හසරක් සොයා

පාන්දර වැටෙන්න ගත්ත මල් වැස්ස අනෝරා වැස්සක් බවට පත් වෙද්දී
මම හිතට හොරෙන් අහස් මාළිගා හදන්න උත්සාහ කරමින් හිටියා මතකයි
කං කෙඳිරි ගාන මදුරුවොත් වෙනදා වගේම ළඟින් ඉඳන් පසුබිම් ගායනය සපයද්දී
හොරෙන් එබිකම් කරපු නිදිමතට පයින් ගහපු මම, ඈ එක්ක විශ්වය හරහා පිය මැන්නා

ඈ මට දැනුණේ දුරින් පිපුණු ලස්සන සුදු මහනෙල් මලක් වගේ
ඇසිල්ලකින් අතුරුදන් වන උල්කාපාතයක් වගේ
ඇහි පිල්ලමකට යටින් හිනාවෙන සතුටු කඳුළක් වගේ
ඔක්කොමටත් වඩා මගේම වෙන්නට නියමිත ලස්සන හීනයක් වගේ

ඒත් හදිසියේම හඹා ආපු දෙගෙඩියාවකින් මම තුෂ්ණිම්භූත වුණා
නිසොල්මන් ව පාෂාණිභූත වීමට නියමිත හීනය,
දිය රැල්ලක් වගේ කඩාගෙන පැනපු අතීරණයකින් සෝදා පාළුවට ලක් වෙද්දී
මම ඈ නැවත නැවතත් මගේ ජීවිතයේ කොටසක් කරගන්නට හිතුවා

විශ්වයේ කෙළවරෙන් ඉවක් බවක් නැතුව පියඹා ආපු සමණලයෙක්
මගේ පිටි අත්ලේ තාවකාලිකව නවාතැන් ගත්තා
අහේතුකව, සිතුවිලි දාමයන් ලොමු ඩැහැ ගැන් වෙද්දී
මම ආයෙමත් හුදෙකලාව තුළ ගුලි ගැහෙන්නට තීරණය කළා

© 2014 Pamuditha Zen Anjana

ත්‍රිකෝණමිතිය

එයා,

මට වඩා
තොට
කැමතියි ලු!

ඉතිං

තෝ,
මං වුණොත්

මං,
එයා වුණොත්

එයා,
තෝ වුණොත්

මං
තොට
ආදරෙයි!

© 2009 Pamuditha Zen Anjana

උගුල්ගතව

අඩ අඳුරේ,
ඈතින් දැල්වූ
විදුලි පහන් එළියෙන්

දිළෙනා,
වොඩ්කා බොට්ල් ද
බුබුළු නගන,
කෝක් බොට්ල් ද

රත් වූ,
අයිස් කියුබ් කැන්ටර් ද
දුම් නගින,
ඩී. එච් ද
මළ සත්තු ද
තෙල් ද ළූණු ද

‘මතින්’

ප්‍රශ්න ද
ඒවාට
පිළිතුරු ද
සොයත්
නොනවත්වා!

© 2011 Pamuditha Zen Anjana