එතැනින් එහාට

අනාගතයේ එක් ඉර නැති දවසක
හුස්ම ටිකකුත් එක අතකින් ගුලි කරන්
නිහඬතාවය මැදින් මං පියවර තිබ්බා

ඈතින් පේන දුම්රියක මහා ‘හූ’ හඬක්
නිහඬතාවයේ කන්‍යාභාවය පැහැරගත්තට
මං නෙමෙයි ඈතට විහිදුණු රේල් පාරෙන්
අඩියක් වත් එහේ මෙහේ වුණේ

“කෝච්චියක් එනවා බූරුවෝ, එහාට්ට වෙයං!”

කෝච්චියෙන් බේරෙන්න ගුලි ගැහිලා, පොදි ගැහිලා,
රේල් පාරේ අයිනේ හිටපු මිනිස්සු,
උන්ට කඩල විකුණන මිනිස්සු,
මහපාරේ කාර් ඇතුළේ ඉඳපු මිනිස්සු,
බස්වල ෆුට්බෝඩ් වල එල්ලිච්ච
වැඩ ඇරිලා ගෙදර යන මිනිස්සු,
එක එක විදිහට, එක හෙළා කෑ ගැහුවා!

ඉදිරියටම එන දුම්රිය, නිහඬතාවය එක්ක
තව දුරටත් රමණය කරන්න ගත්තා
නිහඬතාවය සද්දෙට කෑ ගහද්දී
මම සන්සුන් මනසින් දුම්රිය වෙත ම පිය මැන්නා

ඈතින් කෝච්චිය, මෑතින් මම
ඈතින් කෝච්චිය, මෑතින් මම
මෑතින් කෝච්චිය, මෑතින් මම

මිනිස්සු ඔක්කොම හුස්ම අතින් අල්ලගත්තා!

හිතාගන්න මොහොතක් නැති මොහොතක
දුම්රිය මහ හඬින් මගේ ඇඟේ හැපුණා
එන්ජිමේ කැබලි දස අත විසිරිලා යද්දී
නිහඬතාවය මහ සද්දෙට සුරතාන්තයට පත් වුණා…

මං මඳ හිනාවක් එක්ක යකඩ ගොඩෙන් එළියට ආවේ,
ඇඟේ ගෑවිච්ච එන්ජින් ඔයිල්, මජං පිස දමමින්

ලෝකයා ආයෙත් තමන්ගේ වැඩක් බලාගෙන යන්න ගියා…

මිනිස්සු මං දිහා බලලා හුස්ම අත හැරියා,
මං පපුව පිරෙන්න හුස්මක් ඉහළට ගත්තා!

© 2014 Pamuditha Zen Anjana