රන්දුනු ගේ උපන් දිනයට..

ඔයාගේ උපන් දිනයට දෙන්නේ මොනවද කියලා හිත හිත හිටියා. ඒත් ඔළුවට කිසිම දෙයක් ආවේ නෑ. දෙයක් අරන් යවන එක එච්චර ලස්සන නෑ. එක්කෝ හදලා යවන්න ඕනේ. ඒත් ඒක ටිකක් සංකීර්ණ වැඩියි. මොකෝ කරන්නේ කියලා දහ අතේ කල්පනා කරලා තමා මේක හිතුවේ. මේ විටින් විට මම ඔයාටම ලියපුවා. දින සටහන් වලට වඩා එහා ගිය යමක් තියෙන නිසාම, කොළේක හිර වෙලා පුස් කනවට වඩා මේවා මේකේ තියෙන එක ලස්සනයි කියලා මට හිතුණා. මුළු හදවතින්ම ඔයාට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.

(14. 11. 2011)
ඔයාගේ පොඩි වචනයක් පවා මට මහමෙරක් වගේ බරට දැනුණා. වචන වලින් ආදරය ගලාගෙන එද්දී, දුරකථන රැහැන් පවා උණු වෙනවා මට දැනුණා. ඒ වචනවල ගැබ් වෙලා තිබ්බ ආදරය හරිම දීප්තිමත්. මම එදා ඉඳන් ලිව්වේ ඒ ආදරයේ එළියෙන්. ටික වෙලාවක් යද්දී ලියන්නේ මොනාද කියලා නොපෙනෙන තරමට ඒ එළිය වැඩි වුණා.

ඔයා මට දැනෙන්නේ හරියට උදේට පායලා හවසට බැහැලා යන ඉර වගේ. මං මහ පොළොව වගේ හැමදේම ඉවසගෙන ඔයාගේ ආලෝකය විඳිනවා. මට ඉන්නේ එක ඉරයි. ඒ ඔයා විතරයි. ඒ වුණත් මම දන්නවා ඔයාට තව ලෝක ගොඩක් එළිය කරන්න තියෙනවා කියලා. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි.

(21. 11. 2011)
පාර පනිද්දී දවසක් මම හරක් රංචුවක් දැක්කා. උන් ටික පෝලිමට එකා පස්සේ එකා පාර මැද්දේ හිටගෙන හිටියා. මට දැන් කොහේදී හරි හරකෙක් දැක්කොත් මතක් වෙන්නේ ඔයාව. හිනාවෙන්න එපා. ඒක අපි දෙන්නට සීමා වෙච්ච, පොදු වෙච්ච කාරණාවක් බවට පත් වෙලා. මං එහෙම හදාගෙන. මේ දවස් වල මං කරන්නේ ඔය වගේ එක එක පොඩි පොඩි කතා එකතු කරලා අපි දෙන්නගේ පොදු කුලකයේ හිස්තැන් පුරවන එක.

(03. 12. 2011)
ඔයාව වෙනදට වඩා ගොඩක් ළඟින් අද මට දැනෙනවා. ඔයාව මතක් වෙන හැම පාරකම වගේ මගේ හෘද ස්පන්දන වේගය ක්ෂණිකවම වෙනස් වෙන විදිහ ගැන මම කල්පනා කළා. හිතට දැනෙන දේවල් වලට අනුව ශරීරය ක්‍රියාත්මක වෙන එක හරිම ලස්සනයි කියලා මට හිතුණා.

(07. 12. 2011)
රාත්‍රිය ගෙවිලා ඉර උදාවෙන හැටි මම මගේ කවුළුවෙන් බලාගෙන හිටියා. තද රතු පාටට අහස වර්ණවත් වෙලා මුල්ම හිරු කිරණ වැටුණේ මගේ මූණට කියලයි මට හිතුණේ. ඒත් ඒ එළිය ආවේ ගොඩක් දේවල් පහු කරගෙන බව මං දන්නවා. මට ඒකෙන් ප්‍රශ්නයක් නෑ. මං හිතාගෙන ඉන්නේ ඉර එළිය දෙන්නේ මට විතරයි කියලා.

හුස්ම වැටෙන වාරයක් ගාණේ මම වයසට යනවා කියලා මට හිතෙන්න ගත්තම මම ඇත්තටම දුක් වුණා. ඒ ඔයත් එක්ක ගත කරන්න තියෙන කාලය ටික ටික පැනලා යනව නේද කියලා මට දැනුණු නිසා. මං ඇස් පියාගෙන ඔයාව මතක් කළා. ඔයා මගේ ළඟට ඇවිත් ලස්සනට හිනා වෙලා ආපහු හැරිලා දුවන්න ගත්තා මගෙන් ඈතට. මම ඔයාගේ පස්සෙන් කළුවරේ වැටි වැටී දිව්වා. ඒත් ඒ වෙද්දී උදේ වෙලා නිසා මම ඇඳෙන් නැගිට්ටා.

(12. 04. 2012)
මට ඔයාව ලෝකයකට වඩා වටිනවා. ඇයි ඔයා තාම මට ආදරේ නොකරන්නේ කියන එක ඔයාටම තේරෙන්නේ නෑ කියලා ඔයා කිව්වම මං ළඟ ඒකට උත්තර තිබ්බේ නෑ. ඒක ඉතිං ඔයාම හොයාගන්න ඕනේ. මං ලෑස්තියි ලෝකේ ඉවරවෙනකම් වුණත් බලාගෙන ඉන්න.

මං මගේ හිත ඔයාට දුන්නා පරිස්සමින් ළඟ තියාගන්න කියලා. ඔයා ඒක පරිස්සම් කරගනියි කියලා මට විශ්වාසයි. මේ විශ්වයේ කෙළවරක් කෙළවරක් පාසා රවුම් ගැහුවත් මට මගේ හිත දෙන්න ඔයා වගේ වෙන කවුරුවත් හමු වෙන්නේ නැති බව විශ්වාසයි. ඔයා ඒ හිත පරිස්සම් කරගන්නම් කිව්වම මට තේරුණා ඔය පුංචි හිතේ කොණක හරි මට ඉඩක් වෙන් වෙලා තියෙනවා කියලා. අපේ සංවාද ආයේ ආයේමත් කියවද්දී මට ඒක හොඳට තේරුණා. කථා කරන වෙලාවට ඒක නොතේරෙන්නේ, ඒ වෙලාවට මගේ හිත පිරිලා ඉතිරිලා හින්දා වෙන්න ඇති.

(15. 04. 2012)
මට ඔයා නැති පාළුව තදින්ම දැනුණා. ඔයා ළඟ නැති පාළුව නෙමෙයි, ඔයාගේ හිතේ මට ඉඩ නැති වෙයි කියලා හිතුණම දැනෙන පාළුව. කලින් එකට වඩා ඒක අතිශය දරුණුයි.

හැමදාම වගේ මම අදත් රෑ අහස යට ඉඳන් තරු ගණන් කරන්න ගත්තා. ගොඩක් තරු මට ඇස් වහල ඉඟි කළා. ඒත් මං බලං හිටියේ වැරදිලා වත් හඳ පායයි කියලා. අද පෝය දවසක් නෙමෙයි කියලා පස්සේ මට මතක් වුණා. හඳ දකින්න පෝය එනකම්ම ඉන්න ඕනේ නේද කියලා මං මගෙන්ම අහගත්තා.

ඔයාගෙන් ඈත් වෙන්න හදන හැම පාරකම මම කොහොමහරි ආයෙමත් නවතින්නේ ඔයා ගාවමයි. ලෝකේ වටේම ඇවිදින මගේ හිත ඔයා ගාවට දුවන්නේ ඇසි පිය හෙළනවාටත් වඩා ඉක්මණින්.

(20. 04. 2012)
ඔයත් එක්ක ගත කරන කාලය ගත වෙන්නේ මට නොදැනීම. අපි කතා කරන හැම වෙලාවකම කාලය නැවතිලා කියලා මට දැනෙනවා. හැමදාම ඔයා යන්න හදද්දී මට මහා පාළුවක් දැනෙනවා. පහුවෙනිදා කතා කරන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියත් ඒ පාළුව දැනෙන්නේ ඇයි කියලා මම තාම කල්පනා කරනවා.

ඇයි මම මෙච්චර ඔයාට ආදරේ කරන්නේ කියලා ඔයා ඇහුවා. ඒක සෑහෙන බරපතල ප්‍රශ්නයක් වෙලා තිබුණා කියලා මට දැනුණා. ඒත් මං ළඟ ඒ ප්‍රශ්නෙට උත්තරයක් තිබුණේ නෑ. මං දැනං හිටියේ මං ඔයාට ආදරේ කරනවා කියලා විතරයි. මං ඒකට හේතු හොයන්න ගියේ නෑ. ඇත්ත ඔයාට ඒ ප්‍රශ්නේ එන එක සාධාරණයි. මම ඒකට උත්තරයක් හොයා ගත්තු දවසට…

© 2013 Pamuditha Zen Anjana

Advertisements

9 thoughts on “රන්දුනු ගේ උපන් දිනයට..

    • මේක තාම අතීතයටත් අයිති නැති අනාගතයටත් අයිති නැති කතාවක් බං! කොමෙන්ටුවට ඉස්තූතියි! 🙂

  1. (18. 09. 2013)
    මම ඉස්සර ඉඳන්ම වැස්සට කැමතියි.ආදරෙයි.මට තේරෙන කාලේ ඉඳන්ම වැස්ස දිහා බලන් ඉන්න වැස්සේ තෙමෙන්න ගොඩක්ම ආසයි.ඒකෙනුත් වැස්සේ තෙමෙන්න තමයි වැඩියත්ම ආස.දන්නවා ඔයත් වැස්සේ තෙමෙන්න ආසයි කියලා. ඒ පුංචි වැහි බිංදු මගේ මුණට හාදු දෙනකොට මට මතක් උනේ ඔයාව.ඒ ඔයත් වැස්සට ආස නිසා වෙන්න ඇති.මන්දාරම් අඳුරේ ලයිට් කණු වලින් පාරේ යන වාහන වල එළියෙන් එක එක පාට ගත්ත වැහි බිංදු බිමට වැටෙනකොට හරියට සුරංගනාවියෝ දේදුන්නම දිය කරලා පොලවට ඉහිනවා වගෙයි.ඒ වැස්සේ තෙමුනොත් ඒ පාටවල් මගේ ඇඟ පුරාම ගෑවේවි හිතුවක්කාර ඒත් බොළඳ අහිංසක ආසාවක් හිතට එනවා.ඒ වගේ ලස්සන වැස්සක අත් අල්ලාගෙන ඔයත් එක්ක ඔහේ ඇවිදගෙන යන්න හිතුන වාර අනන්තයි.ඒත් හ්ම්ම්ම්…

    ජීවිතය දේවල් දෙන්න හරියට වැස්ස වගේ.දුක සැප සතුට ආදරය වගේ දේවල් අපිට අඩු වැඩියෙන් ලැබෙනවා වගේ තමයි වැස්සත් අඩු වැඩි විදියට වැටෙන්නේ.සමහර වෙලාවට මොකුත්ම නෑ.සමහර විට ඔයාටයි මටයි ඒ වැස්සේ එකට තෙමෙන්න බැරි වේවි.එහෙම උනා කියලා…..

    මම එදා වගේම අදත් වැස්සට ආදරෙයි.ඒත් දැන් වැස්සක් වැටෙන හැම වෙලාවකම මට ඔයාව මතක් වේවි.වාරයක් දෙවාරයක් නෙවෙයි.මැරෙන තුරාවටම.ඒ ඔයා වැස්සට ආස නිසාම වත් මම ඔයාට ආදරේ නිසාම වත් නෙවෙයි.ඔයා මගේ වේලිච්ච ජීවිතේට ආවේ වැස්සක් වගේ නිසා.

    • “මම එදා වගේම අදත් වැස්සට ආදරෙයි.ඒත් දැන් වැස්සක් වැටෙන හැම වෙලාවකම මට ඔයාව මතක් වේවි.වාරයක් දෙවාරයක් නෙවෙයි.මැරෙන තුරාවටම.ඒ ඔයා වැස්සට ආස නිසාම වත් මම ඔයාට ආදරේ නිසාම වත් නෙවෙයි.ඔයා මගේ වේලිච්ච ජීවිතේට ආවේ වැස්සක් වගේ නිසා.”

      සිරා මචෝ! :’)

  2. යාලුවෙක් ලින්ක් එක දුන්නේ. අදමයි මේ පැත්තට ගොඩ වුනේ. නියමෙට ලියල තියනවා. නිර්මාණයක් විතරක් වෙනවනම් හොඳයි. සැබෑ ජිවිතේ ඔහොම දෙයක් වෙන්නෙ නැතුව.

  3. ලොකූ හුස්මක් මටත් නොදැනීම පිටවුනා….මේවා හරි ලස්සනයි පමුදිත

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s