සිනහ චක්‍ර

උදෑසන ඉර එළිය අස්සෙන්
නිදිමත එබිකම් කළා
ඇලේට තිබ්බ ඇඳෙන්
කොන්ද කෙලින් කරගත්තු මම
දුමකට එළිය දුන්නා

පුරුද්දකට වගේ හිනා වුණ
කීබෝඩ් එක ඇඟිලි වලින්
හුරතල් කරන ගමන් මම
අකුරු වලට පණ දුන්නා

ලෝකයා අවදි වෙලා
ප්‍රශ්න පිරුණු මූණු අතින් එල්ලගෙන
මහා කලබලයකින්
එක එක වැඩ වලට ඇවිදිනවා
මට හිනා ගියා

රොබෝ ජීවිත කාලසටහන්
ආදායම් සල්ලි කෑම් බීම්
ඉඳුම් හිටුම් ඇඳුම් පැළඳුම්
කෙළවරක් පරතෙරක් නැති චක්‍ර
පොළොව වටේ භ්‍රමණය වුණා

වෙනදා වගේම මේ ඔක්කෝම
මගේ මනසේ වන් බම්ප් ගැහුවා
මං අවුට් වුණා

අකුරු හරඹ වලින් සල්ලි හොයන
සෙල්ලම් වැඩකෑලි මට තාම අරහං
ඒත් ඒකාකාරී ධාවන පථයේ
අවිනිශ්චිත අනාගතය අධිනිශ්චයක්

යථාවාදී තථාකාරී වෙන්න හදන
සාමාන්‍ය මනුස්සයෙක් තාමත්
ගේට්ටුවෙන් ගේට්ටුවට පෙරුම් හොයනවා
අත්පිට මුදලට පිං දෙනවා

මට ආයෙමත් හිනා ගියා
කැටේ එකතු වෙච්ච රුපියල්
පහේ දෙකේ පොඩි කාසි කීපයක්
සන්තෝසය වෙනුවට හුවමාරු වුණා

ගේට්ටුව වැහුණා
මං ආයෙමත් ගුහාවට රිංගුවා.

© 2015 Pamuditha Zen Anjana

නිල්

මම ඇදුණේ කාන්තාරයට
ආයෙමත් වතුර හොයාගෙන
නගර සභාවේ පාර වැරදුණු වතුර බවුසරයක්
ටොනික් මූඩි වලට වතුර බෙදමින් හිටියා

ටිකක් එහායින්
වතුර ඉවට හදිසියේ නැගිටපු ඔටුවෙක්
උඩු රැවුළෙන් හිනාවෙවී
සාටක බෙදමින් හිටියා

වතුර බවුසරේ ගාව රැස් කාපු
මහ සෙනඟ
වතුර වෙනුවට සාටක ඉව පස්සේ ඇදුණා
මම එපා වුණු උනන්දුවකින් ක්ෂේම භූමියක් හෙව්වා

නෑ නෑ
විල්පත්තු මායිම හෙව්වා

හදිසියේ උරහිස දිගේ මේසෙට බැහැපු දාවිත්
ෆොටෝෂොප් ඕපන් කරගෙන
මොකද්දෝ කුරුටු ගාන්න පටන් ගත්තා

මම නොවූ විරූ හදිසියකින් ඇහැරුණා

මාව වට කරගත්තු හරිත රේඛා
දුම් ගුලි අතරින් සුපුෂ්පිත වුණා
කාමරේ වටේට හිටගත්තු හුදී ජනයා
බැඳගත්තු බෙරේට හිතේ හැටියට තැළුවා

හරියටම දහනවයයි
එහෙම කියපු දාවිත් ෆොටෝෂොප් ගුලි කරලා
කුණු බක්කියට දමලා ගැහුවා
පරණ මතක කොළ අහුරක්
නින්නාද දෙමින් පුපුරා ගියා
ගිනිගත්තා

සෑහෙන ව්‍යාකූලයි!

හීන එහෙමයි
ශාරුක් ඛාන් කූරු ගණන් කරන ගමන් කිව්වා

මට හිනා ගියා
හිනාව මාව දාලා ගියා
මම ආයෙමත් එහා පැත්ත හැරිලා
බිත්තිය දිගේ එකා පස්සේ ඇදුණු
අලි පේළියක් වටේට
ත්‍රිකෝණ සිත්තම් කළා

ඇඟිල්ලකට හිර වෙලා
පශ්චාත්භාගය තැළුණු අලියෙක්
විශ්වය ගිලලා දිවුල් කෝම්බයක් එළියට දැම්මා

© 2015 Pamuditha Zen Anjana

විසදුම් යාත්‍රා

එක්තරා, එකෝමත්, කාලෙක, දිනෙක, රැයෙක
හැමදාම වගේ, පායන සඳ එළියට ටිකක් ඉහළින්
සුදනන් සියයක් බැඳි කරත්තයකින්
ගමන් කළෙම් සියක් දුදනන් සොයා

තරු දහස් ගණනක් දිළී නිවී යන
මනස්කාන්ත රාත්‍රියක් පුරාවටම
නොනිමි, අහිමි ආදරයන් දැල්වූවෙම්
අඳුරු වූ සිත එදුමින් එළිය වන්නටැයි සිතා

කෙළවරක් නොමැති නොහොත් නොපෙනෙන
බෝ දුරින් දැල්වුණු කෝමල ආලෝක රේඛා
සිසාරා සැණකෙළි වන් වූ මිනිස් බහුරූ කෝලම්
විනිවිදිම්, මතින් බමනා දෘෂ්ටිය නාභිගත වේ යැයි සිතා

ඇසෙන නෑසෙන මානයක වැයෙන පළඟැටි සංධ්වනියට
දැනෙන නොදැනෙන වැළපෙන සිත දැහැන් ගත වූයෙන්
සැනසුම් සුසුම් මතින් ඉවසුමක් නැති දෙනෙත් පුරා ඈ සොයා
රටා මැවුවෙමි සිහිනයට අතැඟිලි අතර මියෙන්නට කියා

හොරෙන්ම එබෙන්නට වූ මතක පබැඳුම් අතරින්
විදුලි එළි පහන්, කැළල් පෑරෙන හැඟුම් උගුල් අතරින්
පැකිළෙන පැටළෙන විසිරුණු සිතක් සුරතින් ගුලි කරන්
පියමං සෙව්වෙම්, මැවුම් විශ්වීය අනන්තය කරා

© 2015 Pamuditha Zen Anjana

ප්‍රකෘතිය අතරමැද

මේක ඉල්ල ගත්තු ජීවිතයක්
ණයට ගත්තු හීන ගොඩක්
ගොඩ ගහගෙන, පොදි ගහගෙන
අරන් යන්න මරණින් පස්සේ
එහා ලෝකෙටත්..

මේක හදාගත්තු රවුමක්
එකා වටේ යැවෙන එකක්
හසරක් නොදත් වංකගිරියක්
නොදකින නොපෙනෙන
ඈතින් සිත්තම් වෙන
නුදුරින් මැකී යන
ඇත්තක් හොයාන යන ගමනක්

අපි ආයෙත්
ආයෙ ආයෙමත්
රවුමකට අත් අල්ලන්
‘කිරි කිරි බෝලේ’
කියන සෙල්ලමක්
කෙළවරක් නැති ත්‍රිකෝණ
හතරැස් කොටුවක්
ඇතුළට වැටෙන තැනක්

ඈතින් ඈතට, දෑසින් එහාට
ඇවිදගෙන යද්දී දුරින් දැනෙන
මිරිඟුවක සේයාරුවක්
වැහි නැති අකුණු රාමුවක්
හදවත් එක්ක ‘ෆුට්බෝල්’ ගහන
වැලි නැති කාන්තාරයක සිත්තමක්

දිය රෙද්දෙන් බෙල්ල කපපු
පරපුරක පළිගැනීමක්
සංස්කෘතිකය සදාචාරය ඇතුළේ
ඇකිළුණු දූපතක
හිර වුණු මනස් වල
කල එළි මඟුලක්

මේක අවසානයක් නැති
ආරම්භයක
ඉසියුම් නැවතුමක්
අම්බලමක්,
අහඹුවක් හෙම නොවේ
අවැසිතාවයක්…

© 2015 Pamuditha Zen Anjana

නිෂ්ක්‍රමණය

මම ආගමට වෙඩි තැබීමි.

ඌ නුදුරින් බිම ඇද වැටී
දැවෙනා පතුරමකින් පසා වූ
ලේ ගලන හදවතක් අත දරා
අපහසුවෙන් පණ අදිමින් සිටියේ ය…

අවසන් හුස්මකට තත්පර 83කට පෙර
අතීතයෙන් සොයා ගත් ටයර් කිහිපයකින්
ආගම වට කළ මම,

බයිබලය, කුරාණය,
භගවත් ගීතාව, ත්‍රිපිටකය
කියවන්නට කියා මේසය මත තබාගත්

දැල්ලෙන් කළු වූ
අඳුර නොමැකූ
චිමිනි ලාම්පුවේ තෙල්,
ඌ මත වියරුවෙන් වත් කොට

ආගම පණ පිටින් ගිනි තැබීමි.

ගිනිදැල් අතුරින් අඳෝනා නගන්නට වූ
ආගම, අවසන් වරට, දෙනෙත් දල්වා,
මා දෙස වියරුවෙන් බැලී ය…

මම බියෙන් පසු බෑමි
දෙවරක් සිතීමි
නැවතත්, නැවත නැවතත්
සිතට දිරි දී
දෑස් ඉදිරියේ දැවී හළු වූ
ආගම ගෙන නළලේ අතුල්ලා ගතිමි

චිමිනියේ දැලි ගෙන
හවුරුදු දහයකට පමණ පෙර මියැදුණු
පියාණන්ගේ සොහොන් කොතේ ද
විසි හතර පැයේ පන්සල් යන
මෑණියන්ගේ මුහුණේ ද
එකසේ ඉළුවෙමි

කෙළවරක් අගක් මුලක් නොදන්නා
අතීතයට ද
කෙළවරක් අගක් මුලක් නොදක්නා
අනාගතයට ද
සමු දී
වර්තමානයට දෙනෙත් හැරියෙමි.

© 2014 Pamuditha Zen Anjana

එගොඩ ගොඩ

දැන් මට
ඔයාව මතක් වෙන්නේ
ඉඳ හිට
එහෙමත් වෙලාවකට

කොහොමත් ඉස්සර වගේ
හැමදාම මතක් වෙන්නේ නම්
නෑ!

කොටින්ම කිව්වොත්
කොහොමටවත් මතක් වෙන්නේ
නැති තරම්

මොකද්දෝ හොඳකට
හෝ නරකකට
ඒක එහෙම වෙලා.

අකමැත්තෙන් වුණත් මම
ඒකට කැමතියි

සමහරවිට
නොවුණු
නොවිය හැකි
නොවිය යුතු ව තිබුණු
අරුම පුදුම
කලබගෑනියක
මං හිරවෙලාවත් ද කියලා
හිතෙනවා මට

කොහොමත් දේදුන්නක් පායන්න
වහින්නම ඕනෙ ලු!

පයිප්ප වතුරෙන් දේදුනු හදාගත්තට
කල් පවතින්නෙත්
නෑ ලු!

අනෝරා වැස්සකට
බයේ මම
ගොඩ වුණා
අම්බලමකට…

© 2014 Pamuditha Zen Anjana

හතර හිනා

කාටත් හොරෙන්
හඳත් එක්ක කතා කරන්න
මම මහ රෑ ඇහැරගෙන හිටියා

“අමාවකට පුරහඳ පායන්නෑ බං!”

අතිජාත යාළුවෙක්
දවස් දෙක තුනකට පස්සේ
එහෙම කිව්වම මට හිනා ගියා

කැලැන්ඩරයක් අරගෙන
පෝය කවද්ද කියලා නොබැලුවට
මට හිතුණෙම එදා පසළොස්වක කියලා

“උඹට දෙයියන්ගේ හාල් කැවිලා!”

තව යාළුවෙක්, තව පාරක්
මම හිනාවෙන හැටි දැක්කම
මහ හයියෙන් හිනාවුණේ එහෙම කියලා

හඳ නැතිවුණාට
ඈතින් බලාගෙන හිටපු
ලස්සන තරුවක් දෙකක් ඉඟි කළා කිව්වම

“හැමදාම ඉරට ට්‍රයි කරන්නේ නැතුව,
අඩුම තරමේ තරුවකටවත් ට්‍රයි කරහං!”

උන් එක හෙළා කිව්වා
මම ගොනා වගේ හිනා වුණා

ළඟ තිබ්බ තරු වලට
මෙච්චර කල් ඉරට කියලා ට්‍රයි කළත්
දුරින් තියෙන තරු ඉරවල් වෙන්නත් බැරි නෑ

ඉර, හඳ, තාරකා අතරේ අතරමං වුණු
මංම කියපු කතාවක් මතක් වෙලා
මට ආයෙමත් හිනා ගියා.

© 2014 Pamuditha Zen Anjana