ෂර්වුඩ් වගේද සිංහරාජ්ජේ?

මුහුදෙන් වටවෙච්ච
නට්ටං වෙච්ච ජීවිත
සාරගර්භ සමාජ සෙවීමක
අනේ හුකේ ලු

කාලකණ්ණි රේස් එකක දුවන්නේ
ගොළුබෙලි ගමනින් ආපස්සට
අඩියක් පස්සට
තව අඩි දෙකක් පස්සට

විහිළු වලින් බැරියර් හදාගෙන
තර්ක නැව් ගණනින් ගොඩ ගහනවා

ගොඩින් අක්කරයයි
මඩින් අක්කරයයි
ගොඩටත් වැඩක් නෑ
මඩටත් වැඩක් නෑ
මටත් නෑ
උඹටත් නෑ

ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
අපෙන් එකෙක් එක් දේකට සමත් නෑ
ඇඟිලි ගහපන් හැම එකටම
බිත්තියේ හිලකට හරි කමක් නෑ

විකෘතියට පෙර සංස්කෘතිය
තිස්තුන් කෝටියක් දෙවි පිහිටට
ආ රස්සාවට

අපි එහෙමයි
මේ පේනවනේ හිස්-කබල
හැඳි මිටේ දිග තියෙනකම්
අත දිග ඇරලා කූරු ගාපන්

කරස් කරස් කරස් බරස්
සකලබුජං කොටකලිසම්

ඔළුව මුට්ටියේ හිරවෙච්ච එළුවෝ
කණාමුට්ටි ගහයි උන්ගේ යාළුවෝ
වළං ගැට්ට බෙල්ල වටේ ඔතාගෙන
හෙළුවෙන් වනපන් ඔළුවෙන් හිටගෙන

ලැජ්ජ නැති කම
ඉන්ටනෙට් එකටත් වඩා ලොකුයි ලු
ආ මෙන්න අකුරු බූලියක්
වක්කරන් ගිනිතියන්
මැරියන්

මං රොබින් හුඩ්!

© 2015 Pamuditha Zen Anjana

සිනහ චක්‍ර

උදෑසන ඉර එළිය අස්සෙන්
නිදිමත එබිකම් කළා
ඇලේට තිබ්බ ඇඳෙන්
කොන්ද කෙලින් කරගත්තු මම
දුමකට එළිය දුන්නා

පුරුද්දකට වගේ හිනා වුණ
කීබෝඩ් එක ඇඟිලි වලින්
හුරතල් කරන ගමන් මම
අකුරු වලට පණ දුන්නා

ලෝකයා අවදි වෙලා
ප්‍රශ්න පිරුණු මූණු අතින් එල්ලගෙන
මහා කලබලයකින්
එක එක වැඩ වලට ඇවිදිනවා
මට හිනා ගියා

රොබෝ ජීවිත කාලසටහන්
ආදායම් සල්ලි කෑම් බීම්
ඉඳුම් හිටුම් ඇඳුම් පැළඳුම්
කෙළවරක් පරතෙරක් නැති චක්‍ර
පොළොව වටේ භ්‍රමණය වුණා

වෙනදා වගේම මේ ඔක්කෝම
මගේ මනසේ වන් බම්ප් ගැහුවා
මං අවුට් වුණා

අකුරු හරඹ වලින් සල්ලි හොයන
සෙල්ලම් වැඩකෑලි මට තාම අරහං
ඒත් ඒකාකාරී ධාවන පථයේ
අවිනිශ්චිත අනාගතය අධිනිශ්චයක්

යථාවාදී තථාකාරී වෙන්න හදන
සාමාන්‍ය මනුස්සයෙක් තාමත්
ගේට්ටුවෙන් ගේට්ටුවට පෙරුම් හොයනවා
අත්පිට මුදලට පිං දෙනවා

මට ආයෙමත් හිනා ගියා
කැටේ එකතු වෙච්ච රුපියල්
පහේ දෙකේ පොඩි කාසි කීපයක්
සන්තෝසය වෙනුවට හුවමාරු වුණා

ගේට්ටුව වැහුණා
මං ආයෙමත් ගුහාවට රිංගුවා.

© 2015 Pamuditha Zen Anjana

නිල්

මම ඇදුණේ කාන්තාරයට
ආයෙමත් වතුර හොයාගෙන
නගර සභාවේ පාර වැරදුණු වතුර බවුසරයක්
ටොනික් මූඩි වලට වතුර බෙදමින් හිටියා

ටිකක් එහායින්
වතුර ඉවට හදිසියේ නැගිටපු ඔටුවෙක්
උඩු රැවුළෙන් හිනාවෙවී
සාටක බෙදමින් හිටියා

වතුර බවුසරේ ගාව රැස් කාපු
මහ සෙනඟ
වතුර වෙනුවට සාටක ඉව පස්සේ ඇදුණා
මම එපා වුණු උනන්දුවකින් ක්ෂේම භූමියක් හෙව්වා

නෑ නෑ
විල්පත්තු මායිම හෙව්වා

හදිසියේ උරහිස දිගේ මේසෙට බැහැපු දාවිත්
ෆොටෝෂොප් ඕපන් කරගෙන
මොකද්දෝ කුරුටු ගාන්න පටන් ගත්තා

මම නොවූ විරූ හදිසියකින් ඇහැරුණා

මාව වට කරගත්තු හරිත රේඛා
දුම් ගුලි අතරින් සුපුෂ්පිත වුණා
කාමරේ වටේට හිටගත්තු හුදී ජනයා
බැඳගත්තු බෙරේට හිතේ හැටියට තැළුවා

හරියටම දහනවයයි
එහෙම කියපු දාවිත් ෆොටෝෂොප් ගුලි කරලා
කුණු බක්කියට දමලා ගැහුවා
පරණ මතක කොළ අහුරක්
නින්නාද දෙමින් පුපුරා ගියා
ගිනිගත්තා

සෑහෙන ව්‍යාකූලයි!

හීන එහෙමයි
ශාරුක් ඛාන් කූරු ගණන් කරන ගමන් කිව්වා

මට හිනා ගියා
හිනාව මාව දාලා ගියා
මම ආයෙමත් එහා පැත්ත හැරිලා
බිත්තිය දිගේ එකා පස්සේ ඇදුණු
අලි පේළියක් වටේට
ත්‍රිකෝණ සිත්තම් කළා

ඇඟිල්ලකට හිර වෙලා
පශ්චාත්භාගය තැළුණු අලියෙක්
විශ්වය ගිලලා දිවුල් කෝම්බයක් එළියට දැම්මා

© 2015 Pamuditha Zen Anjana

නිෂ්ක්‍රමණය

මම ආගමට වෙඩි තැබීමි.

ඌ නුදුරින් බිම ඇද වැටී
දැවෙනා පතුරමකින් පසා වූ
ලේ ගලන හදවතක් අත දරා
අපහසුවෙන් පණ අදිමින් සිටියේ ය…

අවසන් හුස්මකට තත්පර 83කට පෙර
අතීතයෙන් සොයා ගත් ටයර් කිහිපයකින්
ආගම වට කළ මම,

බයිබලය, කුරාණය,
භගවත් ගීතාව, ත්‍රිපිටකය
කියවන්නට කියා මේසය මත තබාගත්

දැල්ලෙන් කළු වූ
අඳුර නොමැකූ
චිමිනි ලාම්පුවේ තෙල්,
ඌ මත වියරුවෙන් වත් කොට

ආගම පණ පිටින් ගිනි තැබීමි.

ගිනිදැල් අතුරින් අඳෝනා නගන්නට වූ
ආගම, අවසන් වරට, දෙනෙත් දල්වා,
මා දෙස වියරුවෙන් බැලී ය…

මම බියෙන් පසු බෑමි
දෙවරක් සිතීමි
නැවතත්, නැවත නැවතත්
සිතට දිරි දී
දෑස් ඉදිරියේ දැවී හළු වූ
ආගම ගෙන නළලේ අතුල්ලා ගතිමි

චිමිනියේ දැලි ගෙන
හවුරුදු දහයකට පමණ පෙර මියැදුණු
පියාණන්ගේ සොහොන් කොතේ ද
විසි හතර පැයේ පන්සල් යන
මෑණියන්ගේ මුහුණේ ද
එකසේ ඉළුවෙමි

කෙළවරක් අගක් මුලක් නොදන්නා
අතීතයට ද
කෙළවරක් අගක් මුලක් නොදක්නා
අනාගතයට ද
සමු දී
වර්තමානයට දෙනෙත් හැරියෙමි.

© 2014 Pamuditha Zen Anjana

සංචාරක සටහන්

උන් ශිෂ්ටාචාරය බෙදාගන්න බැරුව
දෙපිළකට බෙදිලා මරාගත්තා
මම පැත්තකට වෙලා – නශ්ටාවශේෂ වෙච්ච
ගල්කණු ගණන් කළා

හරියට ශිෂ්ටාචාරය ගොඩනැගුණේ
එක දවසකින් වගේ…
මතක නම්, කල්පනාව හොඳ නම්,
දන්නවා ඇති දැන් අවුරුදු කිහිපයක් කියලා

ඒවා ඉබේ ගොඩනැගුණේ නෑ
දාඩිය, කඳුළු, ලේ යොදවපු
මනුස්ස පරාණ බොහෝමයක්
කාලය, ශ්‍රමය, ධනය කැප කළා

ඉතින් එකෙක් තනියෙන් රජ වෙන්නේ කොහොම ද?

මේක අරාජික ශිෂ්ටාචාරයක්
මිනිස්සුන්ට අයිති එකක්
කැකිල්ලේ රජ්ජුරුවන්ට
තනි භුක්තිය ගන්න බැරි එකක්

නොකියාම බැරි තැන කියන වග නම්;

සංචාරය කරේ මෝඩ කමකට නෙමෙයි
කැකිල්ලේ ගේ මමංකාරය අප්පිරිය වුණ නිසා
අතිනාට්‍ය ඔක්කාරෙට ආපු නිසා

රජ වෙනවා නම් ඔක්කොම රජ වෙයව්
නැත්නම් ශිෂ්ට සම්පන්නව, චාරයක් ඇතුව
බලා ඉන්න උන්ට විහිළුවක් නොවී ඉඳපියව්

එච්චරයි!

© 2014 Pamuditha Zen Anjana

මොහොතකට එපිටින්

සොඳුරු රාත්‍රියෙක
සෙමින් ඇද හැළෙන
පිනි පොද වැසි මැද

හද ගැස්මකට හොරෙන්
ඔය සිනහ ඉවුරු දිගේ
පියවර තබන්

නින්නාද දෙන සිහින
ගිරිහෙල් තැනිතලා
පසු කරන්

දෑඟිලි පැටලෙනයුරු
දෙනයන ඉඟි කරනතුරු
හැඟුම් සරැළි ඉවුරු තලා
ගොඩ ගලනයුරු

මගෙන් දුරකට වී
ළඟින් ම හිඳ බලන්

ස්වප්නයට පෙර හෝරාවේ
නොනිදන හදට නොදැනෙන
සිතුවිලි සිතුවම් වර්ණ රේඛා
සුරතේ ගුලි කරන්

මග බලන්
මං එනවා සත්තකයි..

© 2013 Pamuditha Zen Anjana

නෙත්සර

ඉර එළියටත් වඩා
දීප්තිමත් ව
සඳ එළියටත් වඩා
සෞම්‍ය ව

වළාකුළුවලට නොරිදෙන්නට
දුව ඇවිදින සුළඟටත්
නොදැනෙන තරම් ම
ඉසියුම් ව

වැතිරෙන්නට අවසර ද
ආදරණීය හාද්දක් ව
ඔය දෙතොල්
අබියෙසක..

අරුණාලෝකයටත් වඩා
විචිත්‍රවත් ව
සැඳෑ අහසටත් වඩා
වර්ණවත් ව

නිසොල්මනේ බලාගත්වනම හුන්
සුවිසල් රුක් වලටත්
නොඇසෙන තරම් ම
මුදු සුමුදු ව

පා තබන්නට අවසර ද
සොඳුරු මන්දස්මිතයක් ව
ඔය දෙනෙත්
අබියෙසක..

විශ්වයටත් වඩා
අපරිමිත ව
කාලයටත් වඩා
පරිමිත ව

සියුම් සරින් ගැහෙන හැඟුමක
නුහුරු රිද්මයට අනුගතව
දිගහැරෙන පද පෙළක
නිමේශයන් සටහන් කරමින්

දැවටෙන්නට අවසර ද
සදාකල් නොමැකෙන
සෙවණක්, සෙවණැල්ලක් ව
ඔය සිත අද්දර…

© 2013 Pamuditha Zen Anjana