වීදුරු වැස්ස

සෙනසුරාදා හදිසියේම ඉර පුපුරලා යද්දී
මම හිටියේ වැහි බිංදු ගණන් කර කර…
කොහේදෝ ඉඳන් ආපු සලබයෙක් ඉස්සරහ
අඹ ගහේ අත්තක වැහුවා…
ඌ දර්ශන පථය අවලස්සන කරපු නිසා ම,
මම අතේ තිබ්බ ග්‍රෙනේඩ් එකකින් ඌට ගැහුවා!
ඈත, එකමත් එක රටෙක, හුදෙකලා කාන්තාරෙක,
දූවිල්ලෙන් වැහුණු කෝමල රේඛා කිහිපයක්
සලිත වෙලා තිබුණා…
නිරුවත් දෑසක් විශ්වය සිසාරා ගිහින්
අළුත් සක්වළක් මැව්වා!
මම හිටියේ සුනාමියක් වත් ඒවි කියලා හිතමින්,
බලාපොරොත්තුවේ දෑස් ඉටිපන්දම් එළියකින් දල්වා ගෙන…
මොකුත් නොහිතෙන හැන්දෑවක, කම්මැලිකම යන්නත් එක්ක,
අහළ පහළින් දැල්වුණු වාමන තාරුකා එළි අතරින්
මම අළුත් දඬු මොණරය පරිස්සමින් හරව ගත්තා!
රූපවාහිනියේ ළඟින්ම හිටපු මට, ක්ෂණයකින් අකුණක් ගැහුවම,
වර්තමානය විකෘති වෙලා ඇද වෙලා පෙණුනා…
කේබල් ලක්ෂ ගණනකින් සම්බන්ධතා ආරම්භ වුණා ට,
ඉතුරු වුණේ හිස් දෑසක් එක්ක කරපු ගණුදෙනු කිහිපයක,
නොතේරෙන ගිණුම් වාර්තා සිය ගණනක් විතරයි!
මම හාන්සි පුටුවට ආයුබෝවන් කියලා,
ඇස් දෙක නිවලා ආයෙමත් සිහිනයට ඇතුළු වුණා!

© 2012 Pamuditha Zen Anjana

Advertisements

දාවිත්ගේ සිහිනය

නන්නාඳුනන පළාතක මම තනි වුණා!
තනියට කිසිම මිනිස් පුළුටක් නොහිටි එහේදී තමයි,
මට මගේ සුදු පාට කැරපොත්තා හමුවුණේ.
මම ඌට නමක් දැම්මා ‘දාවිත්’ කියලා.
ඉංග්‍රීසියෙන් ‘ඩේවිඩ්’.
ඒත් මම සිංහල නේ!
එහෙම හොඳයි කියලා එයත් මට කිව්වා…
සබන් බෝල ලක්ෂ ගණනාවක් එකට පිපුරුවා!
කරන්න කිසිම දෙයක් නොතිබුණු ඒ අන්ධකාරයේ
මම නයගරා ඇල්ල පැත්තට ඇවිද්දා.
ඔය අතරේ තමයි,
පිටකොටුව මැද්දට දරුණු සුළි සුළඟක් හැමුවේ.
මම මගේ සල්ලි කැටේ ලෝකාන්තෙන් පහළට විසි කළා.
ජයසිරි අන්කල් දැල විසි කරද්දී අරක ඒකේ පැටළිලා.
හෙහ්!
සුරංගනාවියෙක්ගේ බැල්මට ගුත්තිල රැවටිලා කියන්නේ…
සල්ලි හොයන්න කියලා, මේ යකා සකා දීපු ගුලි ටික
බෙහෙත් කඩ වල හතළිහට පණහට විකුණන්න දාලා.
නොදකිං, අපේ උන්ගේ බුරියෙන් පහළ මානව වාදේ,
ගහං ගහං!
මම ආයෙමත් මුහුදට පැන්නා…
රතු පාට ඔරුවක දේවානම්පියතිස්ස ඉඳගෙන හිටියා.
වටේ, එකකට තුන ගාණේ ගෙඩි විසි එකකින් සැරසුණ
උසම උස දෙල් ගස් නවයක් තිබ්බා වගේ මතකයි…
මම වඳුරෙක් වගේ ඊලඟ ක්ෂණයේ හිටියේ පොල් අත්තක පැද්දෙමින්.
උන් රැවටුණා!
ඔළුවල ගැළපෙන නොගැළපෙන තොප්පි ඔබාගෙන උන් ආපහු දිව්වා…
ඉතිං හින්දි සින්දුවක තනුව ඇතුළේ මම මාව නැති කර ගත්තා.

© 2012 Pamuditha Zen Anjana