රන්දුනු ගේ උපන් දිනයට..

ඔයාගේ උපන් දිනයට දෙන්නේ මොනවද කියලා හිත හිත හිටියා. ඒත් ඔළුවට කිසිම දෙයක් ආවේ නෑ. දෙයක් අරන් යවන එක එච්චර ලස්සන නෑ. එක්කෝ හදලා යවන්න ඕනේ. ඒත් ඒක ටිකක් සංකීර්ණ වැඩියි. මොකෝ කරන්නේ කියලා දහ අතේ කල්පනා කරලා තමා මේක හිතුවේ. මේ විටින් විට මම ඔයාටම ලියපුවා. දින සටහන් වලට වඩා එහා ගිය යමක් තියෙන නිසාම, කොළේක හිර වෙලා පුස් කනවට වඩා මේවා මේකේ තියෙන එක ලස්සනයි කියලා මට හිතුණා. මුළු හදවතින්ම ඔයාට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.

(14. 11. 2011)
ඔයාගේ පොඩි වචනයක් පවා මට මහමෙරක් වගේ බරට දැනුණා. වචන වලින් ආදරය ගලාගෙන එද්දී, දුරකථන රැහැන් පවා උණු වෙනවා මට දැනුණා. ඒ වචනවල ගැබ් වෙලා තිබ්බ ආදරය හරිම දීප්තිමත්. මම එදා ඉඳන් ලිව්වේ ඒ ආදරයේ එළියෙන්. ටික වෙලාවක් යද්දී ලියන්නේ මොනාද කියලා නොපෙනෙන තරමට ඒ එළිය වැඩි වුණා.

ඔයා මට දැනෙන්නේ හරියට උදේට පායලා හවසට බැහැලා යන ඉර වගේ. මං මහ පොළොව වගේ හැමදේම ඉවසගෙන ඔයාගේ ආලෝකය විඳිනවා. මට ඉන්නේ එක ඉරයි. ඒ ඔයා විතරයි. ඒ වුණත් මම දන්නවා ඔයාට තව ලෝක ගොඩක් එළිය කරන්න තියෙනවා කියලා. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි.

(21. 11. 2011)
පාර පනිද්දී දවසක් මම හරක් රංචුවක් දැක්කා. උන් ටික පෝලිමට එකා පස්සේ එකා පාර මැද්දේ හිටගෙන හිටියා. මට දැන් කොහේදී හරි හරකෙක් දැක්කොත් මතක් වෙන්නේ ඔයාව. හිනාවෙන්න එපා. ඒක අපි දෙන්නට සීමා වෙච්ච, පොදු වෙච්ච කාරණාවක් බවට පත් වෙලා. මං එහෙම හදාගෙන. මේ දවස් වල මං කරන්නේ ඔය වගේ එක එක පොඩි පොඩි කතා එකතු කරලා අපි දෙන්නගේ පොදු කුලකයේ හිස්තැන් පුරවන එක.

(03. 12. 2011)
ඔයාව වෙනදට වඩා ගොඩක් ළඟින් අද මට දැනෙනවා. ඔයාව මතක් වෙන හැම පාරකම වගේ මගේ හෘද ස්පන්දන වේගය ක්ෂණිකවම වෙනස් වෙන විදිහ ගැන මම කල්පනා කළා. හිතට දැනෙන දේවල් වලට අනුව ශරීරය ක්‍රියාත්මක වෙන එක හරිම ලස්සනයි කියලා මට හිතුණා.

(07. 12. 2011)
රාත්‍රිය ගෙවිලා ඉර උදාවෙන හැටි මම මගේ කවුළුවෙන් බලාගෙන හිටියා. තද රතු පාටට අහස වර්ණවත් වෙලා මුල්ම හිරු කිරණ වැටුණේ මගේ මූණට කියලයි මට හිතුණේ. ඒත් ඒ එළිය ආවේ ගොඩක් දේවල් පහු කරගෙන බව මං දන්නවා. මට ඒකෙන් ප්‍රශ්නයක් නෑ. මං හිතාගෙන ඉන්නේ ඉර එළිය දෙන්නේ මට විතරයි කියලා.

හුස්ම වැටෙන වාරයක් ගාණේ මම වයසට යනවා කියලා මට හිතෙන්න ගත්තම මම ඇත්තටම දුක් වුණා. ඒ ඔයත් එක්ක ගත කරන්න තියෙන කාලය ටික ටික පැනලා යනව නේද කියලා මට දැනුණු නිසා. මං ඇස් පියාගෙන ඔයාව මතක් කළා. ඔයා මගේ ළඟට ඇවිත් ලස්සනට හිනා වෙලා ආපහු හැරිලා දුවන්න ගත්තා මගෙන් ඈතට. මම ඔයාගේ පස්සෙන් කළුවරේ වැටි වැටී දිව්වා. ඒත් ඒ වෙද්දී උදේ වෙලා නිසා මම ඇඳෙන් නැගිට්ටා.

(12. 04. 2012)
මට ඔයාව ලෝකයකට වඩා වටිනවා. ඇයි ඔයා තාම මට ආදරේ නොකරන්නේ කියන එක ඔයාටම තේරෙන්නේ නෑ කියලා ඔයා කිව්වම මං ළඟ ඒකට උත්තර තිබ්බේ නෑ. ඒක ඉතිං ඔයාම හොයාගන්න ඕනේ. මං ලෑස්තියි ලෝකේ ඉවරවෙනකම් වුණත් බලාගෙන ඉන්න.

මං මගේ හිත ඔයාට දුන්නා පරිස්සමින් ළඟ තියාගන්න කියලා. ඔයා ඒක පරිස්සම් කරගනියි කියලා මට විශ්වාසයි. මේ විශ්වයේ කෙළවරක් කෙළවරක් පාසා රවුම් ගැහුවත් මට මගේ හිත දෙන්න ඔයා වගේ වෙන කවුරුවත් හමු වෙන්නේ නැති බව විශ්වාසයි. ඔයා ඒ හිත පරිස්සම් කරගන්නම් කිව්වම මට තේරුණා ඔය පුංචි හිතේ කොණක හරි මට ඉඩක් වෙන් වෙලා තියෙනවා කියලා. අපේ සංවාද ආයේ ආයේමත් කියවද්දී මට ඒක හොඳට තේරුණා. කථා කරන වෙලාවට ඒක නොතේරෙන්නේ, ඒ වෙලාවට මගේ හිත පිරිලා ඉතිරිලා හින්දා වෙන්න ඇති.

(15. 04. 2012)
මට ඔයා නැති පාළුව තදින්ම දැනුණා. ඔයා ළඟ නැති පාළුව නෙමෙයි, ඔයාගේ හිතේ මට ඉඩ නැති වෙයි කියලා හිතුණම දැනෙන පාළුව. කලින් එකට වඩා ඒක අතිශය දරුණුයි.

හැමදාම වගේ මම අදත් රෑ අහස යට ඉඳන් තරු ගණන් කරන්න ගත්තා. ගොඩක් තරු මට ඇස් වහල ඉඟි කළා. ඒත් මං බලං හිටියේ වැරදිලා වත් හඳ පායයි කියලා. අද පෝය දවසක් නෙමෙයි කියලා පස්සේ මට මතක් වුණා. හඳ දකින්න පෝය එනකම්ම ඉන්න ඕනේ නේද කියලා මං මගෙන්ම අහගත්තා.

ඔයාගෙන් ඈත් වෙන්න හදන හැම පාරකම මම කොහොමහරි ආයෙමත් නවතින්නේ ඔයා ගාවමයි. ලෝකේ වටේම ඇවිදින මගේ හිත ඔයා ගාවට දුවන්නේ ඇසි පිය හෙළනවාටත් වඩා ඉක්මණින්.

(20. 04. 2012)
ඔයත් එක්ක ගත කරන කාලය ගත වෙන්නේ මට නොදැනීම. අපි කතා කරන හැම වෙලාවකම කාලය නැවතිලා කියලා මට දැනෙනවා. හැමදාම ඔයා යන්න හදද්දී මට මහා පාළුවක් දැනෙනවා. පහුවෙනිදා කතා කරන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියත් ඒ පාළුව දැනෙන්නේ ඇයි කියලා මම තාම කල්පනා කරනවා.

ඇයි මම මෙච්චර ඔයාට ආදරේ කරන්නේ කියලා ඔයා ඇහුවා. ඒක සෑහෙන බරපතල ප්‍රශ්නයක් වෙලා තිබුණා කියලා මට දැනුණා. ඒත් මං ළඟ ඒ ප්‍රශ්නෙට උත්තරයක් තිබුණේ නෑ. මං දැනං හිටියේ මං ඔයාට ආදරේ කරනවා කියලා විතරයි. මං ඒකට හේතු හොයන්න ගියේ නෑ. ඇත්ත ඔයාට ඒ ප්‍රශ්නේ එන එක සාධාරණයි. මම ඒකට උත්තරයක් හොයා ගත්තු දවසට…

© 2013 Pamuditha Zen Anjana

Advertisements

අයං වස්සාන කාලෝ!

තරුවක් ක්ෂය වී ය.
අළු ව වෙන් වෙන් ව,
අංශූන් මඟින් පරිණතව
විකසිත වූ ඩැෆඩිල් පොකුරක්
මතට පාවී අවුත්,
සෙමෙන් පහතරට නර්තනයක්
අනුකරණය කරන්නට වුණි…

“ශ්‍රී ලංකා පොලීසිය”
වේලාව රාත්‍රී 2.35
පැමිණිල්ලේ ස්වභාවය:
මිනීමැරුමක් හා මංකොල්ලයක්…

“අනේ රාළහාමි!
අපොයි රාළහාමි!
උන් මගේ කුමර බඹසර
මංකොල්ල කෑවා රාළහාමි!”

“තරුවලට නපුංසක වෙන්න බෑ පරයෝ!
උඹ ගංජා ගහලද? බීලා ද?
ඩප්පියක් හරි ග්‍රෑම් දෙසිය පණහක් හරි දාලා,
දානවා දැනගං වේසිගේ පුතා කූරු ගණින්න!”

තරුව ගමනාන්තයට ළං වී ය.
අළු ගසා දමා නැගිටින
ෆීනික්ස් නම් පක්ෂියා මෙන්
උඩ නැගී අතුරුදන් විය!
පහතරට නැටුම් නැවතුණි…
හදිසි දේවතා එළිද වියැකුණි…

“ඔව්වා ජාත්‍යන්තර කුමන්ත්‍රණ විමලෝ
උඹ යනවා එහෙම නෙවෙයි ඕං
එළි ගූගල් කොරන්න!
මං නෙකිව්වයි කියන්න එපා තොට!”

© 2013 Pamuditha Zen Anjana