේ හිටියේ ටිකක් තට්ටේ පෑදුණු ජාතික ඇඳුමක් ගහ ගත්තු මුදලාලි පෙනුමක් තියෙන ඩයල් එකක්. මෑන් පරාටා කන ගමන් හෝ ගාලා ෆෝන් එකෙන් කාටද උපදෙස් දෙනවා. මම ටිකක් ඒ කෝල් එකට කණ ටියුන් කළා.

“නැහැ නැහැ, කාන්තිට කියන්නකෝ බය නැතිව ඉන්න කියලා. ඔය උඩහ ඉඩම කොහොමත් ලක්ෂ පණහ පනිනවා.. අනිත් එක මොකෝ අපි සුදු දුවව අල්ල පනල්ලේ දෙන එකක්යෑ? රත්තරං බඩුයි, ඇයි මහගෙදර, ඒකත් එයාටමනේ.” මෑන් හෝ ගාලා කියවනවා.

තාමත් කොල්ලෝ ලැජ්ජාවක් නැතිව දෑවැද්ද ඉල්ලනවා නේද කියලා තේරුණාම මට පොඩි දුකකුත් ආවා. යකෝ ගෑණියෙක් ගේනවා නම් ඒකිට කන්න අඳින්න දෙන්න තරම් ආදායමක් තියාගෙන තමයි ඒක කරන්න ඕනේ. නැත්තන් මොන බම්බුවක්ටද කෙල්ලගේ ගෙදරින් හිඟා කාලා බඳින්නේ කියලා මම කල්පනා කළා. ඒත් ඉතින් මේ දවස් වල උද්ධමනය ඉහළ ගිහින්නේ කියලා හිතලා මම හිත හදා ගත්තා.

වේටර් කාරයා මගේ ළඟින්ම ආපහු සැරයක් බාගෙට හිනාවේගෙන මට මේස දෙකක් එහායින් හිටපු රත්තරං පුංචි පවුලක ඕඩර් එක ගන්න ගියා. මමත් කර බාගෙන ඒ මේසේ දිහා බලාගෙන හිටියේ නිකන් හරි වේටර්ගේ හිත වෙනස් වෙලා මගේ ඕඩරේ ගන්න එයි කියලා. ඒ මේසේ හිටපු අවුරුදු දහයක විතර පොඩි එකා හෝ ගාලා එක එක ඒවා ඉල්ලනවා. පොඩි එකාගේ අම්ම සෑහෙන ගේමක් දෙනවා ඌව ආම්බාන් කරන්න. අම්මට තිබුණේ අවුරුදු විසි හතක විසි අටක වගේ ටිකක් ලාබාල පෙනුමක්. තාත්තා නම් ටිකක් වයස පාටයි, හතළිහක විතර මනුස්සයෙක්. ඒ මඟුල කොහොම කෙරුණද කියලා කල්පනා කරන අතරේ මම කඩේ කෙළවරක තිබුණු බීම ජාති දාලා තිබ්බ ශීතකරණ පේළිය දිහා බැලුවා. ඒකේ තියෙන පාට පාට බීම ජාති දිහා ඔහේ ටිකක් වෙලා බලාගෙන හිටපු මට කාගේ හරි ඇස් දෙකක් මං දිහා බලාගෙන ඉන්න බව දැනුණා.

හෝටලේ කෙළවරකම තිබුණු මේසෙක, භාගයක් ඉවර වුණු ඔරේන්ජ් ක්‍රෂ් බෝතලේකට උඩින් මා දිහාම බලාගෙන හිටපු ලස්සන ඇස් දෙකක් මගෙත් එක්ක හිනා වුණා. ඒ ඇස් දෙකේ අයිතිකාරිව හරියට දැක්ක ගමන් මගේ හෘද ස්පන්දන වේගය දහ ගුණයකින් විතර ඉහළ ගියා. අවුරුදු දහහතක විතර ලස්සන ගෑණු ළමයෙක් ගොඩක් කාලෙක ඉඳන් දන්නවා වගේ මගෙත් එක්ක හිනා වුණා. කෝකටත් කියලා වට පිට බලලා හිනා වුණේ මගෙත් එක්කමයි කියලා තහවුරු කරගත්තු මම සුපුරුදු මෝඩ හිනාව මූනේ ඇඳගත්තා. ඒත් මම හිටියේ ටිකක් තුෂ්ණිම්භූත වෙච්ච ගාණට. දැන් කාලේ වෙන දේවල් ඇස් දෙකෙන්ම දැක්කත් විශ්වාස කරන්න බැහැනේ.

ඒ අතරේ මගේ එහා පැත්තේ මේසෙට වයසක ජෝඩුවක් ඇවිත් ඉඳ ගත්තා. මම ජෝඩුවක් කියලා කිව්වේ දෙන්නව දැක්ක ගමන් මගේ හිතට ආවේ ඒක හින්දා. දෙන්නම හිටියේ ජීවිතේ අවසාන දශකයේ කියලා මට හිතුණා. ඒත් දෙන්නම හිතින් තරුණ පාටයි කියලා ඒ අය දිහා බලපු ඕන එකෙක්ට තේරෙනවා. දෙන්නම එකම පැත්තේ පුටු දෙකක් ළං කරගෙන ඉඳගෙන මූණට මූණ බලාගත්තා.

ඔය අස්සේ වේටර් මල්ලිට මාව මතක් වෙලා තිබුණා. මෑන් මගේ මේසේ ළඟට ආවේ, ආවා නම් දැන් ඉක්මණට ඉල්ලපන් යකෝ කියන්න වගේ මූණ හදාගෙන. මමත් යථා ලෝකයට ඇවිත් මගේ ඕඩරය දෙන්න හදද්දීම, “පුතා අපි දෙන්නට තෝසේ දෙකකුයි හොඳට කහට දාලා ඩබල් ටී එකකුයි ගේනවද?” කියලා සද්දයක් එහා පැත්තෙන් ආවා. මායි වේටර් මල්ලියි දෙන්නම එකම විදිහට ඒ දිහා බැලුවා. වයසක අංකල් නාකි ඇස්වලින් තරුණ විදිහට හිනාවක් දැම්මා. මට මතක් වුණේ අපේ සීයාව. ඒත් වේටර් මල්ලිට නම් මතක් වෙලා තිබුණේ වයසක මනුස්සයගේ මෑණියන් වහන්සේ බව මට දැනුණා. පොර ඉස්සර වෙන්න ඉස්සෙල්ලා මම ඉස්සර වුණා.

“බොස්, මේ අන්කල්ලට දීලා මටත් තෝසේ දෙකක් ගේන්නකෝ.” මම ෂේප් හිනාවක් එක්කම කිව්වා.

පොරත් මූණ කළු කරගෙන ඕඩරේ අරගෙන එන්න ගියේ “චුක්” පාරක් වාතයට මුසු කරගෙන.

මම ආපහු අර ලස්සන ඇස් දෙකේ හිමිකාරි දිහා බැලුවා. ඇයත් හිටියේ මගේ දිහාම දෙනෙත් අලවගෙන කියලා මට තේරුණා. අපේ ඇස් ආයේ හමුවුණා. එයා ආයෙමත් ඇස් වලින් හිනා වුණා. තත්පර ගණනාවක් ගියත් එයා අහක බලන පාටක් තිබ්බෙ නැති නිසා මම මුලින්ම බිම බලා ගත්තා. මට වෙන දේ ගැන තනියම හිනා. ඒ හිනාවෙන්ම මම මේසෙට තෝසේ ගෙනත් තිබ්බ වේටර්ට සංග්‍රහ කළා. පොර මට ඔරවගෙන එහා මේසෙටත් තෝසේ දෙකක් විසික් කළා. සාම්බාරු භාජනයෙන් තඩි හැඳි දෙක තුනක් මගේ තෝසේ එකට අත ඇරපු මිනිහා එහා මේසෙටත් බෙදලා භාජනෙත් අරන් මාරු වුණේ ඔය ටිකෙන් පිරිමහ ගනිං කියන්නා වගේ.

මාත් කරබාගෙන තෝසේ කෑල්ලක් අනලා කටට දාගත්තා. මොකක් හරි හේතුවකට මට මතක් වුණේ මම ගඩොල් භාගයක් අත ඇරපු කාක්කව. මාත් නිකන් ඌ වගේ නේද කියලා මට තෝසේ කෑල්ල ගිලිද්දී නිකමට වගේ හිතුණා. මම දිග හුස්මක් පහළ දාලා ආයෙමත් තෝසේ කෑල්ලක් කටට දාගන්න ගමන් ෂේප් එකේ ආයෙමත් සෙනඟ අතරින් අර ඇස් දෙක හෙව්වා. එයා තාමත් හිටියේ මගේ මූණ දිහාම බලාගෙන, හරියට දළදා පෙරහර මගේ මූණේ යනවා වගේ. මම ඔළුව ලාවට හොල්ලලා ඇස් වලින් ‘ඇයි?’ කියලා ඇහුවා. එයා චූටි හිනාවක් එක්ක ඔළුව දෙපැත්තට වනලා ‘මොකවත් නැහැ!’ කියල තොල් මැතිරුවා. මම හිනා වෙලා තව තෝසේ කෑල්ලක් අනන්න ගත්තා.

හවස රගර් පුහුණුවීම් ඉවර කරලා බඩ පිරෙන්න පරාටා ලෝඩ් එකක් ගිල දමපු අවුරුදු දහ අටේ දහ නවයේ කොල්ලෝ සෙට් එකක් මහ හඬින් විහිළු තහළු කරමින් හෝටලෙන් එළියට යන්න මම හිටපු පැත්තට ඇවිදගෙන ආවා. මට ඉස්කෝලේ වොලිබෝල් ප්‍රැක්ටිස් ඉවර වෙලා අපේ සෙට් එකත් එක්ක පිස්සු නටපු හැටි මතක් වුණා. මායි වයසක ඩබලයි හිටපු මේස දෙක අතරින් යන අතරේ එක පාරටම සෙට් එකම මහ හඬින් හිනා වෙන්න ගත්තා. මුළු හෝටලේම ඇස් මම හිටපු පැත්තට එල්ල වෙද්දී මම පොළොවේ ඔළුව ඔබා ගන්න බැරි වුණු පැස්බරෙක් වගේ බලාගෙන හිටියා. ඒත් කට්ටියගෙ ඇස් යොමු වෙලා තිබුණේ මං දිහාවට නෙමේ. සීයයි ආච්චියි දිහාවට. මම ඒ දිහා ඇස් යොමු කළා.

අපේ සීයා දිළිසෙන හිනාවකුත් මූණේ තියාගෙන වටේ පිටේ මිනිස්සුන්ගේ බැල්ම සතේකට ගණන් නොගෙන ආච්චිට තෝසේ කවනවා. මට හිනා ගියේ නොහිතාමයි. වටේ මිනිස්සුත් හොරෙන් හොරෙන් අමුතු විදිහට හිනා වෙනවා. ඒත් එක පාරටම මගේ මූණේ ඇඳිච්ච හිනාව මැකිලා ගියා. ඒ මම හිනා වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ මගේ හිත මගෙන් අහපු නිසා. ඇත්තටම මම හිනා වුණේ ඒ දෙන්නා අතරේ තිබ්බ ආදරයට නේද කියලා හිතුණ ගමන් මම මගේ චින්තන මට්ටම ගැන අතිශයින් පසුතැවිලි වුණා. ඒ පසුතැවිල්ල අතරින් මම දැක්කේ අර ලස්සන ඇස් දෙක මගේ මේසේ ගාව නැවතිලා ඉන්නවා. එයා අතේ ගුලි කරගෙන හිටපු පොඩි කොළ කෑල්ලක් මගේ අත ගාවට දාල ආයෙමත් ඇස් වලින් හිනා වුණා. ‘නාකි විසේ’ කියල වම් පැත්තේ හිටපු ජෝඩුව ඇස් වලින් පෙන්නලා අවඥාවට ඔළුව පොඩ්ඩක් ඇල කරලා තොල් මතුරපු ඈ, මාව පසු කරගෙන එළියට යන්න ගියා.

ඒ කොළ කෑල්ල අතේ ගුලි කර ගත්තට මම තාමත් හිටියේ අරකට හිනා වෙච්ච එක ගැන කල්පනා කර කර. මමත් නොදැනීම හැඟීම් දැනීම් නැති රොබෝ කෙනෙක් වෙලාද? ආදරය කියන දේ නන්නාඳුනන කාලයක ජීවත් වෙලා මාත් එළියේ සමාජයට ඕන විදිහට හැඩ ගැහිලාද? ඇත්තටම ආදරයට දැන් තැනක් නැද්ද? ඔය හැමෝම නිතරම මතක් කරන, අපි ඉස්සර පොත්වලයි චිත්‍රපටි වලයි දැකපු ආදරය අද වෙද්දී තාම ඉතුරු වෙලා තියෙනවද? ඒ තිබ්බත් දැන් හැදෙන කොල්ලෝ කෙල්ලොන්ට ඕක ඇත්තටම දැනෙනවද?

ඔය වගේ ප්‍රශ්න ගණනාවක් මගේ මනස ඇතුළේ ඇඳිලා මැකිලා ගියා. ඒත් ඒ එක ප්‍රශ්නෙකට වත් මා ළඟ උත්තර තිබුණේ නෑ. මම වම් අතේ ගුලි කරගෙන හිටපු කොළ කෑල්ල තද කර ගත්තේ ඒක පියාඹලා ඈතට යයි කියලා හිතුණු හින්දා. තව දුරටත් තෝසේ කන්න තරම් බඩගින්නක් ඉතුරු වෙලා තිබුණේ නැති නිසා පිඟාන එහෙම්මම අයිනකට තල්ලු කරලා දාලා මම එතනින් නැගිට්ටා. අත හෝදන ගමනුත් මම කල්පනා කළේ මහමෙරක් තරම් ලස්සන ආදරයක් හොයා ගන්නේ කොහොමද කියලා. කැෂියර්ට සල්ලි ගෙවන ගමන් මම ආපහු අර සීයයි ආච්ච්යි දිහා එක පාරක් බැලුවා. ආච්චි හිටියේ සීයා බීලා ඉතුරු කරපු තේකෙන් උගුරක් බොන ගමන්. මම ඒ දේ කොයි තරම් ලස්සනට දැක්කත් තාමත් වටේ පිටේ හිටපු කට්ටිය අවඥාවෙන් හිනා වෙන එක නම් නවත්වලා තිබුණේ නැහැ. හැමෝම එකතු වෙලා ආදරය මරාගෙන, මම කල්පනා කළා.

‘ඇත්තටම ආදරේ මරලා හංගලා ද?’ මගේ හිත එහෙම ඇහුවා.

“උඹට මේවා තේරෙන්නේ නැත්තේ මචෝ, උඹ තාම ජීවත් වෙන්නේ එක්දාස් නමසිය බර ගණන් වල නිසා… අපි ඉපදිලා තියෙන්නේ වැරදි කාලෙක බං..! අපිටවත්, අපි අපිව තේරෙන්නේ, දැනෙන්නේ නැත්තේ ඒකයි!” මගේ හොඳ යාළුවෙක් දවසක් කියපු කතාවක් මට මතක් වුණා.

‘ඉතිං අනිත් එවුන්ට ඒක දැනෙන්නේ නෑ කියන එක පුදුමයක් ‍යැ!’ මම හෝටලෙන් එළියට යන ගමන් මටම කියාගත්තා.

ළඟ තිබිච්ච කුණු බාල්දියකට වමතේ හිර වෙලා තිබුණු පොඩි කොළ කෑල්ල විසි කරලා දාපු මම ආයෙමත් හැරිලා බැලුවා. සීයයි ආච්චියි මගේ දිහා බලලා කට පුරා හිනා වුණා. කොහේදෝ ඉඳලා පියාඹලා ආපු කාක්කෙක් කට ගාවටම පිරිලා ඉතිරිලා තිබුණු කුණු බාල්දිය අවුස්සන්න ගත්තා. මම ආච්චිටයි සීයටයි හිත පතුළෙන්ම ආපු හිනාවකින් සංග්‍රහ කරලා, කුණු කකා හිටපු කාක්කටත් පොඩි ඇඩ් එකක් දාගෙන ඉස්සරහින් ගිය පනස් හතරේ බස් එකක එල්ලුණා.

© 2012 Pamuditha Zen Anjana

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s