තාම එහෙම කෙනෙක් නෑ

1.


හරියටම වැස්සක් වගේ
කඩාවැටුණා මා මතට
නිරුදක කතරට

මහ පාන්දරක
හීතල හුළඟක් එක්කම
නිදිමත අතරින් වැතිරෙන

හුරු පුරුදු ඒත් නුහුරු
හැඟුමක් ඇතුළෙන්
හොරෙන්ම එබෙන

මං ලියපු කවියක
නොලියූ වචන වගේ
හැංගෙනවා ඇහිපිය අතර

මුදු කෙහෙරැළි හුළඟට
ගහගෙන විත් කිමිදෙයි
හිත පතුලටම

මං ආදරෙයි
කවදාවත් නොදැකපු ඈ ට
නිහඬව හඬන මුහුදට වඩා හඬට

හඳට ගිය පරම්පරාවේ උන්ට වඩා ලස්සනට

2.

හොරෙන්ම ඇහුවා
හඳෙන් බාගයක් දෙන්න බැරි ද
හඳ බෑ කිව්වා
මම හා කිව්වා

මැවුණ ලෝකයට
පා තිබ්බම
සිගරට් දුම අස්සෙන්
උන් හිටියා හිනාවෙවී

ටිකක් දුරින්
අත්ලකට ගුලි කරගන්න බැරි
හීනයක් වගේ
පුපුරන්නට නියමිත
තාරකාවක් වගේ

බෝම්බයක්!

3.

ඈ බෝම්බයක්
සිහිනෙන් එබී
මා වෙළාගත්

නිහඬව හඬන සඳ
හද කෑලි කුඩු කරන
මහා පිපිරීමක්

හොරෙන්ම විත්
සිත්තම් විසිරුවන
විදුලි කුණාටුවක්

ඈ සීත කාලයක්
ඇටමිදුළු විනිවිදින
උණු කෝපි එකක්

යන නොඑන ගමන්
දකින හිනැහෙන
හීන වලින් එකක්

ඈ සිගරට් එකක්
අතැඟිලි මැද දුමෙන් වැසී
මියැදෙන්නට නියමිත මොහොතක්

තණ්හාය ජායතී සෝකෝ
කිව්වට
මට අදාළ නෑ

තණ්හාව තිබ්බට
සෝකේ නෑ, ෂෝක්
ෂික්, ඈ තාම නෑ

තාම එහෙම කෙනෙක් නෑ!

© 2018 Pamuditha Zen Anjana

Advertisements

කොට කතන්දරය

kota-kathandaraya

© 2016 Pamuditha Zen Anjana

පෙත්ත

– පොළව කඩන් වැටෙනවලු!

– ඉතිං හොඳයි නේ!

– හොඳ වෙන්නේ කොහොමද?

– ඇයි..? නරකද?

– ඔව්, පොළව තියෙන්නේ බිම නේ. බිම ආයේ කඩන් වැටෙන්නේ එතකොට අහසට.

– පිස්සුද අනේ..? අහස තියෙන්නේ උඩ නේ.

– ඇයි වැටෙන්නේ පහළට විතරද? උඩට වැටෙනවා අහළම නැද්ද?

– ඔය ඉතින්.. ආයෙමත් විකාර කියවනවා.. ඩොක්ටර් සුදුසිංහ උදේට ගන්න ලියලා දීපු බෙහෙත් ටික බිව්වද?

– හ්ම්..

– ඔක්කෝම?

– හ්ම්..

– අත දිග අරින්න බලන්න.. ඔය මොකද්ද..? බලන්න ඉතින් නිල් පාට එක බීලා නෑනේ..!

– ඩොක්ටර් බොන්න කිව්වේ දෙකෙන් එකයි.. එක්කෝ රතු එක.. එක්කෝ නිල් එක.. මම රතු එක බිව්වා..!

– එහෙම හරියනවද ළමයෝ.. ලෙඩේ සනීප වෙන්න නම් ඔක්කෝම බෙහෙත් බොන්න ඕනේ.. ආ මෙන්න වතුර වීදුරුවක්.. ඕකත් බොන්න..!

– මට බෑ..!

– කිව්වම අහලා මුරණ්ඩු නොවී බොන්න ළමයෝ.. ඔයාගෙම හොඳට මේ කියන්නේ..!

– බෑ.. නිල් එක බිව්වම මාව ඇහැරෙනවා.. ඊට පස්සේ අපි කවුරුත් නොදන්න මායාව අපි ඉස්සරහ ඒ විදිහටම වෙනදා වගේම තියෙයි.. ඔයත් මෙතන හැමදාම ඉඳියි.. මට එපා..! ආයේ බොරුවක් අස්සට රිංගන්න මට ඕන නෑ!

– ඔය ඉතින්.. කිව්වම අහන්න ළමයෝ..!

– එපා..! මම රතු එක බිව්වේ මට ඇත්ත දැනගන්න ඕන නිසා.. මායාව අස්සේ ජීවත් වෙලා ඇති වෙලා නිසා.. තේරුම් ගන්න ඒක.. මාව කන්ට්‍රෝල් කරන්න මට බල කරන්න ඔයා කවුද?

– ඔය රතු පාට පෙත්ත ඔයාගේ සිහිය විකෘති කරලා තියෙන්නේ.. ඔයාට මේ කියන මොකුත් අහන්න උවමනාවක් වත් නැත්තේ ඒකයි..!

– බම්බුව! රතු එක හින්දා තමා මගේ ඇස් ඇරෙන්නේ.. මම ඇත්ත තේරුම් ගන්නේ රතු එක බීපු නිසා.. මට ආපහු ඔය නිල් මළදානේ පොවන්න ආවොත් මම මරාගෙන මැරෙනවා..! ඔව්..! ඔයා නෙමෙයි කවුරු වුණත් මට කමක් නෑ!

– ඔයාට මේ මොකුත් තේරුම් ගන්න පුළුවන් තත්වෙක නෙමෙයි ළමයෝ ඔයා ඉන්නේ.. සන්සුන් වෙන්න.. ඔයාගේ සිතීමේ ශක්තිය හීන වෙලා.. ඔයා ඔය වැරදි තීරණ ගන්නේ රතු පෙත්තේ ප්‍රතික්‍රියා නිසා.. තේරුම් ගන්න අඩුම තරමේ උත්සාහ කරන්න..!

– නෑ.. පලයන් යන්න! මගේ ඔළුව අවුල් කරන්න එනවා පට්ට වේසි.. තෝ හිතුවද මාව එහෙම තම්බන්න පුළුවන් කියලා.. මේ සිස්ටම් එක මාව දුර්වල කරලා විනාශ කරන්න එවපු පිල්ලියක් තෝ.. ළඟට එන්න එපා.. පේනවනේ අතේ තියෙන දේ.. තෝව කපලා කපලා කීතු කීතු කරලා දානවා දැනගනින්!

– ඔයාට හොඳටම අවුල් වෙලා නියෝ.. කරුණාකරලා සන්සුන් වෙන්න.. දහයේ ඉඳන් ආපස්සට ගණන් කරන්න.. නර්ස් නර්ස්.. ඔය සුනිල්ටයි සරත්ටයි එන්න කියන්න..!

– මොකද්ද ඒ පාර ඔය කරන්න යන්නේ..? යකෝ.. මට ඇත්ත දකින්න දෙන්නෙම නැද්ද උඹලා.. පාහර හැතිකරේ.. එන්න එපා ළඟට.. තොපිව කපලා කපලා මරණවා.. යක්-

– ඔහොම්මම හිමීට උස්සලා ඇඳට දාලා අර පටි ටික තද කරන්න සුනිල්.. පවු අසරණයා! කෝකටත් ඩබල් චෙක් කරන්න ගළවගන්න පුළුවන්ද බැරිද කියලා.. ඉස්සෙල්ලා පාර දවල් කෑම ගෙනාපු වෙලාවක පේෂන්ට් බෙල්ට්ස් ටික ගලවගෙන තිබ්බා..!

– දොස්තර නෝනා මහත්තයා… නෝනට වෝර්ඩන් එන්න කිව්වා.. තව විනාඩි පහකින් තව පේෂන්ට් කෙනෙක් ගේනවා කිව්වා.. එයත් ස්පෙෂල් කේස් එකක් ලු.. ඒ ට්‍රාන්සර් කරන කෙනාව පේෂන්ට් සීරෝ ගෙන් පුළුවන් තරම් ඈත් කරලා තියන්න කිව්වා..

– ඕකේ සරත්.. වෝර්ඩන්ට කියන්න මම ලන්ච් බ්‍රේක් එක අරගෙනම ඒ පැත්තට එන්නම් කියලා..

– හොඳමයි දොස්තර නෝනා..!

© 2016 Pamuditha Zen Anjana

“අසරීරං ගුහාසයං”

ගනුදෙනු කාර භවතුන් පෝළිමට වැඩියා
මම ගල්ලෙනෙන් පිට වෙලා නැවක් හොයාගෙන ගියා
මුහුදු යන්න නෙමෙයි ගෙයක් හදාගන්න
“අපිට කොහෙද පූසෝ මාළු? අපි යනවද මූදු?”
පාර දිගට නැවත් කරේ තියාගෙන ඇවිදපු මට
මිනිස්සු මල් වලින් ගැහුවා
නෑ- මිනිස්සු මල් ගැහුවා
සොරි- ඒක එහෙම නෙමෙයි වුණේ
ආයෙ මුල ඉඳන් එන්නම්

ගනුදෙනු කාර භවතුන් පෝළිමට වැඩියා
මම ගල්ලෙනෙන් පිට වෙලා
නැවක් හොයාගෙන ගියා
මුහුදු යන්න තමයි
මම ධීවරයෙක් නෙමෙයි
ධීවරයන්ට තියෙන්නේ බෝට්ටු
ඇයි මූදු යන්න පුළුවන් ධීවරයොන්ට විතර ද?
නිකම්ම නිකම් මිනිහෙක් වෙච්ච මට මූදු යන්න බැරි ද?

නැවත් කරේ තියාගෙන පාර දිගට ඇවිදපු මට
මිනිස්සු හූ කිව්වා
අපි සැලෙයි ඔව්වට
හූ සද්දෙට බයේ නැව නම් කරෙන් පැනලා දිව්වා
නැව්වලටත් ලැජ්ජ බය ඇති!

මං හිටියේ
තඩි බිම් මල් යායට වැවිලා තිබ්බ දූපතක
දූපත ලොකු ද?
ඔව් දූපත ලොකුයි!
දූපතේ මිනිස්සුන්ට දූපත ලොකුයි
ඒකනේ මූදු යන්න නැවක් ගත්තේ
ආ.. නැව පැනලා ගියානේ..!
කාත් එක්ක ද?

තනියම

හඳපානේ ‘වැටවුට්’ නෙමෙයි
කට්ට අව්ව තියෙන මහ දවල්
හූ සද්දෙට බයේ පැනලා ගියා

මම ගල්ලෙනෙන් පිට වෙලා නැවක් හොයාගෙන ගියා
මුහුදු යන්න නෙමෙයි ගෙයක් හදාගන්න
ඉන්න හොඳ තැනක් හොයාගන්න

මම යන පාර දිගට නිල් කටරොඩු මල් වැවිලා තිබ්බා
මිනිස්සු මට ආශිර්වාද කළා
“හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී!”
දෙවියෝ නමට වැන්ඳා
ඇත්තට නෙමෙයි නිකම් බොරුවට
නමට!

එක පාරට මහ පාර කෙළවර වුණා තඩි හෙළකින්
කෙළවරේ, ගැට්ට උඩ නැව ඉඳගෙන හිටියා
හෙළෙන් පහළ තිබ්බේ සුනාමියකට අත වනන මුහුද
හෙළ උඩ හිටියේ “පනින්න පෙර සිතා බලන” නැව

මම ළඟට යද්දි නැව බිම් මලකට රූපාන්තරණය වුණා
ඒක විසල් බිම්මලක්
දැක්කම බය හිතෙන සයිස් එකේ එකක්
අතේ තිබ්බ චේන් සෝ එකෙන්
බිම් මලේ මුල ගාවින් කපපු මම
ඒක මුහුදට තල්ලු කළා
සොරි- ඒක එහෙම නෙමෙයි වුණේ
ආයේ මුල ඉඳන් එන්න කම්මැලියි

“මට මතක නෑ!”

කොහොමත් මගේ මතකය දුර්වල වෙලා
මතක මාවත් වලට තඩි ගල් කඩන් වැටිලා
ඒවා බ්ලොක් වෙලා!

මම බෝම්බයක් පිටේ බැඳන්
හෙළෙන් පල්ලෙහාට පැන්නා

සූඌඌඌඌඌඌඌට් ප්වොහ්!

© 2016 Pamuditha Zen Anjana

විසදුම් යාත්‍රා

එක්තරා, එකෝමත්, කාලෙක, දිනෙක, රැයෙක
හැමදාම වගේ, පායන සඳ එළියට ටිකක් ඉහළින්
සුදනන් සියයක් බැඳි කරත්තයකින්
ගමන් කළෙම් සියක් දුදනන් සොයා

තරු දහස් ගණනක් දිළී නිවී යන
මනස්කාන්ත රාත්‍රියක් පුරාවටම
නොනිමි, අහිමි ආදරයන් දැල්වූවෙම්
අඳුරු වූ සිත එදුමින් එළිය වන්නටැයි සිතා

කෙළවරක් නොමැති නොහොත් නොපෙනෙන
බෝ දුරින් දැල්වුණු කෝමල ආලෝක රේඛා
සිසාරා සැණකෙළි වන් වූ මිනිස් බහුරූ කෝලම්
විනිවිදිම්, මතින් බමනා දෘෂ්ටිය නාභිගත වේ යැයි සිතා

ඇසෙන නෑසෙන මානයක වැයෙන පළඟැටි සංධ්වනියට
දැනෙන නොදැනෙන වැළපෙන සිත දැහැන් ගත වූයෙන්
සැනසුම් සුසුම් මතින් ඉවසුමක් නැති දෙනෙත් පුරා ඈ සොයා
රටා මැවුවෙමි සිහිනයට අතැඟිලි අතර මියෙන්නට කියා

හොරෙන්ම එබෙන්නට වූ මතක පබැඳුම් අතරින්
විදුලි එළි පහන්, කැළල් පෑරෙන හැඟුම් උගුල් අතරින්
පැකිළෙන පැටළෙන විසිරුණු සිතක් සුරතින් ගුලි කරන්
පියමං සෙව්වෙම්, මැවුම් විශ්වීය අනන්තය කරා

© 2015 Pamuditha Zen Anjana

එගොඩ ගොඩ

දැන් මට
ඔයාව මතක් වෙන්නේ
ඉඳ හිට
එහෙමත් වෙලාවකට

කොහොමත් ඉස්සර වගේ
හැමදාම මතක් වෙන්නේ නම්
නෑ!

කොටින්ම කිව්වොත්
කොහොමටවත් මතක් වෙන්නේ
නැති තරම්

මොකද්දෝ හොඳකට
හෝ නරකකට
ඒක එහෙම වෙලා.

අකමැත්තෙන් වුණත් මම
ඒකට කැමතියි

සමහරවිට
නොවුණු
නොවිය හැකි
නොවිය යුතු ව තිබුණු
අරුම පුදුම
කලබගෑනියක
මං හිරවෙලාවත් ද කියලා
හිතෙනවා මට

කොහොමත් දේදුන්නක් පායන්න
වහින්නම ඕනෙ ලු!

පයිප්ප වතුරෙන් දේදුනු හදාගත්තට
කල් පවතින්නෙත්
නෑ ලු!

අනෝරා වැස්සකට
බයේ මම
ගොඩ වුණා
අම්බලමකට…

© 2014 Pamuditha Zen Anjana

හතර හිනා

කාටත් හොරෙන්
හඳත් එක්ක කතා කරන්න
මම මහ රෑ ඇහැරගෙන හිටියා

“අමාවකට පුරහඳ පායන්නෑ බං!”

අතිජාත යාළුවෙක්
දවස් දෙක තුනකට පස්සේ
එහෙම කිව්වම මට හිනා ගියා

කැලැන්ඩරයක් අරගෙන
පෝය කවද්ද කියලා නොබැලුවට
මට හිතුණෙම එදා පසළොස්වක කියලා

“උඹට දෙයියන්ගේ හාල් කැවිලා!”

තව යාළුවෙක්, තව පාරක්
මම හිනාවෙන හැටි දැක්කම
මහ හයියෙන් හිනාවුණේ එහෙම කියලා

හඳ නැතිවුණාට
ඈතින් බලාගෙන හිටපු
ලස්සන තරුවක් දෙකක් ඉඟි කළා කිව්වම

“හැමදාම ඉරට ට්‍රයි කරන්නේ නැතුව,
අඩුම තරමේ තරුවකටවත් ට්‍රයි කරහං!”

උන් එක හෙළා කිව්වා
මම ගොනා වගේ හිනා වුණා

ළඟ තිබ්බ තරු වලට
මෙච්චර කල් ඉරට කියලා ට්‍රයි කළත්
දුරින් තියෙන තරු ඉරවල් වෙන්නත් බැරි නෑ

ඉර, හඳ, තාරකා අතරේ අතරමං වුණු
මංම කියපු කතාවක් මතක් වෙලා
මට ආයෙමත් හිනා ගියා.

© 2014 Pamuditha Zen Anjana