නෙත්සර

ඉර එළියටත් වඩා
දීප්තිමත් ව
සඳ එළියටත් වඩා
සෞම්‍ය ව

වළාකුළුවලට නොරිදෙන්නට
දුව ඇවිදින සුළඟටත්
නොදැනෙන තරම් ම
ඉසියුම් ව

වැතිරෙන්නට අවසර ද
ආදරණීය හාද්දක් ව
ඔය දෙතොල්
අබියෙසක..

අරුණාලෝකයටත් වඩා
විචිත්‍රවත් ව
සැඳෑ අහසටත් වඩා
වර්ණවත් ව

නිසොල්මනේ බලාගත්වනම හුන්
සුවිසල් රුක් වලටත්
නොඇසෙන තරම් ම
මුදු සුමුදු ව

පා තබන්නට අවසර ද
සොඳුරු මන්දස්මිතයක් ව
ඔය දෙනෙත්
අබියෙසක..

විශ්වයටත් වඩා
අපරිමිත ව
කාලයටත් වඩා
පරිමිත ව

සියුම් සරින් ගැහෙන හැඟුමක
නුහුරු රිද්මයට අනුගතව
දිගහැරෙන පද පෙළක
නිමේශයන් සටහන් කරමින්

දැවටෙන්නට අවසර ද
සදාකල් නොමැකෙන
සෙවණක්, සෙවණැල්ලක් ව
ඔය සිත අද්දර…

© 2013 Pamuditha Zen Anjana

සංස්කෘතිකයෝ

අතරමං වූයෙමි
රෑ මද්දහනේ,
අතිජාත මිතුරන් ද සමග
නෙක පැහැයෙන්
විචිත්‍රවත් වූ
බල්බ නගරයක්
මැද්දෑවේ..

බැලූ බැලූ අත
හිස් ය.

උහු විසිතුරු
බැලුමට
රැස් කති..

තරුණයෝ – තරුණ කම් පෙන්වති
තරුණියෝ – කීචි බීචි ගාති
පදිකයෝ – හූ කියති
වාහනද – හූ බැක් දෙති

එක කෙළියකි..
මළ කෙළි දෙකකි!!

මහ හඬින් කෑ මොර දෙති
තොරණින් ‘බ්ලූ’ පෙන්වති
කථකයෝ හඬා වැළපෙති
තොරණ් බලන්නට සෙනඟ එති

රට වටේට දන්සැල් දෙති
‘ප්‍රාඩෝවේ’ ද විත් දන් බත් කති
කොල්ලංට බත් මදි වෙති
හිස් බඩිංම ගෙදර ඇදෙති

“වෙස් මූණු දාං ඉඳලා අහු වෙන්ඩ එපා!
විකුණන්ඩත් එපා!” යි
අණ කෙරෙති..

© 2010 Pamuditha Zen Anjana