පිය සටහන්

ඈ දුටු විගස, අතිශය සංකීර්ණ වූ හැඟුම් සමුදායේ අත්‍යන්ත නැවතුම් ලක්ෂය, කොමාවක් බවට රූපාන්තරණය විය. මතක කුණු ගොඩේ කැබලිති වී, ගුලි වී, තැන තැන විසිරී, සැඟවී, සිර කර දමා තිබූ මතක කොළ අහුරක් ප්‍රතිචක්‍රීකරණය වී නැවුම් සුවඳින් යුතු පොතක් නිර්මාණය විණි. රිද්මයානුකූලව සැමවිටම පාහේ “ගිඩි ගිඩි” හඬින් කම්පනය වන, සසැලෙන හදවත මොහොතකට නිසසල විය. ඉසියුම් මනසකට දරා ගත නොහැකි අන්දමේ බියකරු නිශ්ශබ්දතාවයක් පැතිරුණි. ත්‍රීව්‍ර වේගයකින් ජීවිත ධාවන තරඟයේ නියැලෙන්නා වූ ලෝකයා, හුන් හුන් තැන් හි සෙල්මුවා පිළිරූ මෙන් නැවතුණා හ.

මම ආශ්වාස වායුවක් තදින් පෙණහළු පිරී යන සේ ඉහළට ඇද රඳවාගතිමි. ඒ මේ අත රැඳුණු නෙක සිරි විසිතුරු අතර අතරමං වී තිබූ ඈ දෙනෙත් යම් විටෙක මා වෙත යොමු වේ යැයි සිතා ඒ දෙනෙත් මත මා නෙත් අලවා ගතිමි. හදිසියේම, කලබලයකින් තොරව, ඉදිරියේ වූ පර්වතවන් මිනිස් රූ විනිවිද ඈ මා දුටුවා ය. මේ මියයන පොළොව මත මාගේ පැවැත්මේ අවසානය සනිටුහන් වන දින තෙක්ම අමතක නොවන්නා වූ, විශ්වයේ සුන්දරතම සිනහව ඈ මා වෙත විකසිත කළාය.

කාලය නැවතුණි. විශ්වය ත්‍රිමාන වී ය. මෙතෙක් ගත කළ ජීවිතය දෙනෙත් මත සටහන් වී මැකී ගියේ ය. මනස වටකර බැඳ තිබූ කළුගල් බැමි එකිනෙක සිදුරු විසිදුරුව ගියේ ය.

ජීවත් වීමේ අරමුණු එකින් එක මා හට පසක් කර දෙමින් ඈ මා වෙත පියවර මැන සමීප වූවා ය. හිස මත හදිසියේ මහාමේරු පර්වතය කඩා වැටුණාක් මෙන් මම ඇතුළතින් කලබල වීමි.

කාලය ඇරඹුණි. විශ්වය නැවතත් චතුර්මාන වී ය. එහෙත් මගේ රුධිර සංසරණය නම් නැවත ඇරඹුණේ නැත. කැඩී බිඳී විසිරී සී සී කඩව ගිය කළුගල් බැමි ප්‍රතිසංස්කරණය කිරීමේ දුර්වල උත්සාහයක මම නිරතව සිටියෙමි. වෑයම නිශ්ඵල බව දැනුණෙන් වර්තමානයට පැමිණියෙමි.

කලාතුරකින් මා මුවමත ඇඳෙන්නා වූ අතිශය අව්‍යාජ ලජ්ජාශීලී සිනහව එවේලේ ඇඳී තිබූ බැව් නිසැකය.

“කොහේද මෙහේ?” කාලයත් අවකාශයත් අතර වූ හිඩැසේ ඈ තම පැණය ඇතිරුවාය.

මම මුවින් ගොළු වීමි, හදවතින් දොඩමළු වීමි. හිස් වූ මහා බංගලාවක සුවිසල් ද්වාර වසා තඩි ඉබ්බෙකුද දමා අගුළු දැමුවාක් මෙන් මගේ ස්වරාලය අක්‍රීය විය. උදෑසන සිට දැඩි සංයමයකින් යුතුව ඉගෙනුම ලැබූ ශිෂ්‍යයන් දහවල් විවේක කාලයේදී සියළු විලංගු බිඳ දමා ක්‍රීඩා පිටියට දිව එන්නාක් මෙන් සිතුවිලි විශ්වය පුරා විසිරී ගියේ ය.

දැඩි උත්සාහයක් දරා විසිරී ගිය සිතින් පිළිතුරු දෙන්නට මුව විවර කළෙමි.

“ඇවිදින්න ආවා!” කෙතරම් උත්සාහ දැරුවද හඬ ආවේ උගුරේ පහළ කෙළවරෙනි. ශබ්දය පිටවූයේද අවමයෙනි.

ඉතිරි තත්පර කිහිපය විදුලි වේගයෙන් ගත විණි.

“මම ගිහින් එන්නම්” ඈ පැවසුවා ය.

මම හිස වැනුවෙමි. අත ද මඳක් සෙළවීමි. දකුණතින් මා හද මොහොතකට ස්පර්ශ කළ ඈ සියක් දහස් මුහුණු අතර සැඟවී ගියා ය. ඈත කෙළවරක සිට නැවතත් හැරී බලා ඈ මැකී ගියා ය.

ලොව නැවතත් වේගවත් විණි. සියළුම චලනයන් නැවත සාමාන්‍ය විය. සිටි තැන එලෙසම හුන් මම එක් වරක් නැවතත් හැරී බැලුවෙමි. රඳවාගෙන, සිර කරගෙන සිටි ආශ්වාස වායුව නැවත නම් කොට ප්‍රාශ්වාස වායුව ලෙස නිදහස් කර දැමුවෙමි.

ඈ සත්‍ය වශයෙන්ම මැකී ගොස් සිටියා ය.

නැවත දිගු හුස්මක් ඉහළට ගෙන පහළට දැමූ මම, මා සෙවීමේ දිගු ගමනට පළමු පියවර තැබුවෙමි.

© 2011 Pamuditha Zen Anjana

5 thoughts on “පිය සටහන්

  1. meka matama liwa ekak wage saho… minissu heena loka wala atharaman karala me samajayenma. me system eka hadapu aya kiyala tiyena widihatamai eyala yanne. katawath therenna. tika denek witharai wenas widihata aththa therum ganne. aththa therum ganna api his una samajayaka parajithayo widihata arthakathanaya wela…. btw nice writing bro! keep it up and wish u for a great journey !!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s