අතීන්ද්‍රිය

එක් අඳුරු, වැසිබර රැයෙක
තෙතබරියම් වූ, සීතල සළුපිළි ගිළිහෙන
හිරිගඩු පිපෙන සියුම් සුළඟට බියෙන්
ඈ සෙමින් මා ළඟට ඇදුණා ය.
උණුසුම සොයා මා ගතෙහි වෙළුණා ය.

හද ගැස්ම මොහොතකට නවත්වා
සීතලෙන් උණුසුම් වූ ඈ දෙලවන්
මා හුස්ම වැටෙන මානයට ළංකොට
ගත වූ සෑම තත්පරයක්ම පාෂාණිභූත කළා ය.

කවුළුවෙන් එපිට අහසේ වෙනදාට රැඳි
සඳ, අද මා අසලින්ම, හිතට සමීපයෙන් හිඳ
පාට හතක රැඳුණු අසිරියට පිළිවදන් දෙමින්
මුළු රැයම එක් විටම ඒකාලෝක කළා ය.

ස්වප්න පුපුරා යන්නට නිමේශයකට පෙර
සීමිත සොඳුරු තත්පර කිහිපයකට හෝ
ජීවිතය මේ යැයි මා හට පසක් කර දෙමින්
මා දෙනෙතට අනිමිස ලෝචනයක් වූවා ය.

© 2011 Pamuditha Zen Anjana