ෂර්වුඩ් වගේද සිංහරාජ්ජේ?

මුහුදෙන් වටවෙච්ච
නට්ටං වෙච්ච ජීවිත
සාරගර්භ සමාජ සෙවීමක
අනේ හුකේ ලු

කාලකණ්ණි රේස් එකක දුවන්නේ
ගොළුබෙලි ගමනින් ආපස්සට
අඩියක් පස්සට
තව අඩි දෙකක් පස්සට

විහිළු වලින් බැරියර් හදාගෙන
තර්ක නැව් ගණනින් ගොඩ ගහනවා

ගොඩින් අක්කරයයි
මඩින් අක්කරයයි
ගොඩටත් වැඩක් නෑ
මඩටත් වැඩක් නෑ
මටත් නෑ
උඹටත් නෑ

ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
අපෙන් එකෙක් එක් දේකට සමත් නෑ
ඇඟිලි ගහපන් හැම එකටම
බිත්තියේ හිලකට හරි කමක් නෑ

විකෘතියට පෙර සංස්කෘතිය
තිස්තුන් කෝටියක් දෙවි පිහිටට
ආ රස්සාවට

අපි එහෙමයි
මේ පේනවනේ හිස්-කබල
හැඳි මිටේ දිග තියෙනකම්
අත දිග ඇරලා කූරු ගාපන්

කරස් කරස් කරස් බරස්
සකලබුජං කොටකලිසම්

ඔළුව මුට්ටියේ හිරවෙච්ච එළුවෝ
කණාමුට්ටි ගහයි උන්ගේ යාළුවෝ
වළං ගැට්ට බෙල්ල වටේ ඔතාගෙන
හෙළුවෙන් වනපන් ඔළුවෙන් හිටගෙන

ලැජ්ජ නැති කම
ඉන්ටනෙට් එකටත් වඩා ලොකුයි ලු
ආ මෙන්න අකුරු බූලියක්
වක්කරන් ගිනිතියන්
මැරියන්

මං රොබින් හුඩ්!

© 2015 Pamuditha Zen Anjana

එගොඩ ගොඩ

දැන් මට
ඔයාව මතක් වෙන්නේ
ඉඳ හිට
එහෙමත් වෙලාවකට

කොහොමත් ඉස්සර වගේ
හැමදාම මතක් වෙන්නේ නම්
නෑ!

කොටින්ම කිව්වොත්
කොහොමටවත් මතක් වෙන්නේ
නැති තරම්

මොකද්දෝ හොඳකට
හෝ නරකකට
ඒක එහෙම වෙලා.

අකමැත්තෙන් වුණත් මම
ඒකට කැමතියි

සමහරවිට
නොවුණු
නොවිය හැකි
නොවිය යුතු ව තිබුණු
අරුම පුදුම
කලබගෑනියක
මං හිරවෙලාවත් ද කියලා
හිතෙනවා මට

කොහොමත් දේදුන්නක් පායන්න
වහින්නම ඕනෙ ලු!

පයිප්ප වතුරෙන් දේදුනු හදාගත්තට
කල් පවතින්නෙත්
නෑ ලු!

අනෝරා වැස්සකට
බයේ මම
ගොඩ වුණා
අම්බලමකට…

© 2014 Pamuditha Zen Anjana

අගුල

අන් අයට
ඒමට
නොහැකි
හදිසියට – මට ද
විවර
කළ
නොහැකි
ආරක්ෂිත
ප්‍රෝඩාව.

© 2011 Pamuditha Zen Anjana

මොහොතකට එපිටින්

සොඳුරු රාත්‍රියෙක
සෙමින් ඇද හැළෙන
පිනි පොද වැසි මැද

හද ගැස්මකට හොරෙන්
ඔය සිනහ ඉවුරු දිගේ
පියවර තබන්

නින්නාද දෙන සිහින
ගිරිහෙල් තැනිතලා
පසු කරන්

දෑඟිලි පැටලෙනයුරු
දෙනයන ඉඟි කරනතුරු
හැඟුම් සරැළි ඉවුරු තලා
ගොඩ ගලනයුරු

මගෙන් දුරකට වී
ළඟින් ම හිඳ බලන්

ස්වප්නයට පෙර හෝරාවේ
නොනිදන හදට නොදැනෙන
සිතුවිලි සිතුවම් වර්ණ රේඛා
සුරතේ ගුලි කරන්

මග බලන්
මං එනවා සත්තකයි..

© 2013 Pamuditha Zen Anjana

නෙත්සර

ඉර එළියටත් වඩා
දීප්තිමත් ව
සඳ එළියටත් වඩා
සෞම්‍ය ව

වළාකුළුවලට නොරිදෙන්නට
දුව ඇවිදින සුළඟටත්
නොදැනෙන තරම් ම
ඉසියුම් ව

වැතිරෙන්නට අවසර ද
ආදරණීය හාද්දක් ව
ඔය දෙතොල්
අබියෙසක..

අරුණාලෝකයටත් වඩා
විචිත්‍රවත් ව
සැඳෑ අහසටත් වඩා
වර්ණවත් ව

නිසොල්මනේ බලාගත්වනම හුන්
සුවිසල් රුක් වලටත්
නොඇසෙන තරම් ම
මුදු සුමුදු ව

පා තබන්නට අවසර ද
සොඳුරු මන්දස්මිතයක් ව
ඔය දෙනෙත්
අබියෙසක..

විශ්වයටත් වඩා
අපරිමිත ව
කාලයටත් වඩා
පරිමිත ව

සියුම් සරින් ගැහෙන හැඟුමක
නුහුරු රිද්මයට අනුගතව
දිගහැරෙන පද පෙළක
නිමේශයන් සටහන් කරමින්

දැවටෙන්නට අවසර ද
සදාකල් නොමැකෙන
සෙවණක්, සෙවණැල්ලක් ව
ඔය සිත අද්දර…

© 2013 Pamuditha Zen Anjana

සංස්කෘතිකයෝ

අතරමං වූයෙමි
රෑ මද්දහනේ,
අතිජාත මිතුරන් ද සමග
නෙක පැහැයෙන්
විචිත්‍රවත් වූ
බල්බ නගරයක්
මැද්දෑවේ..

බැලූ බැලූ අත
හිස් ය.

උහු විසිතුරු
බැලුමට
රැස් කති..

තරුණයෝ – තරුණ කම් පෙන්වති
තරුණියෝ – කීචි බීචි ගාති
පදිකයෝ – හූ කියති
වාහනද – හූ බැක් දෙති

එක කෙළියකි..
මළ කෙළි දෙකකි!!

මහ හඬින් කෑ මොර දෙති
තොරණින් ‘බ්ලූ’ පෙන්වති
කථකයෝ හඬා වැළපෙති
තොරණ් බලන්නට සෙනඟ එති

රට වටේට දන්සැල් දෙති
‘ප්‍රාඩෝවේ’ ද විත් දන් බත් කති
කොල්ලංට බත් මදි වෙති
හිස් බඩිංම ගෙදර ඇදෙති

“වෙස් මූණු දාං ඉඳලා අහු වෙන්ඩ එපා!
විකුණන්ඩත් එපා!” යි
අණ කෙරෙති..

© 2010 Pamuditha Zen Anjana

නමෝ නමෝ මාතා!

රුදුරු අවි ගත් සුනඛයන්
මඟ බලා හිඳිති ලේ පිපාසිතව
කාකනිල් කබා කමිස හැඳ
සාහසික රත් දෙනෙත්
රෑ සිදුරු විසිදුරු කොට

මිනීමල් පොකුරු මත
නිදි වදිති ධවල රජ ඔටුණු
කෙළ පෙරමින් නෑසූ කණ්ව
තුවක්කු බැම්මෙන් වට කළ
විසල් පැල්පත් මාළිගා තුළ

යකාට පුද කළ දේශයෙක
වීරයාගේ ඇවෑමෙන් හිස් පෙවූ
කාඩ්බෝඩ් වලින් කැපූ
සිවුරු පෙරවූ වෘකයෝ
පතුරුවති ත්‍රස්ත බණ

ඉන්නට තැනක් ද නොමැත
යන්නට එන්නට තැනක් ද නැත
එලොව මෙලොව පරලොවද
පණුවන් ගසා කුණුව විකාර ව
කල් ඉකුත්ව ගඳ ගසමින් ඇත!

© 2012 Pamuditha Zen Anjana