අන්ත්‍රාවයි!

හඳට රොකට් යවපු එවුනුත්
දැන් අහස් කූරු යවන්න
පුරුදු වෙනවලු!

මුලින් මුලින් ලොකු ලොකු
කතා කියපු අය දැන්
අනේ පොඩි එවුන් වගේ
බබා පාට් දානවා කියලා
ආරංචියි!

ඉතිං කොහෙද යකුනේ
සුභ අනාගතයක්!

ඕනෙම නම් ලාවට වගේ
අතීතය මතක් කරල
හිත හදාගනිල්ලා!

අපි නම් මේ දවස් වල
ගජරාමෙට වැඩ…

ෂ්ෂ්ෂ්….
අපි හොරෙන්ම වගේ
බෝම්බ හදනවා!

ඩයිනමයිටුත් ගොඩක් ගෙන්නුවා…
ඔරලෝසුත් සෙට් කරලා ඉවරයි!

එකක් නම් හිතුවට වඩා
ටිකක් කලින් පිපුරුවා…
අනිත් එව්වා පුපුරවන්න නම්
දැන් තියෙන්නේ වෙලාව එනකම්
ඇස් ඇරගෙන ඉන්න විතරයි!

© 2011 Pamuditha Zen Anjana

ලොවටම එරෙහිව

මං ඉන්නේ පොළොවට හුඟක් දුරින්
අහසට එපිටින්,
හිස් අවකාශයක හිර වෙලා…
හුදෙකලාව අතින් දරාගත්ත මට
ආදරය කියන්නේ
තවම හඳුනා නොගත් ලෝකයක්
සෞම්‍ය ආලෝකයක්,
විශ්මිත අද්භූතයක්…

මගේ අදහස්
උඹලට හරිම අපූර්ව යි
විකාරරූපී යි,
අස්වාභාවික යි…

උඹලට අනුව
මං ඉන්නේ සංවෘත කොටුවක් ඇතුළේ,
ඒත් උඹලගේ හිත් දන්නවා
කොටුවෙන් එළියේ ඉඳන්
කොටුව ඇතුළට එන්න
උඹලා දරණ උත්සාහයේ තරම…

ඒ නිසාම,
උඹලාගේ හිත්
මට හරිම සම්මතයි
මොකද උඹලට අනුව
ආදරය කියන්නේ
පළුදු වුණු විශ්වාසයක්
හැමෝටම දෙන්න පුළුවන් දෙයක්…

කමක් නෑ!

උඹලා, මිය යන පොළොවක හිටගෙන
හැමදාම තරු ගණං කර කර හිටපල්ලා,
මං අවකාශයේ ඉඳන්
ඉර අල්ලන්න වැර ගන්නවා…

කවදා හරි ඉර අල්ලපු දවසට
“මම” දැවී අළුවී යයි.
ඒත් මොකෝ…
මං තත්පරයකට හරි
ඉර ඇල්ලුවනේ!

© 2011 Pamuditha Zen Anjana