ගෝල්ඩ් ෆිෂ්

උන් මාව වටකරගෙන හිටියේ. රතු පාට ඇඳගත්තු මිනිස්සු. උන්ගේ ඇස් විශ්වය වගේ දිළිසුණා. කණ පැළෙන්න සින්දු කියාගෙන උන් මගේ වටේ උඩ පැන පැන නැටුවා. තඩි ඇතෙක් වගේ කට්ට කළු මහත මිනිහෙක් උන්ගේ නායකයට රඟපෑවා. පහළ තිබ්බ වතුර බැරල් එක දිහා බලපු නායකයා වගේ එකා ආයේ මගේ දිහා බැලුවා. ඌ ෂුවර් එකටම මාව ඕක අස්සට ඔබන්න හදන්නේ. දුවාගන්නත් බැරුව ඒ මේ අත බලපු මම-

“ඕයි! නැගිටපන් හුත්තෝ!” වේසාවා කෑගැහුවා. “අන්න අරෙහේ අරුන් ටික බඩවෙලා වගේ මැරෙන්න හදනවා. ඉක්මණට යමන්!”

මම හිමීට ඇස් ඇරලා ඉන්නේ කොහේද කියලා තීරණය කරගන්න බැරි බැරිගාතේ දැඟලුවා. ඇඟෙන් නෙමෙයි ඔළුව ඇතුළෙන්. වටේට ඇස් යවපු මට දකින්න ලැබුණේ මම පරණ බාත් රූම් එකක් වගේ තැනක කෙළවරක බිම නිදාගෙන හිටපු වගක්. ඔළුවට උඩින් තිබ්බේ සින්ක් එකක්. ටිකක් ඈතින් කැඩිච්ච කොමඩ් තුන හතරක්. පුස් කාපු සීලිමේ තැන තැන බාගෙට ඩිම් එකේ පත්තු වෙන ලයිට් කිහිපයක් වටා පිටාව අඩ අඳුරෙන් එළියට අරන් තිබ්බා. මගේ එහා පැත්තෙන් ගංජාකාරයෙක් බිම ඉඳන් ඉන්නවා වගේ ඉඳගෙන හිටියේ මගේ අතිජාත මිත්‍රයා වේසාවා. මම ටිකෙන් ටික වාරු අරන් නැගිටලා හරිබරි ගැහිලා නිදාගෙන උන්නු තැනම කෙලින් වෙලා ඉඳගත්තා.

මම කැරියා. මේ මගේ ජීවිතේ තවත් දවසක්. එක එක හුත්තලට ඕන විදිහට මම ජීවත් වෙන්නේ නෑයි කියලා කිව්වම අම්මා මට පුකට පයින් ගහලා ගෙදරින් එළෙව්වා. එදා ඉඳන් හැමදාම මහ පාරේ. බැක්පැකින් ජීවිතේ. ඒ කිව්වේ තඩි බෑග් එකක තිබ්බ සබ්බ සකළමනාවම ඔබාගෙන අහුවෙන විදිහට කාලා බීලා තැනින් තැන යන එක. හිතුණොත් වැඩ කරනවා. වැඩ කරොත් සල්ලි හම්බවෙනවා. සල්ලි හම්බුණොත් එදා රෑට බොන්න පුළුවන්. සල්ලි නැත්තන් අතිජාත මිත්‍රයන්ගේ සල්ලි වලින් බොනවා. උන්ට ඒක ගැන අවුලක් තිබ්බත් කරන්න දෙයක් නෑ. මට සල්ලි හොයන්න උවමනාවකුත් නෑ. සල්ලි තිබ්බොත් වියදම් කරනවා. නැති නිසා දැනට ෆුල් ටයිම් ෆ්‍රීලෝඩින්. අහිගුණ්ඨිකයන්ට වඩා ටිකක් හොඳයි. හැබැයි ස්ටේබල් නෑ. සමාජයේ ජීවත් වෙන හුත්තලට ඕන මාත් ස්ටේබල් වෙනවා දකින්න. මාවත් හුත්තෙක් කරන්න. ඒත් ඒකට මම ඉඩක් දෙන්නේ නෑ. මම කැරියා. ඒක එහෙම්මම තමා. වෙනස් වෙන්න උවමනාවක් මට නෑ.

“ඒ පාර මොකද්ද හරකෝ කල්පනා කර කර ඉන්නේ. වර යන්ඩ!” වේසාවා ඔරවගෙන මගේ අතින් ඇද්දා.

“හරි දැන් කොහෙද යන්න හදන්නේ. පොඩ්ඩක් හිටපන් නැගිටිනකම්!”

“වරෙන්කෝ. උඹට ඒ රෙද්දවල් වැඩක් නෑ නේ!”

“චුක්” ඒ මම.

ඔළුවට උඩින් තිබ්බ සින්ක් එකේ වදින්නැති වෙන්න පරිස්සම් වෙලා මාව අතින් අල්ලලා කෙලින් කරපු වේසාවා, මගේ පිට පුරාවට ගෑවිලා තිබ්බ තෙත අළු පාර අතින් පිහදැම්මා. පිට වැලි කඩදාසියකින් මැද්දා වගේ වේළුණා, අසුරු සැණෙකින්. සාක්කුවෙන් ගත්තු සුරුට්ටු පැකට් එකකින් සුරුට්ටු දෙකක් ගත්තු මම එකක් වේසාවට දීලා අනික කටේ ඔබාගත්තා. සින්ක් එකට පාත් වෙලා ටැප් එක ඇරපු මම තෙත ගින්දරෙන් සුරුට්ටුව පත්තු කරගත්තා. කොස් කොළ කපාගෙන ආපු ෆ්‍රෙෂ් මින්ට් රහට මාව ඇහැරුණා. වේසාවා ඒ වෙද්දිත් සුරුට්ටුව පත්තු කරගෙන අඩි දෙක තුනක් කළුවරට තියලා ඉවරයි.

“ඕයි හිටු මාත් එනකම්!” මම ඈතින් හිටපු උගේ පිටට කෑගැහුවා.

“තෝව වඩාගෙන යන්නෑනේ. වර පස්සෙන් මග ඇරෙන්නැතුව!”

පැත්තක තිබ්බ තඩි බෑග් එක කරේ දාගත්තු මම උගේ පස්සෙන් එළියට අඩිය තිබ්බා. එළිය කළුවරයි. තිත්ත කළු නෙමෙයි. ටිකක් විතර පැණි රසයි. ඈත අහසේ කළු පාට දූවිලි වළාකුළු වලට වැහිච්ච ඉර හීනි නිල්පාටට හුරු සුදු පාටක් විහිදුවමින් හිටියා. ආසාවකටවත් හෙළවෙන සතෙක් නෑ ළඟ පාතක. හැතැක්ම ගණනාවක්ම ඈතට වටෙන්ම පේන්න තිබ්බේ කාකනිල් පාට පස් විතරයි. කාෂ්ඨක පොළොව අපේ බර දරාගන්න බැරුව කිරි කිරි ගෑවා.

මේ අවුරුද්දේ අංකේ හරියටම මතක නෑ.

“ඕයි වේසාවෝ!” මම කෑ ගෑවා.

ටිකක් ඈතින් කඩිමුඩියේ දුවනවා වගේ ඇවිදපු වේසාවා හැරිලා බැලුවේ වාතයක් වෙන්නෙපා කියන්නා වගේ.

“උඹට මතකද අද මොන අවුරුද්ද ද කියලා?”

“අහවල් එකකට ද?” ඌ නුරුස්නා හඬින් ඇහුවා.

“උඹට ඒවායින් වැඩක් නෑ. කියහන්කෝ මේ අවුරුද්ද මොකද්ද කියලා දන්නවනම්. රෙද්ද!”

“මොකටද කිව්වොත් කියන්නම්. නැත්තන් නොදී වරෙන් රෙද්ද. අරුන් කන්න බලන් ඇති දැන්!”

“මේක කියවන උන්ට දැනගන්න!”

“දන්නෑ!” කියලා ආපහු හැරුණු ඌ ආයේ කඩිමුඩියේ ඉස්සරහට යන්න ගත්තා.

ඌ දන්නෙත් නෑ. මට මතකත් නෑ. අන්තිමට මතක දෙදාස් දාසය කියන අවුරුද්ද. ඒකේදි තමා තඩි මාළුවා මුළු පෘථිවියම දෙකට කඩාගෙන ඇදගෙන වටුණේ. ඌ ආවේ කොහෙන්ද කියලා අපි කවුරුත් දන්නේ නෑ. එනවා කියලා කලින් කියලා ආවෙත් නෑ. නාසා එකෙන් අපිට කිව්වෙත් නෑ. එක දවසක් උදේ නැගිටලා උඩ බලද්දි ඉරක් තරම් ලොකු ගෝල්ඩ් ෆිෂ් පෙනුමක් තිබ්බ මාළුවෙක් අහස වහගෙන හිටියා. පැය දෙකක් විතර මුළු කොළඹම පට්ට කලබලේක තිබ්බේ. කෝල් ගන්න බෑ. ලයින් ජෑම් වෙලා. ටෙක්ස්ට් යන්නෑ. ටීවී රේඩියෝ ඔක්කෝම හුකාපලා වෙලා. ඒවායේ හිටපු උනුත් පාරට බැහැලා අහවල් එකක්ද වෙන්නේ කියලා හොයාගන්න ට්‍රයි කරනවා. වෙන්නේ මොකද්ද බලන්න ඉන්ටනෙට් රිංගපු මිනිස්සු නිසා ගූගල් ක්‍රෑෂ් වෙලා. කවුරුත්ම අද වෙනකම් මෙලෝ දෙයක් දන්නෑ. මේකයි මාළුවා වැටෙන්න හේතු වුණේ කියලා කියන්න කිසිම දෙයක් හොයා ගන්න විදිහක් තිබුණේ නෑ. රටේම තිබ්බ සේරම ආයුධ වලින් ගෝල්ඩ් ෆිෂ්ට කෙළියා. ඒත් වැඩක් වුණේ නෑ. අර ඉරට කෝටු කෑලි වලින් ගැහුවා වගේ වැඩක් වුණේ. අපි බලාගෙන ඉන්දැද්දි හෙලිකොප්ටර් ප්ලේන් අනම් මනම් ඔක්කෝම ගිහිලා මාළුවගේ ඇඟේ හැප්පිලා සුන්නද්ධූලි වෙලා ගියා. පැය කාලකින් විතර ඒ මාළුවා පොළවට ඇදගෙන වැටුණා. මට මතක අපි අන්තිමට එම්සී එකේ කා පාක් එකට රිංගන එක විතරයි.

“ඕයි ගාටන්නැතුව ඉක්මණට වරෙන්. දැන් ළඟයි!” වේසාවා හැරිලා මගේ පැත්තට කෑ ගැහුවා.

“එනවා එනවා යකෝ. පැළවෙන්නෑ!”

“පැළවෙන්ඩ බෑ කියපන්. වඳ මයිනා!”

“මං විතරයෑ.. තෝත් වඳයි නේ!” මම අතෑරියේ නෑ.

ඌ අතෑරලා දූවිලි අස්සෙන් ඉස්සරහට ඇවිද්දා. ආ.. ඔව්.. මට කියන්න අමතක වුණා. වටේටම හමන දූවිලි කුණාටුවකින් අපි මුල ඉඳන්ම වැහිලා හිටියේ. සීන් එක හරියට පේන්නැති තරම් දූවිලි අපේ වටේ කැරකුණා. නාහ නැති නිසා දූවිල්ලෙන් අවුලක් නෑ. සුරුට්ටුව පත්තු කරගත්තම ඒකෙන් එන වතුර ටික අපේ තිබහ නිවනවා. මම වේසාවගේ පස්සෙන් ඉස්සරහට ඇවිද්දා. ඈතින් ඉන්න දෙතුන් දෙනෙක්ගේ සේයාරූ කාන්තාරේ මිරිඟුවක් වගේ පෙනුණා.

මාළුවා වැටිලා හුට්ටප්පරේ වෙලා කෙළම වෙලා ගියාට පස්සේ අපි ඇහැරුණේ එම්සී එකේ කා පාක් එකේ. බාගෙට බාගයක් මැරිලා. ඉතුරු බාගේ ජීවත් වෙලා හිටියා. ඒ බාගෙන් දෙන්නෙක් මායි මේ වේසාවයි. අපි දෙන්නා අනිත් ක්‍රව්ඩ් එකෙන් ඩිස්මිස් වෙලා මොන හුයන්නක්ද වුණේ කියලා බලන්න කොන්ක්‍රීට් කෑලි අස්සෙන් උඩට ආවම දැක්කේ එළිය වෙනස් වෙලා. එළිය කළුවර වෙලා. ඉර දූවිල්ලට වැහිලා. රෑ වගේ කළුවරයි. හැබැයි ලා එළියක් තිබ්බා. නිල් පාට. ආ ඒ සීන් එක මම කලින් කිව්වනේ. කොහොම හරි වෙලා තිබ්බේ මාළුවා වැටිලා පෘථිවිය දෙකඩ වෙලා. එක කෑල්ලක් කොළඹ. අනිත් කෑල්ල ඉතුරු ටික. කොළඹ ඉතුරු වෙලා හිටියේ හුත්තලා විතරයි. මිනිස්සු ඔක්කෝම මැරිලා. හිටපු හුත්තලා එකම විදිහට රොබෝ ජීවිත හදාගත්තා. මායි වේසාවයි අපි පස්සේ අහුලගත්තු අනිත් සෙට් එකයි විතරයි කොළඹටම හිටපු පොඩ්ඩක් විතර වෙනස් හැත්ත. ඒ සීන් එක වෙලා දැනට මට හිතෙන්නේ අවුරුදු බර ගාණක් ගිහින්.

“ආ කැරියා! මොකෝ වෙන්නේ කොළඹ?” ඈතින් හිටපු ගැන්සිය දැන් අතේ දුරින්. උන්ගෙන් එකෙක් දූවිලි කපාගෙන කෑ ගැහුවා.

“මොකුත් නෑ බං. මොකෝ මේ හදිස්සියේ. මේ වේසාවා නිදාගන්නත් දුන්නෑ බං හරියට. චුක්!” මම.

“අනේ නිකන් පල. හොඳට අළු පෙරවගෙන දපනේ දාලා බුදි අර රෙද්ද අස්සේ. ඇහැරෙව්වේ නැත්තන් තාම අතන!” වේසාවා ගත් කටටම කිව්වා.

“නින්දෙන් තමා යකෝ ජීවිතේ පවතින්නේ. නිදානොගෙන බලහන්කෝ. නිදිගින්නේ තමා මැරෙන්න වෙන්නේ!”

“චුක්! මේ ඒක නෙමෙයි දැන් වැඩේ වෙනවද?” වේසාවා අරුන්ගේ පැත්තට හැරිලා ඇහුවා.

“මොන වැඩේ ද බං. කවුරුහරි මට දැන් මෙතන වෙන දේ කියනවද කරුණාකරලා!” මට මළ පැනලා තිබ්බේ. ඇයි යකෝ නිදාගන්නත් නෑ. දූවිල්ල අස්සෙන් ඇදගෙන ඇවිල්ලා තුන්තේරවිලි තෝරන්න කියනවනේ.

“අපි හොයාගත්තා!” ඒ පාර වෙන එකෙක් කතා කළේ.

“මොකක්ද බං? වටේ නොයා කියහන්!”

“අපි හොයාගත්තා කොළඹින් එළියට යන්න ක්‍රමයක්!” ඌ ෆුල් එක්සයිට් වෙලා හිටිය බව උගේ ඉර එළියට නිල් පාට වෙලා තිබ්බ මූණෙන් පෙනුණා.

“ඒ කිව්වේ? අනිත් කෑල්ලට යන්න පුළුවන් ක්‍රමයක්?” මාත් පොඩ්ඩක් එක්සයිට් වුණා.

“ඔව් යකෝ ඔව්!”

පොර එක පාරට රතු පාට වෙන්න ගත්තා. එක්කෝ උන්ගේ ඇඳුම් රතු වුණා. අනේ මන්දා. කොහොමහරි මම කලබල වුණා. වම් පැත්ත බැලුවම එතන හිටපු එකත් රතු පාට වෙන්න පටන් ගත්තා. දකුණත් එහෙමයි. මම තුෂ්ණිම්භූත වුණා. ටිකක් ඈතින් හිටපු මගේ අතිජාත මිත්‍රයා වේසාවා තද කළු වෙන්න පටන් ගත්තා.

මම ලියන එක නැවැත්

© 2016 Pamuditha Zen Anjana