පෙත්ත

– පොළව කඩන් වැටෙනවලු!

– ඉතිං හොඳයි නේ!

– හොඳ වෙන්නේ කොහොමද?

– ඇයි..? නරකද?

– ඔව්, පොළව තියෙන්නේ බිම නේ. බිම ආයේ කඩන් වැටෙන්නේ එතකොට අහසට.

– පිස්සුද අනේ..? අහස තියෙන්නේ උඩ නේ.

– ඇයි වැටෙන්නේ පහළට විතරද? උඩට වැටෙනවා අහළම නැද්ද?

– ඔය ඉතින්.. ආයෙමත් විකාර කියවනවා.. ඩොක්ටර් සුදුසිංහ උදේට ගන්න ලියලා දීපු බෙහෙත් ටික බිව්වද?

– හ්ම්..

– ඔක්කෝම?

– හ්ම්..

– අත දිග අරින්න බලන්න.. ඔය මොකද්ද..? බලන්න ඉතින් නිල් පාට එක බීලා නෑනේ..!

– ඩොක්ටර් බොන්න කිව්වේ දෙකෙන් එකයි.. එක්කෝ රතු එක.. එක්කෝ නිල් එක.. මම රතු එක බිව්වා..!

– එහෙම හරියනවද ළමයෝ.. ලෙඩේ සනීප වෙන්න නම් ඔක්කෝම බෙහෙත් බොන්න ඕනේ.. ආ මෙන්න වතුර වීදුරුවක්.. ඕකත් බොන්න..!

– මට බෑ..!

– කිව්වම අහලා මුරණ්ඩු නොවී බොන්න ළමයෝ.. ඔයාගෙම හොඳට මේ කියන්නේ..!

– බෑ.. නිල් එක බිව්වම මාව ඇහැරෙනවා.. ඊට පස්සේ අපි කවුරුත් නොදන්න මායාව අපි ඉස්සරහ ඒ විදිහටම වෙනදා වගේම තියෙයි.. ඔයත් මෙතන හැමදාම ඉඳියි.. මට එපා..! ආයේ බොරුවක් අස්සට රිංගන්න මට ඕන නෑ!

– ඔය ඉතින්.. කිව්වම අහන්න ළමයෝ..!

– එපා..! මම රතු එක බිව්වේ මට ඇත්ත දැනගන්න ඕන නිසා.. මායාව අස්සේ ජීවත් වෙලා ඇති වෙලා නිසා.. තේරුම් ගන්න ඒක.. මාව කන්ට්‍රෝල් කරන්න මට බල කරන්න ඔයා කවුද?

– ඔය රතු පාට පෙත්ත ඔයාගේ සිහිය විකෘති කරලා තියෙන්නේ.. ඔයාට මේ කියන මොකුත් අහන්න උවමනාවක් වත් නැත්තේ ඒකයි..!

– බම්බුව! රතු එක හින්දා තමා මගේ ඇස් ඇරෙන්නේ.. මම ඇත්ත තේරුම් ගන්නේ රතු එක බීපු නිසා.. මට ආපහු ඔය නිල් මළදානේ පොවන්න ආවොත් මම මරාගෙන මැරෙනවා..! ඔව්..! ඔයා නෙමෙයි කවුරු වුණත් මට කමක් නෑ!

– ඔයාට මේ මොකුත් තේරුම් ගන්න පුළුවන් තත්වෙක නෙමෙයි ළමයෝ ඔයා ඉන්නේ.. සන්සුන් වෙන්න.. ඔයාගේ සිතීමේ ශක්තිය හීන වෙලා.. ඔයා ඔය වැරදි තීරණ ගන්නේ රතු පෙත්තේ ප්‍රතික්‍රියා නිසා.. තේරුම් ගන්න අඩුම තරමේ උත්සාහ කරන්න..!

– නෑ.. පලයන් යන්න! මගේ ඔළුව අවුල් කරන්න එනවා පට්ට වේසි.. තෝ හිතුවද මාව එහෙම තම්බන්න පුළුවන් කියලා.. මේ සිස්ටම් එක මාව දුර්වල කරලා විනාශ කරන්න එවපු පිල්ලියක් තෝ.. ළඟට එන්න එපා.. පේනවනේ අතේ තියෙන දේ.. තෝව කපලා කපලා කීතු කීතු කරලා දානවා දැනගනින්!

– ඔයාට හොඳටම අවුල් වෙලා නියෝ.. කරුණාකරලා සන්සුන් වෙන්න.. දහයේ ඉඳන් ආපස්සට ගණන් කරන්න.. නර්ස් නර්ස්.. ඔය සුනිල්ටයි සරත්ටයි එන්න කියන්න..!

– මොකද්ද ඒ පාර ඔය කරන්න යන්නේ..? යකෝ.. මට ඇත්ත දකින්න දෙන්නෙම නැද්ද උඹලා.. පාහර හැතිකරේ.. එන්න එපා ළඟට.. තොපිව කපලා කපලා මරණවා.. යක්-

– ඔහොම්මම හිමීට උස්සලා ඇඳට දාලා අර පටි ටික තද කරන්න සුනිල්.. පවු අසරණයා! කෝකටත් ඩබල් චෙක් කරන්න ගළවගන්න පුළුවන්ද බැරිද කියලා.. ඉස්සෙල්ලා පාර දවල් කෑම ගෙනාපු වෙලාවක පේෂන්ට් බෙල්ට්ස් ටික ගලවගෙන තිබ්බා..!

– දොස්තර නෝනා මහත්තයා… නෝනට වෝර්ඩන් එන්න කිව්වා.. තව විනාඩි පහකින් තව පේෂන්ට් කෙනෙක් ගේනවා කිව්වා.. එයත් ස්පෙෂල් කේස් එකක් ලු.. ඒ ට්‍රාන්සර් කරන කෙනාව පේෂන්ට් සීරෝ ගෙන් පුළුවන් තරම් ඈත් කරලා තියන්න කිව්වා..

– ඕකේ සරත්.. වෝර්ඩන්ට කියන්න මම ලන්ච් බ්‍රේක් එක අරගෙනම ඒ පැත්තට එන්නම් කියලා..

– හොඳමයි දොස්තර නෝනා..!

© 2016 Pamuditha Zen Anjana

“අසරීරං ගුහාසයං”

ගනුදෙනු කාර භවතුන් පෝළිමට වැඩියා
මම ගල්ලෙනෙන් පිට වෙලා නැවක් හොයාගෙන ගියා
මුහුදු යන්න නෙමෙයි ගෙයක් හදාගන්න
“අපිට කොහෙද පූසෝ මාළු? අපි යනවද මූදු?”
පාර දිගට නැවත් කරේ තියාගෙන ඇවිදපු මට
මිනිස්සු මල් වලින් ගැහුවා
නෑ- මිනිස්සු මල් ගැහුවා
සොරි- ඒක එහෙම නෙමෙයි වුණේ
ආයෙ මුල ඉඳන් එන්නම්

ගනුදෙනු කාර භවතුන් පෝළිමට වැඩියා
මම ගල්ලෙනෙන් පිට වෙලා
නැවක් හොයාගෙන ගියා
මුහුදු යන්න තමයි
මම ධීවරයෙක් නෙමෙයි
ධීවරයන්ට තියෙන්නේ බෝට්ටු
ඇයි මූදු යන්න පුළුවන් ධීවරයොන්ට විතර ද?
නිකම්ම නිකම් මිනිහෙක් වෙච්ච මට මූදු යන්න බැරි ද?

නැවත් කරේ තියාගෙන පාර දිගට ඇවිදපු මට
මිනිස්සු හූ කිව්වා
අපි සැලෙයි ඔව්වට
හූ සද්දෙට බයේ නැව නම් කරෙන් පැනලා දිව්වා
නැව්වලටත් ලැජ්ජ බය ඇති!

මං හිටියේ
තඩි බිම් මල් යායට වැවිලා තිබ්බ දූපතක
දූපත ලොකු ද?
ඔව් දූපත ලොකුයි!
දූපතේ මිනිස්සුන්ට දූපත ලොකුයි
ඒකනේ මූදු යන්න නැවක් ගත්තේ
ආ.. නැව පැනලා ගියානේ..!
කාත් එක්ක ද?

තනියම

හඳපානේ ‘වැටවුට්’ නෙමෙයි
කට්ට අව්ව තියෙන මහ දවල්
හූ සද්දෙට බයේ පැනලා ගියා

මම ගල්ලෙනෙන් පිට වෙලා නැවක් හොයාගෙන ගියා
මුහුදු යන්න නෙමෙයි ගෙයක් හදාගන්න
ඉන්න හොඳ තැනක් හොයාගන්න

මම යන පාර දිගට නිල් කටරොඩු මල් වැවිලා තිබ්බා
මිනිස්සු මට ආශිර්වාද කළා
“හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී!”
දෙවියෝ නමට වැන්ඳා
ඇත්තට නෙමෙයි නිකම් බොරුවට
නමට!

එක පාරට මහ පාර කෙළවර වුණා තඩි හෙළකින්
කෙළවරේ, ගැට්ට උඩ නැව ඉඳගෙන හිටියා
හෙළෙන් පහළ තිබ්බේ සුනාමියකට අත වනන මුහුද
හෙළ උඩ හිටියේ “පනින්න පෙර සිතා බලන” නැව

මම ළඟට යද්දි නැව බිම් මලකට රූපාන්තරණය වුණා
ඒක විසල් බිම්මලක්
දැක්කම බය හිතෙන සයිස් එකේ එකක්
අතේ තිබ්බ චේන් සෝ එකෙන්
බිම් මලේ මුල ගාවින් කපපු මම
ඒක මුහුදට තල්ලු කළා
සොරි- ඒක එහෙම නෙමෙයි වුණේ
ආයේ මුල ඉඳන් එන්න කම්මැලියි

“මට මතක නෑ!”

කොහොමත් මගේ මතකය දුර්වල වෙලා
මතක මාවත් වලට තඩි ගල් කඩන් වැටිලා
ඒවා බ්ලොක් වෙලා!

මම බෝම්බයක් පිටේ බැඳන්
හෙළෙන් පල්ලෙහාට පැන්නා

සූඌඌඌඌඌඌඌට් ප්වොහ්!

© 2016 Pamuditha Zen Anjana

සිනහ චක්‍ර

උදෑසන ඉර එළිය අස්සෙන්
නිදිමත එබිකම් කළා
ඇලේට තිබ්බ ඇඳෙන්
කොන්ද කෙලින් කරගත්තු මම
දුමකට එළිය දුන්නා

පුරුද්දකට වගේ හිනා වුණ
කීබෝඩ් එක ඇඟිලි වලින්
හුරතල් කරන ගමන් මම
අකුරු වලට පණ දුන්නා

ලෝකයා අවදි වෙලා
ප්‍රශ්න පිරුණු මූණු අතින් එල්ලගෙන
මහා කලබලයකින්
එක එක වැඩ වලට ඇවිදිනවා
මට හිනා ගියා

රොබෝ ජීවිත කාලසටහන්
ආදායම් සල්ලි කෑම් බීම්
ඉඳුම් හිටුම් ඇඳුම් පැළඳුම්
කෙළවරක් පරතෙරක් නැති චක්‍ර
පොළොව වටේ භ්‍රමණය වුණා

වෙනදා වගේම මේ ඔක්කෝම
මගේ මනසේ වන් බම්ප් ගැහුවා
මං අවුට් වුණා

අකුරු හරඹ වලින් සල්ලි හොයන
සෙල්ලම් වැඩකෑලි මට තාම අරහං
ඒත් ඒකාකාරී ධාවන පථයේ
අවිනිශ්චිත අනාගතය අධිනිශ්චයක්

යථාවාදී තථාකාරී වෙන්න හදන
සාමාන්‍ය මනුස්සයෙක් තාමත්
ගේට්ටුවෙන් ගේට්ටුවට පෙරුම් හොයනවා
අත්පිට මුදලට පිං දෙනවා

මට ආයෙමත් හිනා ගියා
කැටේ එකතු වෙච්ච රුපියල්
පහේ දෙකේ පොඩි කාසි කීපයක්
සන්තෝසය වෙනුවට හුවමාරු වුණා

ගේට්ටුව වැහුණා
මං ආයෙමත් ගුහාවට රිංගුවා.

© 2015 Pamuditha Zen Anjana

එගොඩ ගොඩ

දැන් මට
ඔයාව මතක් වෙන්නේ
ඉඳ හිට
එහෙමත් වෙලාවකට

කොහොමත් ඉස්සර වගේ
හැමදාම මතක් වෙන්නේ නම්
නෑ!

කොටින්ම කිව්වොත්
කොහොමටවත් මතක් වෙන්නේ
නැති තරම්

මොකද්දෝ හොඳකට
හෝ නරකකට
ඒක එහෙම වෙලා.

අකමැත්තෙන් වුණත් මම
ඒකට කැමතියි

සමහරවිට
නොවුණු
නොවිය හැකි
නොවිය යුතු ව තිබුණු
අරුම පුදුම
කලබගෑනියක
මං හිරවෙලාවත් ද කියලා
හිතෙනවා මට

කොහොමත් දේදුන්නක් පායන්න
වහින්නම ඕනෙ ලු!

පයිප්ප වතුරෙන් දේදුනු හදාගත්තට
කල් පවතින්නෙත්
නෑ ලු!

අනෝරා වැස්සකට
බයේ මම
ගොඩ වුණා
අම්බලමකට…

© 2014 Pamuditha Zen Anjana

මොහොතකට එපිටින්

සොඳුරු රාත්‍රියෙක
සෙමින් ඇද හැළෙන
පිනි පොද වැසි මැද

හද ගැස්මකට හොරෙන්
ඔය සිනහ ඉවුරු දිගේ
පියවර තබන්

නින්නාද දෙන සිහින
ගිරිහෙල් තැනිතලා
පසු කරන්

දෑඟිලි පැටලෙනයුරු
දෙනයන ඉඟි කරනතුරු
හැඟුම් සරැළි ඉවුරු තලා
ගොඩ ගලනයුරු

මගෙන් දුරකට වී
ළඟින් ම හිඳ බලන්

ස්වප්නයට පෙර හෝරාවේ
නොනිදන හදට නොදැනෙන
සිතුවිලි සිතුවම් වර්ණ රේඛා
සුරතේ ගුලි කරන්

මග බලන්
මං එනවා සත්තකයි..

© 2013 Pamuditha Zen Anjana

නෙත්සර

ඉර එළියටත් වඩා
දීප්තිමත් ව
සඳ එළියටත් වඩා
සෞම්‍ය ව

වළාකුළුවලට නොරිදෙන්නට
දුව ඇවිදින සුළඟටත්
නොදැනෙන තරම් ම
ඉසියුම් ව

වැතිරෙන්නට අවසර ද
ආදරණීය හාද්දක් ව
ඔය දෙතොල්
අබියෙසක..

අරුණාලෝකයටත් වඩා
විචිත්‍රවත් ව
සැඳෑ අහසටත් වඩා
වර්ණවත් ව

නිසොල්මනේ බලාගත්වනම හුන්
සුවිසල් රුක් වලටත්
නොඇසෙන තරම් ම
මුදු සුමුදු ව

පා තබන්නට අවසර ද
සොඳුරු මන්දස්මිතයක් ව
ඔය දෙනෙත්
අබියෙසක..

විශ්වයටත් වඩා
අපරිමිත ව
කාලයටත් වඩා
පරිමිත ව

සියුම් සරින් ගැහෙන හැඟුමක
නුහුරු රිද්මයට අනුගතව
දිගහැරෙන පද පෙළක
නිමේශයන් සටහන් කරමින්

දැවටෙන්නට අවසර ද
සදාකල් නොමැකෙන
සෙවණක්, සෙවණැල්ලක් ව
ඔය සිත අද්දර…

© 2013 Pamuditha Zen Anjana

සංස්කෘතිකයෝ

අතරමං වූයෙමි
රෑ මද්දහනේ,
අතිජාත මිතුරන් ද සමග
නෙක පැහැයෙන්
විචිත්‍රවත් වූ
බල්බ නගරයක්
මැද්දෑවේ..

බැලූ බැලූ අත
හිස් ය.

උහු විසිතුරු
බැලුමට
රැස් කති..

තරුණයෝ – තරුණ කම් පෙන්වති
තරුණියෝ – කීචි බීචි ගාති
පදිකයෝ – හූ කියති
වාහනද – හූ බැක් දෙති

එක කෙළියකි..
මළ කෙළි දෙකකි!!

මහ හඬින් කෑ මොර දෙති
තොරණින් ‘බ්ලූ’ පෙන්වති
කථකයෝ හඬා වැළපෙති
තොරණ් බලන්නට සෙනඟ එති

රට වටේට දන්සැල් දෙති
‘ප්‍රාඩෝවේ’ ද විත් දන් බත් කති
කොල්ලංට බත් මදි වෙති
හිස් බඩිංම ගෙදර ඇදෙති

“වෙස් මූණු දාං ඉඳලා අහු වෙන්ඩ එපා!
විකුණන්ඩත් එපා!” යි
අණ කෙරෙති..

© 2010 Pamuditha Zen Anjana