නිද්‍රා

සුළඟ විඩාපත් වී ය.
මග දිගට නැගී සිටි,
ගල්කුළු කඳු ශිඛර හමුවේ,
සුසුම් පොදක් ව නැවතුණි!

දිරාපත් ව,
වියැකෙන රූස්ස මාර ගසක් මෙන්,
හදිසියේම,
කඩාපාත් වන්නට නියමිත
වැහි වළාකුලක් මතින් එබී…
බිඳුණු ප්‍රිස්ම දෙනෙතියකින්
හේ වෙත දෙනෙත් යොමු කළේ ය…

ඔහු,

මියැදෙන්නට පෙර
අවසාන කැමැත්තක් ඉල්ලූ
සිරකරුවෙක් මෙන්,
බැගෑපත් ව..
ජීවිතය වෙනුවෙන්,
ආදරය ඉල්ලා සටන් වැදුණි!
ආත්මය සොයා,
අඳුරේ කිමිදුණි!

සියල්ලෙහි ම අවසානය
සනිටුහන් වී ඇසිල්ලකින්
ඉර ඇහැරුණි!
නොනවතින තත්පර කිහිපයක්
මධ්‍යයේ හුදෙකලාව ම හුන්,

ඈ,

නිල්වන් දෙනෙත්,
විකසිත කළා ය,
විවර කළා ය…
ඔහු සෙවීමට පළමු පියවර
කාශ්ඨක පොළොව මත
සුසිනිඳුව සටහන් කළා ය…

ලොවම දීප්තිමත් වී ය.
එහෙත් කෙළවර නිවෙසක
සාමකාමී හමුවීමක් මධ්‍යයේ,
හේ ගෙළවැලලා ගෙන
මරණයට පත් කෙරුණු ලැබිණ!

නැවතත් සුළඟ ක්‍රියාශීලී වී ය.

© 2013 Pamuditha Zen Anjana

දෙවැනි සිදුහත්

මං ඇහැරුණා,

ලෝකෙම ඇස් නිලංකාර කරවන සුළු
නිල් පාට එළියකින් නැහැවිලා තිබුණා..
වටේට නිල් කටරොඩු මල් යායක් පිපුණා
ඒවා සුදු පාට වෙන්නත් ඇති..

කවුද දන්නේ?
නිල් එළියට මං වශී වෙලානෙ හිටියේ!

කොළ පාට සමණල්ලු රංචුවක්
අවාරයේ සිරිපා වන්දනාවේ ගියා..
ළඟින් හමාගෙන ගිය සුළං පාරක්
රහස් ගණනාවක් මග දිගට හළාගෙන ගියා!

මං රූපවාහිනිය ඕෆ් කළා…

කණාමැදිරි එළියෙන්,
මගේ කාමරේ බිත්ති හතර
ලස්සන රටා පිරුණු කලාගාරයක් වුණා..

එළිය තාමත් නිල් පාටයි..!

පොළොවේ පය ගහලා මං හිට ගත්තා
මෙච්චර වෙලා ඉඳගෙන හිටපු ගල් තලාව
ක්ෂණයකින් පොළොවට පස් වෙලා ගියා..

පිටිපස්සට අඩියක් තිබ්බේ,
බයකට එහෙම නෙමෙයි!

ඒත් ඊළඟට…

අඩිය තියපු තැන පුංචි නිල් මහනෙල් මලක්
පයට පෑගිලා, මිරිකිලා, දඟලමින් හිටියා..
පොඩ්ඩක් ගැස්සුණු පාර මං අඩි හයක්ම
ආපස්සට තිබ්බා!

‘චේ’ ගේ කතාව මතක තිබ්බට
මට ඒකෙන් වුණු වැඩක් නෑ!

අඩිය තියපු තියපු තැන් වල..
නිල් මහනෙල් මල් ගණනාවක්,
නෑ, හරියටම තව හයක් පිපුණා!

ඒ පාර නම් මං බය වුණා,
මුළුගත වුණා..
ඊළඟට ගල් වුණා!

ඉතිං මාත් අනිත් ගල් වගේම,
පොළොවට පස් වෙලා ගියා…

© 2013 Pamuditha Zen Anjana