නිකිණි සොයා

හැමෝම තම තමන් ගත කරන ජීවිත කාලය ඇතුළතදී කරන්නේ එක එක දේවල් හොයන එක. සෙවීමෙන් ගැළවෙච්ච කවුරුවත් නෑ!

සමහරු ජීවිතය හොයනවා. සමහරු ජීවත් වෙන්න ක්‍රම හොයනවා. සමහරු ජීවිතය නැති කරගන්න ක්‍රම හොයනවා. තවත් සමහරු ලෝකය හැදුණ හැටි හොයනවා. ඒ අතරේ සමහරු ආදරය හොයනවා. ඒ එක්කම තියෙන ආදරය ගොනු කරන්න වගේම විදහා දක්වන්න ක්‍රම හොයනවා. සිදුහත් කුමාරයා වගේම ෆොක්ස් මෝල්ඩරුත් සත්‍යය සෙව්වා. අතළොස්සක් දෙනා තියෙන සමාජ ක්‍රමය වෙනස් කරන්න ක්‍රම සෙව්වා. කොහොම වුණත් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවම තේරෙන්න ගන්නවා බොහොමයක් දෙනා හොයල තියෙන්නේ අතිශය භෞතිකමය දෙවල් කියලා. ලොකු ගෙයක්, දිළිසෙන කාර් එකක්, ලොකු දෑවැද්දක් එක්ක කැපී පෙනෙන බිරිඳක්, සමාජයේ පිළිගත් තැනක ලොකු රස්සාවක් කරන හොඳ ආදායමක් සහිත සැමියෙක්. ඔය වගේ දේවල් තමයි මිනිස්සු ජීවිතය පුරාවටම හොයල තියෙන්නේ.

අතළොස්සක් හැරුණු කොට අනිත් හැම දෙනාම හොයලා තියෙන්නෙ මුලින් කියපු භෞතිකමය දේවල් වීම අහඹුවක් නෙමෙයි. අදාළ කාලෙට පවතින ක්‍රමයට අහු වීමේ ප්‍රතිඵලයයි. ඔහේ එන රැළි වලට අහුවෙලා ගහගෙන යන මිනිස් ජීවිත සියල්ලම එකම රටාවකට අනුව හැඩ ගැහෙනවා. අන්තිමට තමන්ටත් අනුන්ටත් වැඩක් නැති හිස් මිනිස්සු විදිහට තනි තනිවම අහු මුළු වල මැරිලා යනවා. මේ රටාව කවුරු හදපු රටාවක්ද කාගේ වුවමනාවට හදපු රටාවක්ද කියන එක හොයනවට වඩා තමන් ඇයි තාමත් මේ වගේ එක තැන පල් වෙන රටාවක හිර වෙලා ඉන්නෙ කියන එක තමන්ගේම හිතෙන් අහල බලන එක වඩාත් ඵලදායකයි.

ඒ කොහොම වුණත් ඔය කතාව හිතෙන් අහලා බැලුවහම අපි හැමෝම අන්තිමේදි හොයලා තියෙන්නේ එකම දෙයක් කියන කාරණාව දැනෙන්න ගන්නවා. ඒ තමයි ‘සතුට’ කියන කාරණාව.

සතුට කියන කාරණාවට නිර්වචන බොහොමයක් තියෙන්නත් ඒ එක් එක් නිර්වචනයන් එකිනෙකාට බොහොම සාපේක්ෂ වෙන්නත් හේතුව වෙන්නේ මිනිස්සු හැමෝම රටාව ඇතුළේ හිර වෙලා එකිනෙකට වැහිලා, මුවා වෙලා, හැංගිලා ජීවත් වෙන එක. ලොවෙත් නැති නීති රීති, අණ පණත් දාගෙන ගොඩක් ඈතින් පෙනෙන මිරිඟුවක් පස්සෙන් තරඟෙට දුවන ගමන් තමන් අනෙකාට වඩා උසස්, නැත්නම් පහත්, ඒත් නැත්නම් වෙනස් කියලා පෙන්නන්න අපි හැමෝම කැමතියි.

සම්මත රටාවෙන් වැරදිලා හරි හිතා මතා හරි එකෙක් පිට පැන්නොත් අපි අපිම ඒ මිනිහව විවිධාකාර වූ නම් රැසකින් හංවඩු ගහනවා. පිස්සෙක්, සයිකෙක්, කාලකණ්නියෙක්, රස්තියාදුකාරයෙක්, කුඩු කාරයෙක්. ඒත් ආපහු හැරිලා බැලුවම ඔය වගේ නම් වලින් හැඳින්වෙන බොහොමයක් දෙනාගේ ඇතුළාන්තය හරිම සුපිරිසිඳුයි. හැබැයි විසි හතර පැයේම පන්සල් ගිහින්, රටෙත් නැති තරම් කාලකණ්ණි විදිහට අපරාධ වංචා කරලා හැමදාම උදේට අත් දිග ෂර්ට් එක ඇඳලා ටයි එක දාලා අළුත් වාහනයකින් වැඩට ගිහින් හවස ගෙදර එකා තමයි සමාජයේ පිළිගැනීමට ලක් වෙන්නේ. ඒක තමයි ආතල් එක කියලා හිතාගෙන හිටියට ආතල් එක දැනෙන්න ගන්නේ මැරෙන්න ළං වෙද්දී තමන් කරපු දේවල් ගැන හිතද්දී.

ඇයි අපිට බැරි ජීවිතේ නීති වලට බම්බු ගහලා යන්න කියලා අත ළඟින් තියෙන සතුට අරන් වැළඳ ගන්න? ඇයි අපිට බැරි ඉදිරියේ ඉන්න කෙනාට කොච්චර ආදරෙයිද කියන සරල කාරණාව දෙපාරක් නොහිතා කියලා දාන්න? ඇයි අපිට බැරි ලෝකයාට හෙණ ගැහිලා ගියදෙන් කියලා එක අරමුණක් වෙනුවෙන් ජීවත් වෙන්න?

අපි අපේම හිත්වලින් අපිටම බොරු කර ගන්නවා. කවුරු හරි මෝඩයෝ රැළක් අතින් හැදුණු රටාවකට වහල් වෙලා බොරු දේවල් පස්සේ ගිහින් අතරමං වෙලා අන්තිමේ ජීවිතය නැති කර ගන්නවා. තමන්ට ඇත්තටම සතුටක් ගෙන දෙන්නේ කොයි දේද, ඒ දේ දෙවරක් නොහිතා අත දිගහැරලා අල්ලගෙන ළඟින්ම තියාගනිල්ලා. රටේ ලෝකේ මිනිස්සුන්ට ඕන විදිහට නෙමේ තමන්ට ඕන විදිහට ජීවිතේ හැඩගස්සවා ගනිල්ලා. හැමෝම හරි කියන දේ වගේම හැමෝම වැරදියි කියන දේවල් ඒ විදිහටම නොවෙන්න පුළුවන්. ලෝකයාට පේන්න වයිවාරන්න බොරු නොකර තමන්ගේ හිතට අවංකව වැඩ කරපල්ලා. නැත්නං ගොඩක් දුර ගිහිල්ලා තමන් මොකද්ද කරන්නේ කියලා හිතිලා පසුතැවිලි වෙලා, ලෝකයට බැණලා සියදිවි හානි කරගෙන වැඩක් නෑ.

අන්තිමට බලාගෙන යද්දී අපි කොහොමහරි, විඳින්න ඕන දෙයක් විඳවලා බව තේරෙනවා නම් තවමත් අපි පරක්කු නැහැ. කාලය ඕනෑ තරම් ඉතිරි වෙලා තියෙනවා. මොකටද තවත් බලා ගෙන ඉන්නේ, තමන්ට ඇත්තටම සතුට ගෙන දේවල් වෙනුවෙන් තමන්ගේ උපරිමය වැය කරපල්ලා. ආ තව එකක්, හඳට ට්‍රයි කළාට කමක් නෑ, හදිසියේවත් තරුවක් ළඟට වැටුණොත් ඇහිඳ ගනිල්ලා. සමහර විට ඒක ඈතින් පෙනුණු සූර්යයෙක් වෙන්න ඉඩ තියෙනවා. ඉතිං දැන්වත් නැගිටපල්ලා. දැන්ම ඇස් ඇරලා ලෝකය දිහා සිහියක් පතක් ඇතුව බලාපල්ලා. ඉර තාම පායලා ලෝස් නැතුව අපිට එළිය දෙනවා. ඒ එළිය බොහොම ලස්සනයි. ලෝකය ඇත්තටම එළියයි.

© 2011 Pamuditha Zen Anjana

Advertisements

12 thoughts on “නිකිණි සොයා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s