මද්දහන් අඳුර

හදිසියේම ඇසුණු මහ හඬින්
උඩ විසිවී ගොස් අවදි වූයෙමි
ජනේලය තුළින් බේරී ආ සඳරැස් දහර
මධ්‍යාහ්නයට මූසල හැඟුම් එකතු කරමින් සිටියේ ය

අසළ පුටුවෙක වැතිර හුන් ජංගම දුරකථනය ගෙන
එහි කැල්කියුලේටරයෙන්
මූසල හැඟුම් එකින් එක අඩු කරමින්
ශබ්දය ආ මූලය සෙව්වෙමි

පෙරදා රැයේ දුටු තඩි මකුළුවා
තම ගොදුරද බඩේ බැඳගෙන
මගේ දුප්පත් පරිගණක මොනිටරයේ
පසුපස සිදුරකින් එතුළට ඇතුළු වූයේ ය

ශබ්දය පැමිණ ඇත්තේ ඒ යහපත් වූ
කල්කිරියාවෙන් බව දැන මා, සුපහන් සිතින්
තඩි කොස්සක් ගෙන මොනිටරයට තඩි බානවාත් සමග ම
ක්ෂණයකින් තිරය දීප්තිමත් ව දැල්වුණි

වෙනදා දක්නා දිදුළන කළු පැහැය වෙනුවට
දෑස් නිලංකාර වන තරමේ රෝස පැහැයෙන්
බැබළුණු මොනිටරය නෙළුම් පොහොට්ටුවකට
පරාවර්තනය වී, රූපාන්තරණය වී නැවතිණ

කෙමෙන් පොහොට්ටුවේ පෙති එකිනෙක විවර විය
සුපිපුණු නෙළුමේ රේණු අතරින් මිදී කුඩා පෙත්තක් මතට
ඈ සුලලිතව පියමං කළා ය, ඇසක් වසා මා වෙත ඉඟි කර
මදහසක් පා අසළ වූ නිල්වන් ජල තටාකයට පැන්නා ය

මම ද, ඈ අනුකරණය කරමින් ඒ පසුපසින් පැන්නෙමි
“තඩ්” යන හඬින් මගේ යටි රැවුළ තද සිමෙන්තියේ ගැටුණි
තටාකය ඈ ද සමග සිමෙන්තියේ වූ කුඩා සිදුරකින් සැඟව යනු දුටු මම
ඒ සිදුර තුළට රිංගීමට නොපසුබට උත්සාහයෙන් දැඟළීමි

“මේ මොකද? උණ විකාරෙන් බිම දඟළන්නේ..?
ඇඳට ගිහින් නිදා ගන්නවා!” මහ හඬක්
පසෙකින් ඇසුණෙන් මම තුෂ්ණිම්භූත ව
හුන් තැන, හුන් අයුරින් ම ගල් ගැසුණෙමි

විධානය මෑණියන් වහන්සේ ගෙනි, ඈ සිටියේ
කිලෝමීටරයක් පමණ ඈතින් වූ කාමර ද්වාරයෙන් එබී ය
කරබාගෙන ඔළුවද මදක් කසමින් නැගිටි මම, වැනෙමින් විසිවෙමින් ගොස්
ඇඳට නැග කොට්ටයක් බදාගෙන අනෙක් පසට හැරුණෙමි.

© 2012 Pamuditha Zen Anjana

අබිනික්මන

වෙනස් වුණු ලෝකයට
මුහුණ දෙන පාදයෙක
මග හිටපු සළකුණක්
විළිස්සා හිනැහුණි ද?

නොදක්නා වෙස් රැසක්
එක්ව සැදු මුහුණතක
මවා පෑ සිනහවක්
සිර කරන් නැවතුණි ද?

නොතේරෙන ප්‍රශ්න වැල්
කඩින් කඩ පෙළින් පෙළ
පැමිණෙතැයි මර බියෙන්
කොහේ වැද සැඟවුණි ද?

හිරිවැටුණු මතකයන්
මොළ කැබලි ගුලි කරන්
මම ගඟෙන් එතෙර වෙමි
ඔබ තාම මග හුණි ද?

© 2012 Pamuditha Zen Anjana