උත්පත්තිය

සොයමි,
ජීවිතයේ…

පළමු
හිරු කිරණ…

තනිව
ගුලිව හුන්
අඳුරින් මිදී…

දෙනෙත් විදහා,
ඇඟිලි දිගු කොට…
වක ගැසී ඇති
අඬුද දිගු කොට…

ඇඟේ හිරි ඇර
ලොවට
කෑ ගසමි…

“මං ආවා!”
කියමි.

© 2008 Pamuditha Zen Anjana

වැස්ස

වළාකුලක් පාවී ආයේ ය.
වසා ගති ඒ, හිරු රැස්
තම අඳුරු කුස මහත් කොට
මිරිකි මිරිකී…තෙරපි තෙරපී…
පොළොව තෙමා තෙත බරිත කරමින්,
හඬන්නට විය කඳුළු පෙරමින්…

පොළොව මත තැන් තැන්හි හුන්
මිනිසුන්, ගස්, සමණලුන්
දිව, පියාඹා, දෑස් හකුළුවා
බැලූහ අළුඹර නොසරුප් වනමින්…

අසළ අගුපිළක වැතිර ඒ බැලූ
සුපිංවත්, පොහොසත්, හිඟන්නෙක්
වැස්සත් වැරදියි…නෙවැස්සත් වැරදියි…
යනුවෙන් තමා හටම තෙපළී ය.

අවඥාවෙන් අහස දෙස බලා
ඒ මේ අත දඟලමින් දිව ඇදෙන ජලයට
කහ පැහැති සෙම ගුලියක් නිදහස් කර දැම්මේ ය.

© 2010 Pamuditha Zen Anjana

සිහින චෛතසික

ඔබ මටම ලැබගනු පිණිස
පෙරුම් සෙව්වෙමි මම
සිත ළඟ උණුසුමට තුරුළු වී
ගත කිරීමට සිතූ කාලය
හැකිළුණි ද?

සිතෙහි අඳුරෙන් කළුවරව තවත්
රාත්‍රිය…

අඳුර පමණක්ම රජ කරන්නට විය…

මැවෙනුයේ ඒ රුවයි
සුසුදු කඩුපුල් මලෙක
සිතූ සිතුම් බොඳ වී
ගලා ගියා පැතුම් පමණක් ශේෂව

දුව ඇවිදින ඔබේ මතකයන් සමඟ
හතිලමින් ඇවිද ගිය මම
නැවතුණෙමි විඩාබරව…

කාලයෙහි මීදුමෙන් වැසී
ඈත කඳු අතර නොපෙනී ගිය
පුන්සඳ,
පෙම් කළෙමි නුඹ හට!

තරුවක්ම විය නුඹට මා
නොදැන සිටියෙමි,

නුඹ හිරුට පෙම් බැඳි බව

එනමුදු…
නොදනියි නුඹ මා,
දුරින් දුටු බව.

© 2007 Pamuditha Zen Anjana

යථාර්ථය VS. අනාගතය

“මම සිහිනයක් දකිමි”

ඒ සිහිනයට,
ආදරය කරමි.

අන් අයගේ
සිහින,
පොළොවෙන් උඩ
පාවෙමින් තිබියදී…

පොළොව සමග ගැටී
පුපුරා යත් දී…

මම,
සිහිනයන් සමග
ඉහළ පාවෙමි.

ඉහළටම යමි!

ඕසෝන් ස්ථරයෙන් එපිටට ගොස්,
පොළොව වටා කක්ෂ ගත වෙමි.

© 2008 Pamuditha Zen Anjana