20160131_උදේ_5පාරක්බැක්ස්පේස්_දවල්_දැන්වෙලාව_1213පැය

ලියන්න දෙයක් නැති වෙලාවට විකාර ලියන එකත් හොඳ පුරුද්දක් ලු. කවුද එහෙම කතාවක් කියලා තිබ්බා මට මතකයි. මේක ලියල ඔක්කෝම සිලෙක්ට් කරලා ඩිලීට් කරලා දාන එකත් එක්තරා විදිහක වින්දනයක්.

එකම වෙනස, ඩිලීට් කරලා දැම්මම ඒක කාටවත් කියවන්න බෑ.

ඉස්සර මම ලිව්වේ කොළවල පෑන් වලින්. පොත් වල පිටු ඉවරවෙනකම් විකාර ලියනවා. වැඩේ කියන්නේ දැන් වගේ ඒවා ඩිලීට් කරන්න බෑ. එක්කෝ පොත ගිනි තියලා දාන්න ඕනේ. නැත්තන් හීනියට ඉරලා විසි කරලා දන්න ඕනේ.

මම පුරුදු වෙලා ඉන්නේ එහෙම. කාලාන්තරයක් තිස්සේ ෆිල්ම් බලලා ටීවී සීරීස් බලලා පුරුදු වුණ දෙයක්. දෙකට තුනට ඉරලා විසික් කරොත් කවුරුහරි වෙලාව ඕනාවට වඩා තියෙන එකෙක් ඒ කොළ එකතු කරලා මම ලියපුවා කියවයි කියලා බයක්මත් නොවන විශ්වාසයක් ඔළුවේ කොණක තියෙනවා. ඊට වඩා මේක ලේසියි. අකුරු දහස් ගණන් ටයිප් කළා, කන්ට්‍රෝල් ඒ එබුවා ඩිලීට් හරි බැක්ස්පේස් හරි එබුවා. ඒ කරදරෙන් නිදහස්.

හැම කීස්ට්‍රෝක් එකක්ම කොහේ හරි රෙකෝර්ඩ් වෙනව ලු. ඒකත් දැනගත්තේ ෆිල්ම් බලලම තමා. වෙලාවට එහෙම හිතලා නොලියා ඉන්න තරම් තාම පැරනොයිඩ් නෑ.

ලියන්නේ මොනාද කියලා හිතන්නේ නැතිව ඔළුවට එන විකාර ලියන එකත් මරු. ඔළුවට එන විකාර ගොණු කරගන්න පුළුවන් කියලා පොඩි සන්තෝසෙකුත් හොරාට එබිකම් කරනවා.

මම ඊයේ හීනයක් දැක්කා. දැන් ඒකේ වුණ දේවල් හරියටම මතක නෑ. ඒ වුණත් ලාවට එහෙන් මෙහෙන් අමුතු දේවල් මතකයි.

ඊයේ මම හීනෙන් ගියා අමුතු රටකට. ඒකේ මට හිටියේ වෙන පවුලක්. ඒ කියන්නේ මම කසාද බැඳලා නෙමෙයි. මගේ අම්මයි තාත්තයි වෙනස්. මට හිටියේ නංගි කෙනෙක්.

අපි ගියා ට්‍රිප් එකක්. මුහුදුබඩ පළාතකට බස් එකේ යනවා මට හොඳට මතකයි. මම තනියම එළියට බැස්සේ නාන්න කලිසමක් මොකුත් ගෙනල්ලා නොතිබ්බ නිසා කියලා මතකයි. අඩුම තරමේ බීච් එකට දාන්න සෙරප්පු දෙකක් වත් ගෙනල්ලා නොතිබ්බ නිසා මම ගියා ඒ පැත්තේ තිබ්බ ත්‍රිෆ්ට් ශොප් ටිකකට. ඒවා තිබ්බේ පේමන්ට් එකේ ගහපු පොඩි පොඩි ස්ටේජ් උඩ.

එක තැනකින් මම පරණ කලිසම් ටිකක් බැලුවා. ඒ කලිසම් එච්චර සෙට් වුණේ නැති නිසා ළඟ තිබ්බ ටී ෂර්ට් ටිකක් ඇද්දා. එකක් ගන්න හිතාගෙන මම ඒවයේ ගාණ ඇහුවා. රුපියල් විස්සයි ලු. මම ඒක කෙල්ලට දෙන්න හිතාගෙන ගත්තා. පස්සේ මට කෙල්ලෙක් නැති බව මතක් වුණා. අවුලක් නෑ. අපි නැවතිලා හිටපු ගෙදර මට නංගි කෙනෙක් හිටියා. එයාට දෙනවා කියලා ඒක මම ප්ලාස්ටික් බෑග් එකකට දාගත්තා. සෙරප්පු හෙව්වට සෙරප්පු තිබ්බෙත් නැති නිසා මම කඩේ හිටපු මහත ඇන්ටිගෙන් ස්නීකර්ස් තියෙනවද කියලා ඇහුවම, දෙරණේ අර ඩාන්ස් සීන් එකේ ඉමල්කයා එතන ප්‍රාදූර්භූත වුණා. ඌ කිව්වේ ස්නීකර්ස් තියෙනවා එක එක ගණන් වලට කියලා.

“නිකන් ගාණක් කියන්න බලන්න. මේකෙන් උඩ වගේ කියල හිතලා” මම ඌට කිව්ව.

“අඩුම 3000ක් විතර වෙනවා. කොහොමත් උඹ බ්‍රෑන්ඩ් නිව් ගන්නවනම් අනූදාහක් විතර වෙනවනේ ඒකක්!” ඌ එහෙම කිව්ව.

මම ළඟ හිටපු යාළුවෙක්ට “අනිවා ඔරිජිනල් ගණන් නේ!” කියලා ආපිට හැරුණා.

අනිත් ක්ෂණයේ මම හිටියේ බස් එකක් ඇතුළේ. බස් එක අන්ධකාර මුහුදු වෙරළකට ළං වෙලා හිටියේ. මුහුදු වෙරළ පිරෙන්න මිනිස්සු. බැලුම් බෝල වෙළෙන්ඳෙක් එතැනින් කැපී පේන්න වගේ බැලුම් බෝල හෙණ ගොඩක් තියාගෙන හිටියා.

උසට විහිදිච්ච පොල් රුප්පාව අස්සෙන් දැවැන්ත ගල් ගුහා තිබිච්ච පැත්තට මම ඇවිදගෙන ගියා. ගල් ගුහාව ඇතුළෙත් මිනිස්සු. එළියෙත් මිනිස්සු. මිනිස්සු පීරගෙන මම ගල් ගුහාව අස්සට ගිහින් දැකපු දර්ශනයෙන් ගල් ගැහිලා නතර වුණා.

ගල් ගුහාවේ ඇතුළේ අර ලොකු මින් මැදුරු වල වගේ දැනුණු වීදුරුවක් නැති කවුළුවකින් මට පෙනුණේ මහ මුහුද.

හැබැයි අපි හැමදාම දකින මහ මුහුද නෙමෙයි. අඳුරු රැළි කුට්ටි කුට්ටි තැන් තැන් වල විහිදිලා තිබ්බා. රැළි කුට්ටි පොඩි පොඩි තැන් වල රැලි නගමින් තිබ්බා. මහා අමුතු ගුප්ත බයකින් මම වෙළිලා ගියා. මුහුද මට කතා කරනවා වගේ දැනුණ නිසා මම ළඟට වත් ගියේ නෑ.

අනිත් ක්ෂණයේ මම හිටියේ ගෙදර. ඒ කිව්වේ අපි ට්‍රිප් එක ගිහින් නැවතිලා හිටපු ගෙදර.

එතැනින් එහාට මතක මම ඇහැරිලා මගේ කාමරය ඇතුළට වැටිලා තිබ්බ ඉර එළිය දිහා බලන් ඉන්න එක විතරයි. සමහරවිට ඒ හීනෙට තේරුමකුත් ඇති. කවුද දන්නේ ඔව්වා.

මම ෆෝන් එක පැයක් විතර ඔබ ඔබ හිටියා. මම මේ දවස් වල ගහනවා ඉන්ෆිනිටි ලූප් කියලා ගේම් එකක්. ඒක හෙණ ආතල්. මහ දෙයක් නෑ. එක එක රවුම් බෝල බෝල පැටර්න් කුඩු පට්ටම් කරලා තියෙනවා. ඒවා එක පිළිවෙලකට කනෙක්ට් කරන්න තියෙන්නේ. දැන් මම ඉන්නේ 115 වෙනි පසල් එකේ.

පසල් කියලා සිංහලෙන් ලිව්වම කැතයි. ඉසෙඩ් අකුරට සිංහල අකුරක් තාම නැති එකේ අඩුපාඩුව ඔන්න ඕකයි.

කොහොම හරි මම නැගිටලා මැෂින් එක ඔන් කළා. අම්මගේ මහන මැෂිම නෙමෙයි, මගේ කම්පියුටර් එක. හදිස්සියට පාස්වර්ඩ් එක දෙපාරක් වරද්දලා ගහලා කොහොමහරි ඒකත් ඔන් කරගෙන මම ටයිප් කරන්න ගත්තා. සමහර විට ලියන වෙලාවට මම සිගරට් එකක් පත්තු කරගන්නවා. ඒකත් ඇවිල්ලා තියෙන්නේ ෆිල්ම් බලලම ද කොහෙද. ඉස්සර පිටු ගණන් ලියද්දි මම සිගරට් බොන එකක් කියලායැ.

දැන් කොහොමහරි සිගරට් එකත් ඉවරයි. තව එක සිගරට් එකක් ඉතුරුයි. දැන් මම කල්පනා කරන්නේ ඒක පත්තු කරනවද නැද්ද කියලා. මෙහෙම ලියන එකෙත් සීමාවක් එපැයි.

එක්කෝ ඒකත් පත්තු කරගන්නවා. මම රැවුළ කස කස පාරේ ගිය බයික් එකක සද්දෙට ඔළුව හැරෙව්වා.

© 2016 Pamuditha Zen Anjana