පෙනෙන තෙක් මානය

අඳුර එළියක් වූ
ආලෝකමත් රැයෙක
දුරින් දුටු තරුවෙකට වී
මහ පොළොව දුරින් දිටිමි

චීන මහා ප්‍රාකාරය
මට අත වනා සිනහසුණි…
අපැහැදිලි ඡායා මාත්‍රයෝ
මා දෙස නොබලාම
පොළොවේ තවත්
අඳුරු පසෙකට
පියමං කළහ…

ලොව පුරා දෙනෙත් යොමු කළෙමි
අපේක්ෂාවන් සුරතේ ගුලි කර ගනිමින්
ඔබේ ආලෝකමාත්‍රයන් ඉව කරමින්
එළිය මත දෙනෙත් සීරු මාරු කළෙමි

එහෙත් වෙනදා මෙන්
පෙනෙන තෙක් මානයක
නොවුණි ඔබ, මට එක්
සිනහවක් පමණක්
තබා, නොතබා…

© 2012 Pamuditha Zen Anjana

පුනරාගමනය

අහසට මං බර වැඩිලු!

පොළොවට ආවේ ඒ හින්දයි,
මෙන්න ඌටත් මාව තියාගන්න බෑ කියන්නේ

කරන්න දෙයක් නෑ…
මුහුදට වත් බැහැල බලමු,
පාවෙන්න බැරි කම තමා තියෙන දරුණුම ප්‍රශ්නේ!

බෝට්ටුවක් අරගන්න සල්ලි ටිකක් හොයා ගන්න වෙයි!
ඒ ගත්තත් කොහෙ හරි යන රස්තියාදුකාර මෝරෙක් අනිවාර්යයෙන් ඕකත් හිල් කරයි…

අපි සැලෙන්නේ නෑ…

රොකට් එකක් ණයට හරි අරන් ආපහු හිටපු දිහාවටම යනවා..

© 2012 Pamuditha Zen Anjana