ප්‍රභාසාර

රෝදේ කැරකෙන තරම් වේගයෙන් වාහනය ඉස්සරහට ගියේ නෑ. ඒ වුණාට එහෙමමයි කියලා අපි ඒකෙන් අධෛර්යමත් වුණෙත් නෑ. බැහැලා තල්ලු කරන තැනට එනකම්ම අපි වාහනය ඉස්සරහට ගෙනිච්චා. ඉස්සරහ පේන්න තිබ්බා පිදුරුතලාගල තරම් දෙකක් විතර උස කළුවර කන්දක්. කන්ද උඩින් එබිකම් කරපු නිල් පාට ඉර වැහෙන්න හිටගෙන හිටියේ දාවිත්.

කැරපොත්තෙක් වුණාට මොකද, ඌ හිටියේ මිනිහෙක් වගේ කකුල් දෙකකින් හිටගෙන. වෙනදට සුදු පාටින් දිලුණට, අද විසල් කොන්ක්‍රීට් පිළිරුවක් වගේ දාවිත් හිටගෙන හිටියේ, පසුබිමෙන් එළිය දීපු ඉරට පින්සිද්ධ වෙන්න කළු අවතාරයක් බවට පත් වෙලා. උගේ අතේ තිබ්බා පරමාණු බෝම්බයක්. ඉස්කෝලෙදි පරමාණුක ශක්තිය ගැන ඉගෙන ගත්තු මට නම් ඒක පටස් ගාලා අඳුරගන්න පුළුවන් වුණාට මගෙත් එක්ක සත්‍යය සොයා යන චාරිකාවට සහභාගී වෙච්ච අනිත් අයට නම් ඒක හරි හැටි අඳුරගන්න පුළුවන් වුණු බවක් දැනුණේ නෑ. මම කෝකටත් කියලා ආපස්සට හරියට අංශක එකසිය අසූවකට බෙල්ල හරවලා කට්ටියට ඒක ගැන පැහැදිලි කිරීමේ බැල්මක් එල්ල කළා.

අපි සැලෙයි ඔව්වට!

ඒත් තත්පරයක් යන්න හම්බුණේ නෑ මෙන්න අපිත් එක්ක හිටපු රොබට් සමණලයෙක් බවට රූපාන්තරණය වුණේ අපි පුදුමයෙන් බලා ඉන්දැද්දි. පොදුවේ අපි දිහා බලලා සමච්චල් සහගත සිනහවක් එල්ල කරපු ඌ විශේෂයෙන්ම වගේ මගේ දිහාත් බැලුවා.

“එහෙනම් එහා ලෝකෙදි හමුවෙමු මිත්‍රයා!”

කියලා මගේ කම්මුලකට උගේ ඔලුවේ තිබ්බ කැත ඇන්ටෙනාවකින් පොඩි තට්ටුවක් දාපු ඌ, ළඟ හිටපු ලස්සන සුදු කෙල්ලෙක්ට ඇහැකුත් ගහලා සිරීපාදේ දිහාට පියාඹලා යන්න ගියා. අපි තුෂ්ණිම්භූතව ඌ ගිය දිහාව බලාගෙන හිටියා කිසිම කතාවකින් බහකින් තොරව.

ඉස්සෙල්ලම පියවි සිහියට ආවේ පාර වැරදිලා, අරමුණකින් තොරව අපිත් එක්ක ඉබාගාතේ යන්න හිතාගෙන ආපු, තටු කැඩිච්ච වැහි ළිහිණියා. ඌ හිමීට උගුර පෑදුවා. ඒත් අපි අපේ කල්පනා ලෝක වල හිරවෙලා හිටියා මිසක ඌ පිළිබඳ රුපියලක වත් අවධානයක් යොමු කළේ නෑ.

“දඩෝං!”

හරියට හුස්මක් ගන්නත් කලින් කණ ළඟින්ම ඇහුණු දරුණු පිපුරුම් හඬට අපි ඔක්කොම උඩ විසිවෙලා ඇහැරුණා. වෙලා තිබුණ දේ මීටරේට වැටුණේ එතකොටයි. අපි ඌව ගණන් ගත්තේ නැති නිසා ඒ පිළිබඳ තමන්ගේ විරෝධය පෙන්නන්න හිතාගෙන, වැහි ළිහිණියා උගේ කලිසමේ එච්චර වෙලා හදිස්සියකට ගන්න කියලා හිතාගෙන හංගගෙන හිටපු අත් බෝම්බෙකින් ළඟ තිබ්බ කළුගල් බැම්මකට දමලා ගහලා. බැම්මත් කුඩේ කුඩු! මොනා වුණත් අළුත් කළු ගල් අහක දාන්න බැරි නිසාමද කොහේදෝ හන්දියේ හාඩ්වෙයාර් එක අයිති සයිමන් මුදලාලි එයාගේ ඩිමෝ බට්ටා අරගෙන ඇවිල්ලා ගෝලයොත් එක්ක හොර ගල් ඇහිඳින්න අරන් තිබුණා.

අපි පහළොස් දෙනාම එකම මොහොතක දිග හුස්මක් ඉහළට අරගෙන පහතට දාලා බැම්ම කැඩුණු තැනින් රිංගලා කන්ද උඩට යන්න තිබ්බ එකම අඩි පාරට ඇතුළු වුණා. අඩි පාර කන්ද වටේට අතුරලා තිබ්බේ වැනිලා සෝයා අයිස් ක්‍රීම් එකක ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් ලේයර් එකක් ලස්සනට වටේට දානවා වගේ. අපි ඉස්සර ඉස්කෝලේ විනෝද චාරිකා වලට යන විදිහට දෙන්නා දෙන්නා අත් අල්ලගෙන හිමිහිට ඒ අබලන් වෙලා තිබුණු අඩි පාර දිගේ උඩට නගින්න පටන් ගත්තා.

මට අල්ලගන්න හම්බුණේ අර රොබට් යන්න ඉස්සෙල්ලා ඇහැක් ගහපු සුදු කෙල්ලගේ අතින්. මමත් නුපුරුදු කුලෑටි කමකින් ඇගේ අතින් අල්ලගෙන පාර දිගට පිය මනින්න ගත්තා. එහෙම විනාඩි පහළොවක් විතර අපි ‘හ්ම්’ නොකියා උඩට නගින්න ඇති.

ඒක මට මුලින්ම පෙන්නුවෙත් ඈ. චාරිකාවේ මුල්ම වතාවට ඈ කතා කළේ ඒ වෙලාවේදි වීම නිසාවෙන් ඇතිවෙච්ච පුංචි තැති ගැන්ම නිසාම ඒක මට මග ඇරෙන්නත් ඉඩ තිබ්බා. ඒත් මගේ වාසනාවකටද කොහේදෝ මට ඒක මගහැරුණේ නෑ. දම් පාටින් සහ දීප්තිමත් කොළ පැහැයෙන් බැබළෙන උල්කාවක් රාත්‍රී අහස එළිය කරමින් ඇසිපිය ගහන මොහොතක් තුළදී බටහිරට ඇදිලා ගියා.

“මොකක් හරි දෙයක් ප්‍රාර්ථනා කරන්න!”

ඈ මගේ ඇස් දෙකට එබිලා ඔළුව පැත්තකට ඇල කරමින් හුරුබුහුටි විදිහට කිව්වා. ඒක සුවිශේෂත්වයක් විදිහට මට දැනුණේ පස්සේ.

මම ඇස් වලින් හිනා වුණා.

“ඔයා ඒක විශ්වාස නොකළට කමක් නැහැ. මම කියනවට කරලා බලන්නකෝ!”

ඈ මට පෙරැත්ත කළා.

මාත් කීකරු පූස් පැටියෙක් වගේ ඇස් පියාගෙන හිත පුරාවටම මගේ ප්‍රාර්ථනාව ඇතිරුවා. දිග හුස්මක් එක්කම ඒක සීතල රාත්‍රී සුළඟට මුසු කරලා දාලා මම පිටිපස්ස හැරුණේ, අපි නැවතිලා හින්දා අනිත් උන් නෝක්කාඩු කියනවා බලන්න බලාපොරොත්තුවෙන්.

ඒත් අපේ පිටිපස්සෙන් කවුරුවත්ම හිටියේ නෑ. රාත්‍රී අඳුර මකන්න හිතාගෙන ළඟින් හිටපු කණා මැදිරියෝ ජෝඩුවක් නම් ඔළුවට උඩින් රටා මවමින් හිටියා. ඒත් මම හදගැස්මකටවත් බය වුණේ නෑ. ඈ මගේ ළඟින්ම ඉන්නවා කියලා මම දැනගෙන හිටියා. ඇගේ සුමුදු දිග ඇඟිලි මගේ ඇඟිලි එක්ක පැටළුණේ ඒ බව තහවුරු කරන්නා වගෙයි. මම ඒ අත තවත් තදින් අල්ලගත්තා.. මොහොතකටවත් මග හැරෙන්න නොදී.

නිදහසේ තිබ්බ වම් අත කලිසම් සාක්කුවට දාලා ගැහෙන හදවත අතේ ගුලි කරගත්තු මම ඇයත් එක්ක ආයෙමත් පියවර මනින්න ගත්තා. ඒ වෙද්දී කන්දෙන් බාගයක් විතර අපි තරණය කරලා ඉවරයි. ඉස්සරහින් අඩි පාර දෙපැත්තේ රැස් වෙලා හිටපු නොහඳුනන චරිත සිය දහස් ගාණක් අපිට අත වනලා ආචාර කළා. ඔවුන්ගේ ශරීර වලින් නිකුත් වෙච්ච ආලෝක කදම්භ වලින් අඩි පාරේ තිබ්බ මඩ වලවල්වල පිරී තිබුණු වතුර හිඳුණා. අහසින් නෙක පැහැති මල් වරුසාවක් වැටෙන්න පටන් ගත්තා. ඒ මල් වල නැගලා උන්නු ඇට මැස්සෝ පහතරට නැටුම් පුරුදු වෙනවා මම විස්මයට පත් දෙනෙතින් බලාගෙන හිටියා. ඈ නම් පොඩ්ඩක් වත් පුදුමයට පත් වෙලා තිබුණේ නෑ. ඒක හරියටම ඈ මේ සියල්ලම බලාපොරොත්තු වුණා වගේ.

දෙපස අත හැර දමා තිබුණු ඇපල් වතු, පුරන් වූ කුඹුරු, තැනිතලා මැද්දෙන් වැටුණු අඩි පාර දිගට වැටිලා තිබ්බ මල් ඇතිරිල්ල මතින් අපි තව තවත් කඳු මුදුන බලා අඩි තිබ්බා. එන්න එන්නම පාර පටු වෙන්න ගත්තා. මට මාවවත් නොපෙනෙන තරම් කළුවරක් තිබ්බ බිම් ගෙයක කුඩා දොර ඉදිරියේ අපි දෙන්නම නැවතුණා.

ඈතින්, රාත්‍රී අඳුර කපාගෙන, පොලිස් සයිරන් නළාවක මූසල අඳෝනාව ඇහෙන්න ගත්තා. ටිකෙන් ටික ඒක අපි හිටපු තැනට ළං වෙනවා මට දැනෙන්න ගත්තා. මම ඒ පාර නම් ටිකක් බය වුණා. ඇයටත් ඒක දැනිලද කොහෙද. මෙච්චර වෙලා තදින් අල්ලගෙන හිටපු මගේ අතට ඈ හෙමිහිට නිදහස දුන්නා. මම ඒකට විරෝධය පළ කරන්න දඟලනවා මට මතකයි. ඒත් ඈ ලස්සනට හිස දෙපසට වනලා, තොල් පට තද කරගෙන වේදනාවෙන් පිරුණු සිනහවක් පහළ කළා.

“මට එන්න පුළුවන් මෙතනට විතරයි.. ඉතුරු ටික ඔයාට තනියම යන්න වෙනවා!”

ඈ කිව්වා.

හදිසියකින් තොරව, සයිරන් විළාපයෙන් සන්නද්ධව එතනට ආපු රියදුරෙක් නැති පොලිස් රථයට ඈ නිහඬවම ගොඩ වුණා. යාන්ත්‍රිකව වැහෙන වීදුරුවෙන් මා දිහාම බලා උන්නු ඈ රැගත් රථය පවනට බඳු වේගයෙන් එතනින් නික්ම ගියා.

අහස ගුගුරා අනෝරා වැහි වැටෙන්න ගත්තා. තඩි වැහි බින්දු පොළොවට මතට කඩා පාත් වුණේ පොළොවත් එක්ක තිබ්බ තරහක් පිරිමහගන්න වගේ. මම අකල් වැස්සෙන් බේරෙන්න ළඟ තිබ්බ කුඩා දොරෙන් බිම් ගෙට ඇතුල් වුණා.

එළියෙන් අඳුරුයි වගේ පෙනුණට, ඒක ඇතුළේ අද්භූත අළු පැහැගත් මඳ එළියක් පැතිරිලා තිබුණා. ඒ එළියේ මාර්ගයෙන් දකුණු පැත්තේ කළුගල් බිත්තියේ ගහලා තිබ්බ පන්දමක් මට දකින්න ලැබුණා. මම ඒ දිහාවට අත දික් කරනවාත් එක්කම වාගේ ඒක දීප්තිමත් නිල් පැහැයෙන් දැල්වෙන්න ගත්තා. ඒක අනුකරණය කරමින් බිම් ගෙයි දිගටම ඒ වගේම පන්දම් එකින් එක පිළිවෙලට ඉබේම දැල්වෙන්න ගත්තා.

මම මොනා වුණත් ඉස්සරහට යන්න හිතාගත්තා. දෙපැත්ත බලමින් ඉස්සරහට ඇදුණු මට දකින්න ලැබුණේ සුවිසල් තෙල් කූඹි ගුල්. ඒවායෙන් එළියට ඇදෙන කූඹි දස දහස් ගණන් මම යන මාර්ගය දෙපසින් චීන මහා ප්‍රාකාරයේ අනුරුවක් හදන්න වෑයම් කරන බවක් පෙනෙන්නට තිබ්බා. මම ඔවුන්ගේ උත්සාහයට තනිවම හිනා වෙන ගමන්, බිම් ගෙයි කෙළවරට තව කොච්චර දුරක් තියෙනවද කියලා කල්පනා කළා.

ඒත් එක්කම බිම් ගෙය අතුරුදන් වුණා. මම හිටියේ කන්ද මුදුනේ හිටගෙන. තව අඩියක් හරි නිකම්වත් ඉස්සරහට තිබ්බා නම් මම ඉන්නේ කන්දෙන් පහළ. මගේ ඉස්සරහින් තිබුණේ වැටුණොත් කෑලිවත් හොයන්න බැරි වෙන අති භයංකර හෙළක්. මට දකුණු පැත්තෙන් ටිකක් විතර නුදුරින් දාවිත් පහළදි දැක්කා වගේම පිළිරුවක් වගේ නොසෙල්වී හිටගෙන හිටියා. ඌයි උගේ එක් අතක තිබුණු පරමාණු බෝම්බයයි නිල් පාට ඉර එළියට දිළිසුණා. මම උගේ දිහා බලලා බාගෙට හිනා වෙන ගමන් අනිත් බාගෙට ඇඬුවා, යමා මහ පෙළහර පෑවා.

“ලොක්කා එන්න ටිකක් පරක්කු වුණා නේ..? මම හිතුවා එන එකක් නෑයි කියලා.. නාවා නම් මම හිටියේ මෙතනින් පැනලා ගෙදර එන්න.”

දාවිත් කිව්වා.

මම ඔලුව මඳක් වැනුවා. දකුණු පැත්තේ සාක්කුවට අත දාලා ඒකේ තිබ්බ තාත්තගේ පරණ ඔරලෝසු කෑලි දාපු “අලියා” ගිනිපෙට්ටිය ගත්තා. ඒකේ තිබ්බ කැඩිච්ච ඔරලෝසු එන්ජිම දාවිත් බලාගෙන ඉන්දැද්දීම හෙළෙන් පහළට විසි කරලා දැම්මා. දාවිත් පරමාණු බෝම්බය බිමින් තියලා බලාපොරොත්තු සහගත බැල්මක් එල්ල කළා. මම ගිනි පෙට්ටිය ඌ හිටපු පැත්තෙන් බිමින් තියලා ආයෙමත් ඔලුව පොඩ්ඩක් වැනුවා…

මම එක හුස්මට ඔය කතාව කියලා ඉවර වෙද්දී වටේ තැන් තැන්වල ඉඳගෙන හිටපු කොල්ලො ටික මගේ දිහා ඇස් කණ් අයාගෙන බලාගෙන හිටියා. උන්ගේ මූණු වල තිබ්බේ විස්මයෙන් පිරුණු ගෞරවයක්.

“ඔන්න ඔහොමයි මචං මේ බෝම්බෙයි, සුදු කැරපොත්තා ඉන්න ගිනි පෙට්ටියයි මං ගාවට ආවේ! මල්ලිට කිව්වම විශ්වාස කරන්න මම තාම අද දවල්ට වත් කෑවේ නෑ මේ වැඩේ කරන්න ඕන නිසා.. ඒක නෙමෙයි මල්ලි, උඹ දවල්ට කාලා ද? මචං මෙන්න මේ මූටත් ඔහොම්මම කන්න මොනා හරි දාලා දීපං! අඩෝ සුදා තව පැය කීයක් තියෙනවද බං වැඩේට..? හරියටම කිව්ව වෙලාවට අරුන් ටික පොලීසිය වට කරයි.. අපිට තියෙන්නේ උඩ ඉඳන් මේක අත අරින්න විතරයි.. බූම්!!! ගින්දර ටික වගේ පැත්ත පළාතම චකබ්ලාස් වේගෙන යද්දී අරුන් ඒ පැත්තෙන් කෙල්ලව එළියට ගන්නවා රයිට්? පස්සේ ඔක්කොටම ටටා බායි කියලා අපි පියාඹලා යනවා අපේ ලෝකෙකට.. ලෝකේ වෙනස් කරන්න වෙන විදිහක් නෑ මල්ලී, උඹට තේරුණාද? තියෙන ලෝකේ විනාස නොවී අළුත් එකක් පටන් ගන්න විදිහක් නෑ.. අපි ඔක්කොම මේ කරගන්නේ ආනන්තරීය පිනක්! සුදා උඹ මොකද කියන්නේ.. එහෙම නේද? දීපං මලයා වහළේ උළු උඩ යන්න කියලා ‘සාධු!’ කාරයක්..”

© 2013 Pamuditha Zen Anjana

Advertisements

සර්ව බලධාරී

යදින්නාට
යහපතක් ම
වන්නේ ද?
අදහන්නාට
පිහිටක් ම
වන්නේ ද?
සියළුම
නාමයන්ගේ
වසන්නේ ද?

© 2011 Pamuditha Zen Anjana