සියුමැලි පිපුරුම

මං අතර-මං වෙලා!
ලෝකෙටම හොරෙන්ම නැව් නගින්න හිතාගෙන හිටියට,
නටන්න නම් වුණේ එළිපිට… මම අංශක තුන්සිය හැටක් එක තැන කැරකුණා.
වෙන මොනා කරන්නද ඉතින්, බැඳගත්ත බෙරේට තළන ගමන් මම බ්‍රේක් ඩාන්ස් පුරුදු වුණා!
විකාර රූපී හුරු පුරුදු සිහින පෙළක්, මගේ ඉරි තැළුණු, කාමර බිත්තියේ ප්‍රොජෙක්ට් වෙන්න ගත්තම,
මම නිදාගෙන හිටපු තැනින් නැගිට්ටා.
රස්තියාදුකාර බල්ලෝ ආපහු උඩු බුරන්න ගත්තා. අද නම් නිදාගන්න හිතෙන්නේ නැති දවසක් පාටයි.
තාම ෆෑන් එක කැරකෙන්න පටන් ගත්තේ නෑ.
සංචාරය කරන්න ඕනේ පාරක් දිගේ මහ රෑට. එතකොට ලයිට් එළිය පේනවා වැඩියි!
ඔළුව හිස් වෙලා. හිතෙනවා! එක හිතකට දරා ගන්න බැරි තරම් මහ ගොඩක්.
මම බැලුමක් පිම්බුවා. ඒක කුණු ලේ පාටයි… හිටියේ මගේ කබඩ් එකේ ටී ෂර්ට් දෙකක් මැද්දේ හැංගිලා!
තෙල් කූඹියෙක් මහ හයියෙන් හචිමක් ඇරියා. මම විසි වුණා ක්ෂිතිජයෙන් එහාට.
විකාර!
ලෝකේ බාගෙට පිළිස්සුණු පීසා එකක් වගේ පැතළියි.
ඉර හදිසියේම පිපුරුණා, නාගසාකි වලට උඩින්.
වළාකුළු බැම්මෙන් එහාට වැටිලා තිබුණු පාළු බොරළු පාරක් දිගේ,
ලස්සන ඇඳුම් ඇඳගත්ත වැහි ලිහිණියෝ පොකුරක් ඇවිදගෙන යන්න ගත්තා.
ට්‍රිප් එකක් යන්න, බස් එකකට එකතු වෙච්ච දුර නෑයෝ කට්ටියක් මට අත් වනලා කතා කළාට,
ඒ පැත්තට ගියේ මම නෙමෙයි.
උන් කොහේ ගියත් මට මොකෝ!
හදිසියේම අහස කළු කරලා පොළොවට උල්කා වැස්සක් වැටෙන්න පටන් ගත්තා.
වැහි වතුර ගඟට ගලනවා දැකපු මම, ගඟ දිගේ කාර් එකක් එළවන්න උත්සාහ කරාට,
ඌ නෙමේ හිටි තැනින් හෙල්ලුනේ… එන්ජිමේ දරුණු ලෙඩක් ද කොහෙද!
බටර් පාන් වලට මාත් ආසයි. ඒත් ෆ්‍රිජ් එකේ තිබ්බේ මාජරින් විතරයි.
ඉතිං ආයෙමත් හමු නොවන බව දැන දැනත්, මම පුපුරන්න ළං වෙච්ච ගිනි කන්දක් ඇතුළේ ඔයාව හෙව්වා!

© 2012 Pamuditha Zen Anjana

අවිනිශ්චය

ඉස්පාසුවක් නොමැති
හුස්මක් ව
ඔය දෙතොලතර
කෙසේ නම් දැවටෙම් ද?

සුළඟට බියෙන්
ඔහේ සැළෙන
නෙත් පිහාටු
කෙසේ නම් විවරව තබම් ද?

හඬන්නට නො රිසි
හිතුවක්කාර සිත පාමුල
නොබිය ව
කෙසේ නම් නිදම් ද?

නිදහස්ව ඉසියුම්ව
ආධ්‍යාශයක් නොමැති
හැඟුම් රටා
කෙසේ නම් මවම් ද?

තේරුමක් නැති
හැඩයක් ද නොමැති
වළාකුළු අල්ලන්නට
කෙසේ නම් දුවම් ද?

මේ එයට කාලය නොවේ යැයි දැනේ නම්..!

© 2012 Pamuditha Zen Anjana