තීර්ථ යාත්‍රා

ඉරුණු කාල වර්ණ රුවලින් හැඩවුණු
කඩවසම්, තරුණ නාවුකයෙක්
නිසල, හුදෙකලා මුහුදේ
කළුනික සොයා කිමිදුණි

පතුල සිදුරු විසිදුරු වූ
ඔළුවෙන් සිට ගත්
දිරා ගිය තනි ලී ඔරු කඳක්
ඔහු හිසට සෙවණක් වුණි

අහවල් ලොවින් එකෙක් පැමිණ
එක් දෙයක් පමණක් ම සමත් ව
හැකි කලක් දිවිගෙවන ලෙසට
පරහට ඔවා දී යන්නට ගියේ ය

කොරල් මිසෙක කිසිවිට
කළුනික හමු නොම වූයෙන්
නාවුකයා ගුවන් නියමුවෙක් ව
පියාඹන්නට යත්න දැරී ය

තටු සිඳුණු වැහි ලිහිණියෙක්
සැඟවී ගිය මං සළකුණු පෙන්වා
අහස සිසාරා, අළුත් පොළොවක් සොයා
ඔහේ ඉබාගාතේ ඇවිද ගියේ ය

හදිසියේ හෙණ පුපුරා, අහස ගුගුරා
අනෝරා වැසි හිස මත කඩා වැටුණෙන්
කුණාටුවකැ යි අනිසි බියෙන් කැළැඹුණු නියමුවා
නැවත නාවුකයෙක් ව, හුදෙකලාව සොයා මුහුදේ කිමිදුණි.

© 2012 Pamuditha Zen Anjana