ස්වර්ණ

ලස්සන වැස්සක ආඩම්බර සද්දේ, සති ගාණක ඉඳන් රත් වෙලා තිබුණු වහළේ උඩ ආයෙමත් වැතිරෙනවා. මහා කාන්තාරෙක සාංකාවෙන් වේලිලා ඉරිතැළුණු හිත ඇතුළට ආයෙමත් ඔයා දිස්නේ දෙන හීනයක් වෙලා එබිකම් කරනවා. වමතේ දෑඟිලි මැද හුරතලේට ඇතිළ්ළෙන සිගරට් බට් එකෙන් ඇදෙන දුම අපිළිවෙලකට දෙතොල් තෙමනවා. මං දීප්තිමත් මන්දස්මිතයක් ඇඳගෙන පිළිවෙලකට ගුහාවෙන් එළියට අඩිය තියනවා.

පාරේ සැරට පත්තු වෙන ලයිට් එක අඹ කොළ අතරින් පෙරිලා ඇවිත් මූණ උඩ රටා මවනවා. ලයිට් එකයි ඒ ඇඳෙන ෆ්ලෙයාර්ස් ටිකයි එක්ක හැංගිමුත්තං කරන මං, ඉන්ඩී ෆිල්ම් එකක මේන් කැරැක්ටර් එක ඇක්ට් කරන්න පටන් ගන්නවා. ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරීස් දාන්න හිතාගෙන රෙකෝඩ් කරන වීඩි‍යෝ ඕනෑවට වඩා හිතීමේ ප්‍රතිඵල විදිහට ඩිලීට් වෙනවා. ටයිප් වෙන මෙසේජස් බැක්ස්පේස් වෙනවා. අඹ කොළ එක්ක හිතුමතේ සෙල්ලං කරලා පොළොවට ඇදගෙන වැටෙන වැහිබිංදු, බිම තියෙන කළු ගලින් ගලට පැනලා ඇවිදිං මගේ කකුල් තෙමනවා. මං වැඩිදුර නොහිතම වැස්සට මුළු හිස ම තියනවා. සීතල සියල් සියොලඟ ම වසාගෙන පැතිරෙද්දි නිරුවත් හිත ඇතුළේ ඉවසීමේ ගිනි පුපුරු විසිරෙනවා.

නිහැඬියාවේ මහා හුදෙකලාව නිවන්න, මගේ වටෙන්ම ඉස්පාසුවක් නැතිව කඩාගෙන ඇද වැටෙන තරු වැස්ස හුරුපුරුදු තාලෙකට රුකුල් දෙනවා. හුස්මකට වඩා ළඟ හිත් දෙකක්, විනාඩි විස්සක විතර ළඟක්, ආලෝක වර්ෂ විසිලක්ෂයක් තරම් ඈතින් දැනෙන්නේ කොහොමද කියලා අහන්න හිතාගෙන, මං මුළු මොළේම යොදවලා අයින්ස්ටයින්ගේ වළ හාරනවා. අයින්ස්ටයින් තියා උන්දැගේ හෙවණැල්ලක ඡායාවක්වත් හමු නොවුණම කවදත් කාටවත් නොබියව නැගී සිටින පර්වත පවා කුඩු වෙලා මහ පොළොව වැළඳගන්නවා. මහා ගස්, නොඑක් අතට විහිදුණු අතු පතර තළාපොඩි කරගෙන ම පොළවේ දිගාවෙනවා.

හීනේ හිමීට මකාගෙන, රස්නේ හිතට, හිමින් හිමින් තෙත හීතල එබිකම් කරනවා.

වැහිබිංදු දෙකම්මුල් හෝදගෙන පහතට ඇදෙනවා. දුමට වේලිච්ච දෙතොල් ළා ලුණු රහකින් පෙඟෙනවා. පාළුවෙන් තෙතබරියං වෙලා හීතල ඇණුන හිත ලෙඩගාණේ. හැමදාම වගේ එළිය මැකෙන්න නොදී පරිස්සමින් බලාගන්න දැල්ල සැඩ සුළඟට දුර්වල වෙලා දඟලනවා. වැලි කැට මහමෙරක් කරගන්න, තෙත වෙන හිතකට සැඩ සුළං මාරකයක් ලු. මාරයා මහා හඬින් හිනාවෙනවා.

ක්‍රමයෙන් වැස්ස වැඩි කරන්න ගන්නවා. අහස බෙරිහන් දිදී ඉකි ගසමින් හෝ ගාලා අඬනවා. මුළු ලෝකෙම තත්පර ගණනක් ඇවෑමෙන් වතුරෙන් යටවෙනවා. සැඩ සුළඟේ ඉහළ නගින ප්‍රාකාර වන් වූ රැළි අඩි දාස් ගණන් උඩට ඇදෙනවා. මං සුරතින් නහය තද කරගෙන හුස්ම අත් දෙකෙන්ම අල්ලගෙන ඉහළටම ඇදෙන ජල කඳක නොගිලී පීනන්න පුරුදු වෙනවා.

හදිසියේම, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිවම, මෙලෝ අනතුරු ඇඟවීමක් නොකරපු මුළු ලෝකෙම, අපි හැමෝටම උන්හිටිතැන් අහිමි කරගෙන එකපාරටම කණපිට හැරෙනවා.

සුදෝ සුදු පාටට හතර වටින්ම වැටෙන්න ගන්න හිම ඇතිරිල්ලට, ඔහේ අපිළිවෙලකට වගේ, නිල්ල මැකිලා යන්න ගන්නවා. යායට ඈතට විහිදුණු ධවල භීෂණය මැද්දෙන් අතරින් පතර එළියට එබෙන ලිලී මල් ඉඳහිටෙක හිනා වෙනවා. චරණයට ලැබුණු සීමා මැද්දෑවේ, වෙනදා වගේම තුරඟ තරඟ එක්ක ජීවිතය ඔහේ ගලාගෙන යත් දී, ඔයයි මායි දෙතැනක හිර වෙලා ඉන්නවා.

නිද්‍රා ශිශිරය කඳු ශිඛර මතිනුත් එබි එබී ලෝකයාට විරිත්තන්න ගන්නවා. අහස වෙළාගෙන හිටපු කළු වළාකුළු මුළු අහසම බර කරගෙන කවදා හරි අනෝරා වැස්සක් වෙලා කඩා වැටෙන්න කල්බලනවා. මහා නිහැඬියාවක බර දරාගන්න ඇට්ලස් යෝධයා පොළොව තව තදට බදාගෙන වැළඳගන්නවා. හිර කරන් ඉන්න බැරි හැඟීම්, හැඟවීම්, සැඟවීම් සියල්ල ම සමණල තටු වල ලියැවෙන්න, ඇඳෙන්න ගන්නවා.

ඔයා සමණලයින්ට ආස නෑ. මට ඒක හැමතිස්සෙම අමතක වෙනවා.

මතක ගොම්මන දියවෙලා ගිහිං සෞම්‍යදායක කළු එළිය ලෝකේ වෙලාගන්නවා. ඔහේ නිද්‍රාවේ නියැළෙන ධවල ඇතිරිල්ල කෙමෙන් කෙමෙන් ස්වර්ණ පැහැයෙන් දිළිසෙන්න ගන්නවා. අමාරුවෙන් හිනාවක් මූණේ ඇඳගන්න මං පෙති ගණින්න හිතාගෙන, හිනාවෙන ලිලී මල් හොයාගෙන, ධවල ඇතිරිල්ල දිගේ අනන්තයට ඇවිදං යනවා.

© 2021 Pamuditha Zen Anjana