ස්වර්ණ

ලස්සන වැස්සක ආඩම්බර සද්දේ, සති ගාණක ඉඳන් රත් වෙලා තිබුණු වහළේ උඩ ආයෙමත් වැතිරෙනවා. මහා කාන්තාරෙක සාංකාවෙන් වේලිලා ඉරිතැළුණු හිත ඇතුළට ආයෙමත් ඔයා දිස්නේ දෙන හීනයක් වෙලා එබිකම් කරනවා. වමතේ දෑඟිලි මැද හුරතලේට ඇතිළ්ළෙන සිගරට් බට් එකෙන් ඇදෙන දුම අපිළිවෙලකට දෙතොල් තෙමනවා. මං දීප්තිමත් මන්දස්මිතයක් ඇඳගෙන පිළිවෙලකට ගුහාවෙන් එළියට අඩිය තියනවා.

පාරේ සැරට පත්තු වෙන ලයිට් එක අඹ කොළ අතරින් පෙරිලා ඇවිත් මූණ උඩ රටා මවනවා. ලයිට් එකයි ඒ ඇඳෙන ෆ්ලෙයාර්ස් ටිකයි එක්ක හැංගිමුත්තං කරන මං, ඉන්ඩී ෆිල්ම් එකක මේන් කැරැක්ටර් එක ඇක්ට් කරන්න පටන් ගන්නවා. ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරීස් දාන්න හිතාගෙන රෙකෝඩ් කරන වීඩි‍යෝ ඕනෑවට වඩා හිතීමේ ප්‍රතිඵල විදිහට ඩිලීට් වෙනවා. ටයිප් වෙන මෙසේජස් බැක්ස්පේස් වෙනවා. අඹ කොළ එක්ක හිතුමතේ සෙල්ලං කරලා පොළොවට ඇදගෙන වැටෙන වැහිබිංදු, බිම තියෙන කළු ගලින් ගලට පැනලා ඇවිදිං මගේ කකුල් තෙමනවා. මං වැඩිදුර නොහිතම වැස්සට මුළු හිස ම තියනවා. සීතල සියල් සියොලඟ ම වසාගෙන පැතිරෙද්දි නිරුවත් හිත ඇතුළේ ඉවසීමේ ගිනි පුපුරු විසිරෙනවා.

නිහැඬියාවේ මහා හුදෙකලාව නිවන්න, මගේ වටෙන්ම ඉස්පාසුවක් නැතිව කඩාගෙන ඇද වැටෙන තරු වැස්ස හුරුපුරුදු තාලෙකට රුකුල් දෙනවා. හුස්මකට වඩා ළඟ හිත් දෙකක්, විනාඩි විස්සක විතර ළඟක්, ආලෝක වර්ෂ විසිලක්ෂයක් තරම් ඈතින් දැනෙන්නේ කොහොමද කියලා අහන්න හිතාගෙන, මං මුළු මොළේම යොදවලා අයින්ස්ටයින්ගේ වළ හාරනවා. අයින්ස්ටයින් තියා උන්දැගේ හෙවණැල්ලක ඡායාවක්වත් හමු නොවුණම කවදත් කාටවත් නොබියව නැගී සිටින පර්වත පවා කුඩු වෙලා මහ පොළොව වැළඳගන්නවා. මහා ගස්, නොඑක් අතට විහිදුණු අතු පතර තළාපොඩි කරගෙන ම පොළවේ දිගාවෙනවා.

හීනේ හිමීට මකාගෙන, රස්නේ හිතට, හිමින් හිමින් තෙත හීතල එබිකම් කරනවා.

වැහිබිංදු දෙකම්මුල් හෝදගෙන පහතට ඇදෙනවා. දුමට වේලිච්ච දෙතොල් ළා ලුණු රහකින් පෙඟෙනවා. පාළුවෙන් තෙතබරියං වෙලා හීතල ඇණුන හිත ලෙඩගාණේ. හැමදාම වගේ එළිය මැකෙන්න නොදී පරිස්සමින් බලාගන්න දැල්ල සැඩ සුළඟට දුර්වල වෙලා දඟලනවා. වැලි කැට මහමෙරක් කරගන්න, තෙත වෙන හිතකට සැඩ සුළං මාරකයක් ලු. මාරයා මහා හඬින් හිනාවෙනවා.

ක්‍රමයෙන් වැස්ස වැඩි කරන්න ගන්නවා. අහස බෙරිහන් දිදී ඉකි ගසමින් හෝ ගාලා අඬනවා. මුළු ලෝකෙම තත්පර ගණනක් ඇවෑමෙන් වතුරෙන් යටවෙනවා. සැඩ සුළඟේ ඉහළ නගින ප්‍රාකාර වන් වූ රැළි අඩි දාස් ගණන් උඩට ඇදෙනවා. මං සුරතින් නහය තද කරගෙන හුස්ම අත් දෙකෙන්ම අල්ලගෙන ඉහළටම ඇදෙන ජල කඳක නොගිලී පීනන්න පුරුදු වෙනවා.

හදිසියේම, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිවම, මෙලෝ අනතුරු ඇඟවීමක් නොකරපු මුළු ලෝකෙම, අපි හැමෝටම උන්හිටිතැන් අහිමි කරගෙන එකපාරටම කණපිට හැරෙනවා.

සුදෝ සුදු පාටට හතර වටින්ම වැටෙන්න ගන්න හිම ඇතිරිල්ලට, ඔහේ අපිළිවෙලකට වගේ, නිල්ල මැකිලා යන්න ගන්නවා. යායට ඈතට විහිදුණු ධවල භීෂණය මැද්දෙන් අතරින් පතර එළියට එබෙන ලිලී මල් ඉඳහිටෙක හිනා වෙනවා. චරණයට ලැබුණු සීමා මැද්දෑවේ, වෙනදා වගේම තුරඟ තරඟ එක්ක ජීවිතය ඔහේ ගලාගෙන යත් දී, ඔයයි මායි දෙතැනක හිර වෙලා ඉන්නවා.

නිද්‍රා ශිශිරය කඳු ශිඛර මතිනුත් එබි එබී ලෝකයාට විරිත්තන්න ගන්නවා. අහස වෙළාගෙන හිටපු කළු වළාකුළු මුළු අහසම බර කරගෙන කවදා හරි අනෝරා වැස්සක් වෙලා කඩා වැටෙන්න කල්බලනවා. මහා නිහැඬියාවක බර දරාගන්න ඇට්ලස් යෝධයා පොළොව තව තදට බදාගෙන වැළඳගන්නවා. හිර කරන් ඉන්න බැරි හැඟීම්, හැඟවීම්, සැඟවීම් සියල්ල ම සමණල තටු වල ලියැවෙන්න, ඇඳෙන්න ගන්නවා.

ඔයා සමණලයින්ට ආස නෑ. මට ඒක හැමතිස්සෙම අමතක වෙනවා.

මතක ගොම්මන දියවෙලා ගිහිං සෞම්‍යදායක කළු එළිය ලෝකේ වෙලාගන්නවා. ඔහේ නිද්‍රාවේ නියැළෙන ධවල ඇතිරිල්ල කෙමෙන් කෙමෙන් ස්වර්ණ පැහැයෙන් දිළිසෙන්න ගන්නවා. අමාරුවෙන් හිනාවක් මූණේ ඇඳගන්න මං පෙති ගණින්න හිතාගෙන, හිනාවෙන ලිලී මල් හොයාගෙන, ධවල ඇතිරිල්ල දිගේ අනන්තයට ඇවිදං යනවා.

© 2021 Pamuditha Zen Anjana

රෝස

රෝස පාට මල් පොළවට වැටෙන්න ගත්තා. රෝස මල් නෙමෙයි, රෝස පාට මල්. ලෝකේ තියෙන රෝසම පාට රෝස මලටත් වඩා තද රෝස පාට ඒ මල් පෙතිවල, සියුම් රශ්මියෙන් බැබළෙන රන් කෙන්ඳෙන් කේශනාලිකා රටා ඇඳිලා තිබුණා. වැටෙමින් තිබ්බ මල් කන්දරාව, අකාලෙට වැටුණු අනෝරා වැස්සක් වගේ මං වටේටම පොළවෙ හිස් ඉඩේ වැතිරිලා, නෝවාගේ මහා ගංවතුර වගේ මාව වහගෙන ඉහළ නැගෙන්න ගත්තා.

නොහිතපු මොහොතක, තත්පරයට කිලෝමීටර් අසූහාරලක්ෂයක ආලෝක වේගයෙන් විශ්වය ඔස්සේ ඇදීගෙන ආපු උල්කාපාතයක්, මල් මැදින් එබිකම් කරලා මගේ හිත ඇතුළට කිඳා බැහැලා පත්ළක නිදන්ගත වුණා. රුධිර නාළිකා ඔස්සේ එතෙක් තටු සළමින් ඔහේ ඒ මේ අත යමින් හිටපු සමණල්ලු හදිසියේ අත්තටු කැරැල්ලක් පටන් අරගෙන තිබුණා. ඒ අත්තටු වල ප්‍රවේගයටද මංදා අහස උසට නැගුණු මල් වතුරේ මං හෙමින් හෙමින් පාවෙලා අහස කරා නැගුණා. හුස්මක වියැකීමත් එක්ක හෘද පේශී මත්තට හදිසියේ ම විදුලි කොටන්න පටන් ගත්තම, එපමණ කාලයක් එළියේ නිද්‍රාශීලීව උන්නු රෝම කූප උද්ගමනය වුණා. හරියටම ඊට ප්‍රතිචාර දක්වන්නා වගේ, පහතරට තාලෙට අඩි තියමින් මං අවට නටමින් හිටිය සුමුදු සුළං රැළි කැළඹිලා සැඩ සුළං බවට පත්වුණා.

හිත වටේට හදලා අතෑරලා දාලා, ගරා වැටෙමින්, පාසි බැඳෙමින්, නටඹුන් වෙමින් තිබුණු මහා ප්‍රාකාර ශේෂයන් අළු බවට රූපාන්තරණය වෙලා ඒ ධාරාණිපාත හුළඟට ගහගෙන යත් දී නිල් අහස කළු වළාවන්ගෙන් වැහිලා මිරිකිලා, හදිසි සතුට නිසා ම හෝ ගාලා අඬා කඩාගෙන වැටෙන්න ගත්තා.

ලෝකෙම අල්ලගන්න පුළුවන් තරම් ඈතට විහිදලා දිගු කරගත්ත දෑතින් මං ඈ තරයේ වැළඳ ගත්තා. ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් තරම් ම සුමුදු ව සුසිනිඳු රෝස මල් පෙති මත මගේ මුළු හිතම ඇතිරුවා.

ඈ හිනා වුණා.

රහසින්. නොරහසින්. විශ්වයේ නොදන්නා කෙළවරවල් පවා එළිය කරගෙන ඈ හිනා වුණා. අපි දිහාටම ඇස් තියාගෙන හිටපු දිව්‍යලෝක පවා කුතුහලයෙන් ලජ්ජාවෙන් ඇඹරුණා. නිරාමිස සුවයෙන් ඉතිරෙන දිව්‍යමය ආශිර්වාද සංගීත කණ්ඩායම් වාතලය ගිගුම් දෙමින් තාලෙකට වයලීන් ගහන්න පටන් අරන් තිබුණා.

ක්ෂණයක ඇවෑමෙන් දැවෙන ඉර, මල්වතුරේ ගිලී මියැදී, සෞම්‍ය වූ රාත්‍රිය එළැඹුණා.

අමාවක කළුවරට රහසින් එළිය දෙමින්, මොහොතකට වත් බාධා නොකර හොරෙන්ම අපි දෙන්නා වටේ රටා අඳිමින් ඉඟි කරපු කණාමැදිරි රෑන් පිටින් අහසට නැගලා තරු එක්ක එකතු වුණා. නිවෙන දැල්වෙන තාරකා කණාමැදිරි එළි පිරුණු අහස දිහා ම බලාගෙන, කාලෙකට කලින් මියැදුණු පොළවක් මත, නැවත වතාවක් ආසාව දළුලන්න පටන් ගත්තා. හේදිලා පාළුවට ගිය ශිෂ්ටාචාරයන් මත ගැටුණු දෙව්මිනිස් සතුටු සංග්‍රාම මැද ආදරය ඉසියුම් ලතාවකට රළ නගමින් වෙරළ මත වැතිරුණා.

අපි හිටියේ අහස පුරා දිළුණු තරු ඇඟිලි තුඩින් නෙළමින්, හුස්ම මතින්, හුස්ම මගින්, එකිනෙක යාකරලා අපූර්ව තරුරටා මවමින්. ඒ තරු එළියට කාලාන්තරයක් තිස්සේ හුදෙකලාවට දුර්වර්ණ වෙමින් තිබුණු බිතුසිතුවම් මැකිලා වාෂ්පවෙලා ගියා. පට්ට රස්නෙට පුපුරා ගියපු සුපර්නෝවා නිසා, අහසේ ඇඳි තරුරටා, දිදුළන රත්‍රන් පැහැයෙන් දිය වෙලා, මගේ නහරයක් නහරයක් පාසා ගලාගෙන යන්න පටන් ගත්තා. කැරැල්ල මැද්දේ බචාටා පුරුදු වෙමින් හිටපු සමණල්ලු තාරකා දියරෙන් නැහැවිලා රෝසරන් පැහැයට හැරුණා.

මං එතකොටත් ඈ දෙනෙත් මත අනිමිස ලෝචනයක් වෙමින් ගැඹුරට පීනමින් හිටියේ.

පැත්තක ඉඳන් මට කතා කළේ මගේ ඉපැරණි මිත්‍රයා, දාවිත්. තාත්තගේ ගිණි පෙට්ටියේ හිටපු සුදු කැරපොත්තා. මට උගේ හඬ ඇහුණේ අතීතය හරහා හමා ආපු බටනලා රාවයක් වගේ. ඌත් එක්ක කරට අත දාගෙන හිටියේ රොබට්. ඌ උගේ ඔළුවටත් වඩා ලොකු පාට පාට තටු දෙක වන වන හෙණ සන්තෝසෙන් හිනා වුණා. උං දෙන්නගේ වටේ පියාඹමින් හිටියේ කාලෙකදි නාවුකයෙක් වෙලා හිටිය මට, මං සළකුණු පෙන්වපු තටු සිඳුණු වැහි ලිහිණියා. උගේ තටු ආයේ ලැබිලා කියලා තේරුණාම මාත් සන්තෝසෙන් ඉපිළුණා. උං ඔක්කෝම මං ගැන සන්තෝස වෙද්දි මං උං ගැන සන්තෝස වුණා.

පෙර සූදානමකින් තොරව ඊළඟට එළැඹුණේ කුරිරු ශීත කාලය. නිද්‍රා ශිශිරය අපිට නොදන්වා ම පොළෝ තලය මත ඇඳෙන්නට වුණා. සියල්ලෝම අකමැත්තෙන් වුණත් ශිශිරතරණය කරන්න ගුහා වල හැංගිලා ගුලි වෙත් දී, අවට ඔක්කෝම සුසුදු පැහැති සීතලෙන් වෙළිලා යත් දී, අපි විතරක් එකිනෙකාගෙ උණුසුම අස්සේ හැංගිලා කාළ තල දර්පණ ඔස්සේ කාලයත් එක්ක තුරඟ තරඟ වල නියැලුණා.

ලොක්ඩවුන් රේස් එක පුදුමාකාර තරම්, තරණයට නොහැකි තරම් දිගයි. තනි නොතනි හිතකට නොහිතෙන තරම් දුරයි. සෘජු කශේරුකා ඇද වෙන තරම් වේගෙන් කඩාගෙන එන මළකඩ හුළං පාර සැඩ යි. ඇබ්බැහි ය හුස්ම ට වඩා ළඟයි.

හුදෙකලා සයනය පට්ට ම පාළුයි.

පැත්තකට කරලා තිබ්බ කොට්ටයක් බදාගත්තු ම‍ං ආයේ ඔයාව හැබැහින් දකින්න දින ගණන් කළා.

© 2021 Pamuditha Zen Anjana

ආලෝක වැස්ස

එළියේ නොකඩවා වහිනවා. ඊයේ පාන්දර ඉඳන් දවසම එළිය කරපු වැස්ස තාමත් අහස් කළුවරේ පොළව තෙමනවා. අපි කතා කරලා ඉවරවෙලා, විනාඩි තුන්සිය ගාණක් විතර දැනට අපිව පහු කරන් ගිහිං ඇති. ඒත් දැනටත් ඔය ලස්සන කටහඬ මගේ හිත ඇතුළේ දෝංකාර දෙනවා. ඔය හිනාව දෙඇස් වෙරළේ හසරළරැළි අතුරනවා. කිලෝමීටර් ගාණක් ඈතින් වැස්සේ සද්දේ අහගෙන සීතලට ගුලි වෙලා දෙතැනක ඉන්න අපි තව තවත් ළං වෙනවා.

තෙත වහලෙට, එළියේ අඹ ගහේ කොළ මත්තට, ඇදගෙන වැටෙන වැහි බිංදු, මේ අපූරු පාළුව දිය කරලා දාන්න ට්‍රයි කරනවා.

මං විටින් විට ෆෝන් එක දිහා බලනවා. වෙනදට ෆෝන් එක සයිලන්ට් කරලා පැත්තක දාලා ඉන්න මං, නැවත නැවතත් ෆෝන් එක දිහා බලනවා. නිකං හරි සද්දේ ඇහුණේ නැත්තං කියලා ඩබල් ටැප් කරලා ස්ක්‍රීන් එක ඔන් කරලත් බලනවා.

නොටිෆිකේෂන් එකක් වත් නෑ.

මං ආපහු පීසී එකේ ස්ක්‍රීන් එකට එබෙනවා. සුදු පාට එළිය හොයාගෙන ඇවිත් ස්ක්‍රීන් එක පුරා ඇවිදිමින් ඉන්න කළු පාට කුරුමිණියෝ ස්ක්‍රීන් එකේ පැත්තක වචන මවනවා. මගේ හිත නොනවත්වා ආලෝක වේගයෙන් වැඩ කරනවා. හිතෙන දේවල් පිළිවෙලකට, එහෙමත් නැත්නම් අපිළිවෙලකට ස්ක්‍රීන් එකේ ලියවෙන්න ගන්නවා. මං තව තවත් සීරුවෙන් ඔය හිත ළඟට, හදගැස්මක් දුරට ළං වෙනවා.
අසුරු සැණකින් එබිලා අතුරුදන් වෙන අකුණු සැර ඇස් නිලංකාර කරනවා. අහස සාංකාවට ගොරවනවා. බැක්ග්‍රවුන්ඩ් එකේ ලෝෆයි ප්ලේලිස්ට් එකක් රහසින් වගේ කොඳුරනවා.

එතන ඉඳන්, ඔය අතැඟිලි මගේ අතැඟිලි අස්සේ සෙල්ලං කරනවා. රහසින් වගේ එකිනෙක පැටළෙනවා. පාන්දර වැටෙන හුස්ම පොදින් පොද මගේ හිතේ රිද්මෙට සමපාත වෙනවා. මතක වළාකුළු උනුන් මත දැවටෙනවා. වළාකුළු අස්සේ හැංගිලා මියැදෙන තරු අපිට ඉඟි කරනවා. දෑසින් දෑසට විදුලි එළි දැල්වෙනවා. ඔය දෙලවන් තාලෙකට දිදුළනවා.

ඊළඟ සැණෙලියේ;

විශ්වය පුරාවටම මන්දස්මිත පැතිරෙනවා.

මං ගුහාවෙන් එළියට ඇවිත් වැහි බිංදු අස්සේ ඔයාව හොයනවා. අඹ ගහේ කොළ අතරින් එබෙන සැර ලයිට් එළිය, ඔහේ පියාඹන්න හදන මාව ආපහු පොළවට ඇදගෙන එනවා. සමහරවිට ඔත්තේ ඉරට්ටේ නොතේරී සිගරට් එළි දැල්වෙනවා. නිකටින් ෆිල්ටර් කරලා එළියට එන හුස්මත් එක්ක හිතේ දුම පිටවෙනවා. ඔයා පා තුඩු අගින් මන්දාරමේ දුර මනිනවා. රස්නේ දුම අස්සෙන් රිංගලා ඉඳහිට ඇඟ සිපගන්න වැහි වතුරේ සීතල නැතිවෙලාම යනවා.

හදිසියේම නොටිෆිකේෂන් ටෝන් එක ඇහෙනවා. මං ඇහිපිල්ලමක ඇවෑමෙන් ෆෝන් එකට එබෙනවා.
ඒක ඔයාගෙන් නෙමෙයි.

සීතලට ගුලි වෙලා ඔයා නිදි ඇති.

අපි හෙට ඇහැරෙද්දිත් වහියි. ඇහැරිලා කතා කරද්දිත් වහියි. මෙහෙම එක දිගට වහින එක හොඳයි. වැස්ස කොහොමත් ලස්සනයි.

මං නිදාගන්න යනවා.

(2021. 06. 04)

© 2021 Pamuditha Zen Anjana

කළුවර සඳ

මගේ ඇස් වලින් ලේ ගැලුවා

ඒ ලේ
ඇළි ගංගා වෙලා මුහුදක් තරම් පිරිලා
මහාද්වීප වට කරගත්තා

හදිසියේම
උගුර කසන්න ගත්තම
මං හයියෙන් කෑරුවා

උගුර අස්සෙං තෙරපි තෙරපි
අමාරුවෙන් රිංගලා එළියට ආපු කාක්කෙක්
පියාඹන ගමන් ගර්ජනා කරා

පපුව අස්සේ මොකෙක් නමුත් පහුරු ගානවා
රිදිල්ල දරාගන්න බැරුව මං ඔළුව පොළේ ගැහුවා
ආයේ උගුර පිම්බෙනවා දැනුණම
මං හිතුවා ආයේ කාරනවා කියලා

“ක්‍රාක්” ගාලා කාරද්දි
බිලියන ගාණක් කාක්කෝ
පුදුමෙට ඇරිච්ච කටින් පියාඹලා ගිහිං
අහස රතුකළු කරගත්තා

උංගේ පිහාටු වල ගෑවිලා තිබ්බ
මගේම ලේ
අනෝරා වැස්සක් වෙලා
මාවම තෙමාගෙන
පොළවට ඇදගෙන වැටුණා

ඒ ලේ කළුවරේ
මං
ආයේ මුහුද හොයාගෙන ගියා
මගේම ලේ වලිං හැදිච්ච මුහුදේ
මං පීනුවා

මුහුද හදිසියෙම ගඟක් වෙලා
උඩුගං බලා එවරස්ට් නගින්න ගත්තා
කොච්චර දුර පීනගෙන ගියත්
මට මගේ හිත හොයාගන්න බැරිවුණා

කමක් නෑ..

මං හිතන්නේ ඒක තාම ඔයා ගාව
ඔයා ඒක පරිස්සමට තියාගන්න
පීන පීන හිස් තැනක බිත්ති පහුරු ගාපු
තෙස්ට්‍රල් සතෙක්ට හායි කියාගෙන
මං මගේ උගුරෙන්ම එළියට පියෑඹුවා

එළියේ කන්ද උඩට
හරි ලස්සනට හඳ පායලා තිබ්බා
ඒ හඳ එළිය මට පාර හොයාගන්න උදව් කරයි

දැනට මට ඒ ඇති.

© 2021 Pamuditha Zen Anjana

වෙලාව එකයි එකොළහයි

එළියේ වහිනවා. ඔයාව මට මතක් වෙනවා. අවුරුදු ආලෝක වර්ෂ ගාණක් ඔයා මට කතා කළේ නෑ. නෑ කතා කරනවා. ඒත් ඒ ඔයා නෙමෙයි. ඔයා හදාගත්තු වෙන මනුස්සයෙක් ද කොහෙද. මට හිතෙන්නේ එහෙමයි. එක්කෝ මං දන්නේ එහෙමයි.

ඒක එහෙම නෙමෙයි වෙන්න ඇති. ඒ ඔයාම වෙන්න ඇති. මට ඒ දෙකම එකයි. හැබැයි ඒ දෙක දෙකක්. මොන විදිහෙන්, මොන රූපෙකින් ආවත් ඔය ලස්සන විශ්වයට මං ආසයි. අත් නොහැර හුස්මක් තරම් ම ළඟින් තියාගන්න තරම් ආදරෙයි.

ඒත් එළියේ අකුණු ගහනවා. අහස අඬනවා. බැරි ම තැන ගොරවනවා. ඇයි මං ඔයා ගාව නැත්තේ කියලා ගෝරනාඩු කරනවා. මාව ම ප්‍රශ්න කරනවා. අඬන්න බැරි තැන මං වහිනවා.

අද ගෙදර ආවේ සෑහෙන වේලාසනින්. මංදා ඇයි කියලා. බියර් එකයි ගල් බාගෙට පස්සේ බාර් එකෙන් එළියට බහිද්දිත් වහිනවා. ඇරලා තිබ්බ හෝටලෙන් කෑම ගනිද්දිත් වහිනවා. ගෙදර ඇවිත් කෑම තියලා තිබ්බ නිසා හෝටලෙන් ගත්තු එක ෆ්‍රිජ් එකට දාන්න කියලා අම්මව ඇහැරවද්දිත් වහිනවා. සතියකට කලින් හෝදන්න දාලා වහලා දාපු රෙදි කූඩයක් උඩ නෑඹිලියකින් වහලා තිබ්බ කෑම එක අතට ගනිද්දිත් වහිනවා. නෑඹිලිය එතනින්ම තියලා කන්න කියලා හිතාගෙන අරං ආපු කෑම එක කී බෝඩ් එක ළඟ තියාගෙන මේක ටයිප් කරද්දිත් වහිනවා.

කොච්චර වැස්සත් මේක අනෝරා වැස්සක් නෙමෙයි. ඔයා වගේම මල් වැස්සක්. හිත නිවන තැනක්.

මං වැස්සට පට්ට ආසයි. ඔයත් එහෙමයි. ඒ වුණාට ඔයා මට ආස නෑ. මට මුලිං හිතුණේ එහෙමයි. නෑ. ඔයා මට ආසයි. මං ඔයාට ආදරෙයි. ආදරේ, ආසාව මාරයි. ඒක එහෙමයි. අපේ කතාව වැස්ස පොළවට ඇදගෙන වැටෙනවා වගේ ම ලස්සනයි.

මං ඔයා ගාවට ඇදගෙන වැටුණද ඔයා මං ගාවට කඩාගෙන වැටුණද මං දන්නෑ. මං ඒක හොයන්නෙත් නෑ. මට ඒක කොහොම වුණත් ලොකු වෙනසක් නෑ. එකම දේ ඔයා මං ළඟ නිසා.

ඒක කවදාහරි එහෙම නොවෙන තැනකට ගියොත්…, ඕන්නෑ! ඒක දැම්ම ඔළුවේ ප්‍රෝසස් කරගන්න ඕන දෙයක් නෙමෙයි. මොළේට අගුළු දාන්න බෑ තමයි. ඒත් මොළේ ඉග්නෝ කරන්න පුළුවන්. මොළෙන් සතපහක වැඩක් නෑ.

හැබැයි හිත…

හිතට මොකුත් කියන්න බෑ. හිත ඕන වෙලාවක හරි. ඒක එහෙමයි. කවුරු හරි එහෙම නෑ කියන්න ලෑස්ති නං මං ලෑස්තියි ඒ මොහොතේ ඉඳං ලෝකේ කෑලි කෑලි වලට කීතු කීතු වෙන්න කුඩුපට්ටං වෙලා සුන්නද්ධූලි වෙලා යනකං ඌත් එක්ක ද්වන්ධව සටනකට යන්න. ඒ කිව්වේ ෆේස් ටු ෆේස් ගේමක්. ෆේස් ඕෆ් එකක්. මං ඒකට බය නෑ.

හැබැයි ලෝකේ වැඩකරන්නේ එහෙමම නෙමෙයි. ඔයා මං ළඟ නෑ. මං ඔයා ළඟ නෑ. මේ ලියන දේවල් මට වාරු නෑ. හරියටම එළියේ වැස්ස වගේ. බාගෙට වැදිලා අකුරු අමුණලා වචන ගොතලා හිතන දේවල් මවන දේවල් කීස් ඔබලා ටයිප් කරලා දාද්දී, ඇත්ත මොකද්ද බොරුව මොකද්ද ඇත්තයි බොරුවයි මැද්දේ තියෙන හැඟීම්, හැඟවීම් මොනවද කියලා තේරෙන්නේ නැතුව යනවා. ලස්සන දේවල් මිස් වෙලා යනවා.

අකුරු, වචන, වාක්‍ය, ඡේද බොඳ වෙලා යනවා.

ඉතිං මං ලස්සන දේවල් විතරක් ම හිතනවා. අනිත්වා ලෝකෙට භාරගන්න දෙනවා. උං ඒවා බලාගත්තාවේ. ඒවා මගේ ප්‍රශ්න නෙමෙයි. මං හැමදාම කිව්වා වගේ ඒවා ඔයාගේ ප්‍රශ්නත් නෙමෙයි. කාලයයි, ලෝකයයි, ඒවා ගැන වොරි වෙන අනිත් උනුයි ඒවා බලාගත්තා වේ.

මේ ලියන හැම දේම තාලෙකට හිත පුරා ප්ලේ වෙන්න ගන්නවා. ඒක හරියටම මේ වෙලාවෙ බැක්ග්‍රවුන්ඩ් එකෙන් ප්ලේ වෙන සිංදුවට සර්වසමපාත වෙනවා. ඒක මාරයි. ඔව්. මේ වෙලාවේ ප්ලේ වෙන්නේ – තඩි අකුණක් ගැහුවා ඇස් නිලංකාර වෙන්න, හැබැයි ගෙරවිල්ල සුමුදුයි. අකුණ සැරයි, ගෙරවිල්ල මුදුයි. ඒකත් ඔයා වගේ ම තමයි.

මං කිය කිය හිටියේ මේ වෙලාවෙ ප්ලේ වෙන සිංදුව. වැස්ස වහළෙට වැටෙන හීන් සද්දෙත් එක්ක, බෙන් ලෝන්කල් සෝල් ගේ “ඇඩික්ටඩ්” ප්ලේ වෙද්දි, මං මෙහෙම ඔයා ගැන හිතනවා.

මේ වෙලාවේ ඇත්තම ප්‍රශ්න වෙන මොනාවත්ම නෙමෙයි.

ඔයා මේ වෙලාවේ මං ගැන හිතනව ද? මේ වෙලාවේ ඔයත් සිංදුවක් අහනව ද? ඔයා ඉන්න තැනටත් මේ වෙලාවේ වහිනව ද?

මත් වෙලා අපි මත්තේ වැතිරෙන, ඉසියුම් ව වහළේ අඩි තියන, වැස්සත් එක්ක මාව මතක් වෙනව ද?

© 2021 Pamuditha Zen Anjana

සප්‍රාණික

මං පිම්බුවා බැලුමක්. ඒක රතුපාටයි. පිම්බෙන්න පිම්බෙන්න ජබ්බේ වෙන බැලුම දිහා ඈතින් බලං හිටපු ඉරේ රස්නේ වැදිලා, රතු පාට බැලුම සුදු පාටට දිළිසෙන්න ගත්තා. ඉර සුදු පාට නං ඇයි ලංකාව කහ පාට? ලංකාවට පේන ඉර කහ පාට නම් ඇයි නුවර සීතල එළිය කැමරාවට සුදු පාට. ඕක මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක්. හරියට ගත්තොත් ප්‍රහසනයක්. ඒ කිව්වේ කොමඩියක්. කොමඩියට සිංහලෙන් කියන්නේ ප්‍රහසනය. හරියටම ෂුවර් නෑ. හැබැයි මතක විදිහට ඒක තමයි වචනේ. ඒක කොමඩියක් වෙන්නේ මං කළු නිසා. කළු. දුඹුරු. තළෙලු. මෙලනින්. මංදා. මට පාට හරියට පේන්නෑ. පේන්නෑ නෙමෙයි තෝරගන්න තේරෙන්නෑ.

කහ පාට ඉර එළියට කළු පාට තව තද වෙනවා. මළ පනිනවා. රස්නේ උරාගන්නවා. රස්නේ උරන්න උරන්න තව මළ පනිනවා. මේ වගේ විසිහතර පැයේ ඉර පායන රටක, කළු හමක් තියෙනවා කියන්නේ තනිකර බ්ලැක් හෝල් එකක්. මළේ තරම හිතාගන්න වෙනවා. මං එච්චර කළු නෑ. ඒ නිසා ෂේප්.

ෂේප් නිසා මං බැලුමක් පිම්බුවා. ඒකත් මහ දවල්. ඒකයි ඔච්චර දිළිසුම. බැලුම දුන්නේ පොලිසියෙන් නෙමෙයි. මං හිටියේ බීලත් නෙමෙයි. හැබැයි බැලුමේ පාට වෙනස් වුණා. ඒ එක්කම එයාගේ ඇස් දෙකත් වෙනස් වුණා. මෙච්චර වෙලා මං දිහා සනීපෙට බලාගෙන හිටපු ඇස් දෙක හීනි වුණා. චීන වුණා. ගංජා ගැහුවම වෙනවා කියනවා වගේ රතු වුණා. අල්ලන්න පොලිසියෙන් නොහිටියට චෙක් කරන්න එයා හිටියා. එයා කිව්වේ එයාට. එයා ලස්සනයි.

ලස්සනයි කිව්වට බුදු අම්මෝ ලස්සනක් නෙමෙයි. පොඩ්ඩක් කියුට්. කියුට් කියන්නෙ හුරුබුහුටි නෙමෙයි. ඒ සිංහලයොංගෙ බොරුවක්. උං ඉංග්‍රීසි වචනවලට පට්ට බොරු තේරුම් දෙනවා. ඉංග්‍රීසියෙන් කිව්වම ෆීල් වෙනදේ ලොවෙත් ෆීල් නොවෙන පට්ට ගොබ්බ වචනයක් අර ඉංග්‍රීසි වචනය වෙනුවට වද්දගන්නවා. ආදේශ කරගන්නවා. ඊට පස්සේ ඒක නෙමෙයි මේක කියාගෙන මැරෙන්න හදනවා. ඉතිං හෙණ පෝසත් භාෂාවක් ලු. එක්කො මං භාෂාව දන්නෑ. එක්කො උං ෆීලිංස් දන්නෑ. මං කැමතියි දෙවනි එක ඇත්ත කියලා හිතන්න.

ඇත්ත කියන්නේ ගොඩක් වෙලාවට හැමෝගෙම බොරුවක්. බොරුව කියන්නේ සමහරවෙලාවට උඹේ ඇත්තක්. බොරුවයි ඇත්තයි කියන්නේ සමහරවෙලාවට තේරුමක් නැති වචන දෙකක්.

එයාට කොල්ලෙක් ඉන්නවා. නෙමෙයි, මං එහෙම හිතනවා. මොකද මට ලේසියි. සෙකන්ඩ් තර්ඩ් ස්ටෙප්ස් ඕන්නෑ. කෙලිම්ම පළවෙනි ස්ටෙප් එක. මං එයාට කැමතියි. එච්චරයි. එයා මට කැමතිද කියන එක දැනගන්න හිතන එක දෙවනි සෙටෙප් එක. එයාගෙ අදහස දැනගන්න එක තර්ඩ් ස්ටෙප් එක. පඩිපෙළේ මම නගින්නේ පඩි දෙකතුනක් එක පාර. හැබැයි මං ඇවිදින්නේ එක තැන. ට්‍රෙඩ් මිල් එකක් උඩ. පළවෙනි පඩිය තමයි අර ට්‍රෙඩ් මිල් එකේ බෙල්ට් එක වගේ කැරකිලා ආයෙමත් උඩට එන්නේ. ට්‍රෙඩ් මිල් එකට වඩා එස්කලේටර් එක හොඳ උදාහරණයක්. ඒත් දැං ආයෙත් උඩ ඉඳං හදන්න කම්මැලියි.

මං පට්ට කම්මැලියෙක්. කාලකණ්ණියෙක්. කාලකණ්ණියෙක් කියන්නේ නරක දෙයක් නෙමෙයි. උං කියන විදිහටම උඹ ඉන්නෝන කියලා එකක් නෑ. කාලේ කන එකත් වැඩක් තමයි. නිකංම නිකං මිනිහෙක්ටත් එහෙම ලේසියෙන් කාලේ කන්න බෑ. බොරුනං සද්දයක් වත් නෑහෙන්න සීල් කරපු එළිය බිංදුවක් නැති තනිකර කළුවර කාමරේක කොච්චර කල් මොකුත් නොකර ඉඳං ඉන්න පුළුවන් ද බලපං. නෑ නිකමට හිතලා බලහං.

ඒකයි මං නිදාගන්නේ. නිවන කියන්නේ මරණෙට වඩා සැප දෙයක් ලු නේ. එහෙනං නින්ද කියන්නේ නිවනට වඩා සැප දෙයක්. ඇවිළෙන එක නිවනවට වඩා සැප දෙයක් ලු. කොහොමත් ඔළුව ඕෆ් නොකර ජීවත් වෙන ගමන් ජීවත් වෙනවා කියලා නොදන්න එක පට්ට සනීප තැනක්. ඒකයි ගෙදර ඇඳට වඩා සැප තැනක් හම්බ නොවෙන්නේ. එයාව ගෙනල්ලා ගෙදර තියාගන්න මට ඕන නැත්තේ ඒකයි. මට නිවන දුර ඒකයි. තාම මට මරණේ ඕන නැත්තේ ඒකයි. නින්ද ළඟ තියෙනකං නිවනෙයි මරණෙයි ලස්සන මට කියලා වැඩක් නැත්තේ ඒකයි. ඒක නිසා මං දිරපු දතේ හිල හාරන්න ළඟ තියාගෙන හිටපු කට්ටක් අරගෙන බැලුමට ඇන්නා.

මං පිපුරුණා.

රතු පාට ලේ,
බඩ බොකුවැල්,
මොළකෑලි,
දඟලන නළියන නහර,
කෑලි කුඩු වෙච්ච ඇටකටු,
බම්ප් වෙන කැරකෙන ඇස් ගුලි,
ගැළවිච්ච ඇඟිලි,
හුස්ම නැතුව ගැහෙන හදවතක්,
තදට තදේ සප්‍රාණික වුණ පකක්;

මං වටකරගෙන මං ආසම හින්දි සිංදුවක් දාගෙන නැටුවා. හෙණ සුදු පාට එළියක් ඈතින් අත වැනුවම මම පියවියට ආවා.

එළියේ වහිනවා. වැස්ස අතරින් එයා මට අත වැනුවා. එයා කිව්වේ ඉරට නෙමෙයි. එයාට. එයා හරි ලස්සනයි. මං සිගරට් එකක් පත්තු කරගෙන, අංශක එකසිය අසූවක් හැරිලා, ඒ පැත්තට අඩිය තියන්න පටන් ගත්තා.

© 2020 Pamuditha Zen Anjana

පෙති කපපු සැන්විච් පාන්

හෙණ කම්මැලියි. මුස්පේන්තුයි. අර හඳයගෙ නාට්‍යානුරූපික භාෂාවෙන් ලියැවිච්ච ඩයලොග් එකක් වගේ කිව්වොත්, “මට මහා හිස්කමක් දැනෙනවා සුභද්‍රා”. ඔය ගෝතමංගේ අන්තිම වචනය. කිව්වේ සුභද්‍රාට. ඒ කෑල්ල මෙහෙම දාන්න ඕනම නෑ. ඒ වුණාට හිතුවක්කාරකම ඒක අයින් කරන්න ඉඩ දෙන්නෑ. හිතලා බලෙන් ඔබ්බලා දැම්මා නෙමෙයි. ඉබේම එනවා. අමුත්තක් නෑ. ළඟ ඉන්න උං දන්නවා. හේතුවක් මංදා. උං දන්නෙත් නෑ. හිනා යනවා.

සඳ බයිලා අහලා තියෙනව ද? අහලා නැත්තං ඔය මං ඇරෙන්න රටේ ලෝකේ හැමෝම කියන දේවල් අහං හිටහං. ඒවට තමයි සඳ බයිලා කියන්නේ. සමහර වෙලාවල් තියෙනවා, ලියන්නේ මොනවද දන්නෙත් නෑ, ලියන්නේ මොන ඉලව්වක් ද කියලා දන්නෙත් නෑ. එහෙම ලියවෙන වෙලාවට මේ ඔක්කොම සිලෙක්ට් කරලා ඩිලීට් කරලා දාන්න හිතුණට, පස්සේ ලෝබයි. සිංදුවක් ඉවර වෙනකම්ම ලියපු වචන තොගයක් නෙ. නවල් එකක් තියෙනවා. තියෙනවා කියන්නේ තාම ලියනවා. චැප්ටර්ස් හය හතක් ඉවරයි. ඉවරයි කිව්වට ඒ ටිකම තමයි ආයෙ ආයෙ එඩිට් කරන්නේ. ලියලා ඉවර වුණොත් අපරාදේ. ආයේ වෙනම පටන් ගන්න වෙනවනේ. මේ ලියද්දි, හිත යටිං හිනා වෙන සද්දේ ලියන්න තේරෙන්නෑ. එහෙම ලිව්වම ඒ සද්දෙ ඇහෙනවනං මට ඕන වැඩේ වෙලා නේ. ඒ කියන්නේ ඒ සද්දෙ ලියන්න පුළුවන්.

හැබැයි මට ඇහෙන සද්දෙමද මේක කියවන උඹට ඇහෙන්නේ?

ඕක මට පොඩි කාලේ ඉඳම්ම තියෙන ප්‍රශ්නයක්. මට පේන දම් පාටම ද තව එකෙක්ට පේන්නේ. එහෙම නෙමෙයි නම් අපි දම් පාට කියන එක දම් පාට වෙන්නේ කොහොම ද? තමන්ගෙන් තොර දම් පාට කියන්නේ මොන උලව්වක් ද? මං කුණුහරුප දන්නවා. මේවා කුණුහරුප වෙන්නත් පුළුවන්. හැබැයි මං දන්න කුණුහරුප වෙනස්. ඒවා සමාජ සම්මත කුණුහරුප. කුණුහරුප නං අසම්මත වෙන්න ඕන. ආ නෑ නේ. පස්සේ කල්පනා කළාම අසභ්‍යය කියන්නේ සම්මතයක්. අසභ්‍යය සම්මතයක් වගේම සම්මතය සභ්‍යයක්. සම්මතය අස්සේ අසම්මත වෙන එක ප්‍රොජෙක්ට් එකක් වුණාම ඔය වගේ ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා මගෙ හිතේ. අසභ්‍ය කියන සම්මතය කඩන්න වෙන ක්‍රම හොයන්න ඕන. ඒත් එතකොට අසම්මතය කියන සම්මතය කඩන්නේ කොහොම ද? සිස්ටම් එකේ ඉන්න ගමන් සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියන එකත් සිස්ටම් එකේම කෑල්ලක් නොවෙන්නේ කොහොම ද? ඔන්න කල්පනා කරනවනං ප්‍රශ්න. ට්‍රැකේ උපත.

මොංගලන් ගියා විශ්වයේ කෙළවර හොයාගෙන. ගිහිල්ලා අතරමං වුණා. අචින්ත්‍යය දේවල් තියෙනවා කියලා දැනගැනීමම චින්ත්‍යයි නේ ද? මොංගලන් ට ඕක තේරෙන්නැද්ද? විකාර.

කපරාරු නොකරපු බිත්තියක් අයිනෙං කෙලිං උඩටම ඇදිච්ච තඩි පීවීසී බටේ දිගේ ඇවිදං යන මී තාත්තට, තත්පර ගාණක් ඇතුළේ ඔය බරසාර සාගරයක් වගේ ටික හිතුණට කාටවත් කියාගන්න තේරෙන්නෑ. අඩුම ගාණේ මේ ඌගෙ සිතුවිලි ද කියලවත් පොරට ෂුවර් නෑ. හැබැයි වෙන එකෙක්ට හිතෙන දේවල් ඌගෙ හිතට හිතෙන්න විදිහක් නෑ නේ? පුළුවන් ද මංදා? හැබැයි ඌට මීට කලින් කවදාවත් ඔහොම හිතිලත් නෑ. පොර බිත්තියෙ හුළං කවුළුවකිං බූස් ගාලා රිංගලා, සූස් සූස් ගාලා කපරාරු නොකරපු සිමෙන්ති ගල් වල ගැටි අල්ලං පහතට බැස්සා. පහත තිබ්බේ හැඩි වෙච්ච මේසයක්. මේසේ උඩ තිබ්බ පොත් පත් ලැප්ටොප් වයර් ලයිටර් සිගරට් කොට පිරිච්ච ඈෂ් වලින් හැඩදාපු අළු බඳුන් අනංමනං ලට්ට ලොට්ට අස්සේ ලස්සනට පෙති කපලා පොලිතින් එකකිං වැහිලා සීල් වුණ සැන්විච් පාං රාත්තලක්. රාත්තල කියන්නේ ටිකක් බර වුණාට මී තාත්තට තිබ්බේ පවුල ජීවත් කිරීමේ බර කරගහලා රැට් රේස් එකේ දුවලම එක්සයිස් එකෙන් හැදිච්ච පදාර බයිසෙප්ස් ට්‍රයිසෙප්ස් සහ අනිත්සෙප්ස්. සිංහලෙන් කිව්වොත් මොල්ලි ගොඩයි. මොල්ලි ගොඩ මී පරපුර. ලේසි නෑ. ආයේ ෆුල් ග්‍රයින්ඩ් එකේ ලයිෆ් ජිම් යන බුවෙක්ට රාත්තලත් ගේමක් ද ඕයි? මී තාත්තා එහෙම හිතාගෙන ගට්ස් කටට අරං පොලිතින් එක හපාකාලා කටින්ම පාං එකේ යට පැත්ත නිරුවත් කළා. ළාවට වගේ රහත් බලලා පෙති දෙක තුනක් විනාශ කරලා දූෂණය කළාට පස්සේ තමයි ආයෙමත් පවුල මතක් වුණේ.

මී තාත්තා දන්න ලබ්බේ පවුල් සැලසුමක් නෑ. මී අම්මටයි කලිං පවුලේ දුවල දෙන්නටයි ඔහේ හුකලා ළමයි සීයයි. මී සීයටත් සීයයි. අහළ පහළ පූසොංගෙනුයි ඉඳහිට කඩාපනින ගැරඬිංගෙනුයි අනේකවිධ පාරසරික උලව් නිසයි මැරිච්ච උං අමතක කළාම දැං ඉතුරු මී ළමයි පහයි. මී මුත්තො නං හත් දෙනයි. ජීවත් වෙන්න නොසෑහෙන තරම් හිතේ හැටියට කන්න ඕන තරම් කෑම තිබ්බා. මීයෝ ඉන්න ගෙදර තිබ්බ ගෙදර ඉන්න මනුස්සයොංට හොඳටම ට්‍රැක. උං තාප්පෙ උඩට බත් දානවා ලේන්නුංට කුරුල්ලොංට කන්න. උංට වඩා ඒවා කෑවේ මී පවුලේ උං. කොච්චරනං කෑවද කිව්වොත් දුටුගැමුණුගෙ ආම් එකේ උඩ මොල්ලිය තරම් ලොකුවට ඒ මී පවුලේ මීයො ලොකු වුණා. ලොකු වෙන්න ලොකු වෙන්න උංගෙ කෑමේ හැකියාවත් ලොකු වුණා. කෑමේ හැකියාවෙ තරමට අර ගෙදර ගෑණි තාප්පෙට දාපු බත් කට දෙක තුන පවුලේ හත්දෙනාට මදිවෙන්න ගත්තා. මී ගෙදර තිබ්බ සතුට බඩජාරිකමට යට වෙලා තෙරපිලා මාළිගාවත්තේ කොරෝනාවලට බෙදපු සල්ලි ගන්න ආපු දුප්පත් මිනිස්සු මැරුණා වගේම මියෑදුණා. ඉතිං මී තාත්තා විදිහට පොරට තිබ්බ භාරදූරම රාජකාරිය වුණේ ඇතිවෙන්න කෑම ගෙනල්ලා ගෙදර බලව්‍යුහය පවත්වාගෙන යන එක. බලය මෙහෙක් කරද්දි නැති වෙලා යන්න පුළුවන්. සැණෙකින් මියැදෙන සැණෙලියක් වගේ. ඒ ගැන හොඳටම මීටරෙන් හිටපු මී පුත්තු හැමතිස්සෙම රබර් ඇහැගහං හිටියේ මී අම්මවයි මී සහෝදරියොවයි යටකරගන්න මාන බලාගෙන.

මී තාත්තා අසම්මතය පවත්වාගෙන යන්න කැමති එකා. පොරට ඕන වුණේ නෑ ව්‍යභිචාරී එහෙම නැත්තං ඉන්සෙස්ට් මතින්ම විස්තෘත පවුලක් ගොඩනගන්න. පොරට ඇත්තටම ඕන වුණේ සම්මතයෙං බැහැර ගිහිං ලේ නෑකමක් නැති සමවයස් මීයො අතර පමණක් දෙපාර්ශවයේම කැමැත්ත මූලිකව අන්තරාභිජනනය සිදුවෙනවට. න්‍යෂ්ටික පවුලක් හැදෙනවට. පොර ඒකට ඉහළ උසාවියේ නඩුවකුත් දාලා දාන්න ඕන හැම පෙත්සමක්ම දාලා යන්න ඕන හැමතැනටම ගිහිං පැමිණිලි කරලා තිබ්බේ. හැබැයි වෙච්ච උලව්වක් නෑ. මී ආණ්ඩුව හෝ මී ජනරජය සතු අධිකාරී බලය නියෝජනය කරන හැම එකාම හැම තිස්සෙම කිව්වේ සම්මතයට පිටු නොපෑ යුතුයි කියලා. මී තාත්තා අසරණයි. තනි මීයෙක් මොනා කරන්න ද? හදිසියේම එළියේ හිටපු නන්නත්තාරෙ යන වල් බල්ලෙක් බුරන්න ගත්තම මී තාත්තා ආයේ පියවි සිහියට ආවා.

හුළං කවුළුව තිබ්බේ සෑහෙන උඩිං.

දැන් මොනා කරන්න ද, මේ පාන් රාත්තල කොහොමහරි උඩට ඇදං යන්නෝන. මොකෝ දොර ඇරගෙන යන්න කියලා යැ. යතුරක් තිබ්බනං අඩුම ගාණේ ට්‍රයි එකක් වත් දෙන්න තිබ්බා. මී තාත්තා තඩි හුස්මක් අරගෙන පපුව පුම්බගෙන පොලිතින් එකේ පැත්තක් කටිං පටළවගෙන උඩහට තනි කෙලින් රිවර්ස් කරන්න ගත්තා. අමාරුයි කියලා හිතුවට එච්චර අමාරු පාටක් නෑ. ඇදපන් මීපියෝ නැගපන් බඩගිනි යනවා. හෙණ ගේමක් දීලා දඟලලා අර පොඩි හුළං කවුළුවෙං රාත්තලම ගන්න එක තමයි පොඩ්ඩක් අමාරු වුණේ. තණ්ඩලේ දෙන්නා දෙපොළේ හිටියනං අමාරු වෙන්නෑ. තට්ට තනියම නිසා පොඩ්ඩක් අමාරුයි. කොහොමහරි ඇදගත්තා කවුළුවෙං එළියට. දැං කවුළුවෙං ඇතුළට යන්න දතකන හුළඟ මී තාත්තගෙ ගතේ දහඩිය සනසනවා.

එක පාරටම තාප්පෙට සම්බන්ධව තිබ්බ ගේට්ටුව ජර බර ගාගෙන කාලෙකින් ග්‍රීස් නොකරපු රෝද අතු නොගාපු වැලි දූළි මතින් ඇඹරිලා කැරකිලා පැත්තට ඇදෙන්න ගත්තා හෙණ සද්දෙට වඩා පොඩ්ඩක් අඩු සද්දෙකින්. මී තාත්තා කලබල වුණා. මී හදවත දඩ බඩ ගාලා සැළෙන්න පටන් ගත්තා. ෂුවර් එකට පහළ කාමරේ ඉන්න රැවුළා. පොර දෙකේ ගුණාකාරවලින් හොඳට දාගෙන ගෙදර එන්නේ මේ වෙලාවට කියලා මී තාත්තා දන්නවා වුණාට, කලබලේට ඒක මීටරෙන් ගිලිහුණා. ගිලිහුණේ ඒක විතරක් නෙමෙයි. අච්චර ගේමක් දීලා කවුළුවෙන් එළියට ගත්ත තැළිච්ච පාන් රාත්තලත් මී තාත්තගේ කටින් ගිලිහුණා. සරස් ගාලා ඒක කෙලින්ම පහළ පාක් කරලා තිබ්බ බයික්කෙක එහා පැත්තට වැටුණා. හෙණ සොෆ්ට් ලෑන්ඩිං එකක්. පාන් නේ. සද්දයක් නෑ.

මී තාත්තා නොසෙල්වී බලාහිටියා.

හෙළවුණත් දකින්නැති ගාණට වැදිච්ච රැවුළා කෙලිම්ම බයික් එක පාස් කරගෙන ලයිට් එකේ ස්විච් එක අතපතගාන්න ගියා. පාන් එක ඌට මිස් වුණා.

ටික් සද්දෙත් එක්ක ලයිට් එක පත්තුවුණා මහ පාන්දරම එළිය කරගෙන. සුදෝ සුදු එළිය මී තාත්තගේ පවුලේ කුසගින්න කළුවර කරගෙන විහිදිලා ගියා. මී තාත්තා තාමත් හෙළවෙන්නෑ. ලයිට් එක වගේම පොරගේ බලාපොරොත්තුවේ දෑසුත් තාම දැල්වෙනවා.

රැවුළා වැනි වැනි ආපස්සට උගෙ කාමරේ පැත්තට යද්දි අන්ධයගේ පයේ හැපුණු මැණික වගේ පාන් රාත්තල උගේ පයක් යට හිරවුණා. පොඩ්ඩක් නැවතිච්ච රැවුළා පාත් වෙලා පාන් රාත්තල අතට ගත්තා. ඉරිලා නිරුවත් වෙලා තිබ්බ පොලිතින් කවරේ හිලෙන් පාන් පෙති දෙකක් රැවුළගේ අතට පැන්නා. මී තාත්තගේ දෑස් වැහුණා. බලාපොරොත්තු මැකුණා. රැවුළා උඩ බැලුවට හුළං කවුළුව දැක්කෙ නෑ. හුළං කවුළුව දැක්කත් මී තාත්තව දැක්කේ නෑ. මී තාත්තව දැක්කත් මී තාත්තගෙ දෑස් නිවිලා. කළුවරයි. පෙති දෙකත් ඔහේ ඉරිච්ච පොලිතින් එකටම ඔබලා පාන් රාත්තල ළඟ තිබ්බ කිළුටු රෙදි කූඩයක් උඩට විසික් කරපු රැවුළා වැනි වැනිම කොරෝනාවලින් බේරෙන්න අත් හෝදගෙන කාමරේට ගියා.

© 2020 Pamuditha Zen Anjana

කර්ෆිව් එකට දවසකට කලින්

නෑ උණ නෑ පොඩ්ඩක්වත්. දාඩියයි පැළෙන්න. එළිය ගිණි තියලා. එළිය කිව්වට එළිය කළුවරයි. දැං රෑ. නිදිමතක් නැති නිසා සිංදුවක් දාගත්තා. සිංදුවක් දාගත්තම ලියන්න හිතුණා. ලියන්න හිතුණ නිසා දැන් ලියනවා. ලියනවා කිව්වට කීබෝඩ් එක ඔබනවා. අතින් ලියන තරම් ඒක ලල් නෑ. මට හේතුවක් තේරෙන්නෑ. සමහරවිට නොස්ටල්ජියාව හරස් වෙනවා ඇති. කොහොමත් පෑනයි අතයි කියන්නේ වෙන ගනුදෙනුවක්. හිතයි අතයි අල්ලගන්න තැනක්. ඔබන තැනක් නෙමෙයි. මේ ටික මෙහෙම්ම කාලෙකට කලින් ලිව්වා වගේ මතකයි. ෂුවර් නෑ. ෂුවර් නැති නිසා ඔහොම්ම තිබ්බාවේ.

එළියෙ කොරෝනා. සොරි. කොවිඩ්දහනවය. මට හෙම්බිරිස්සාව. පීනසේ කියලා හිත හදාගෙන ඉන්නේ. පීනසේ තමයි. නහයෙන් දිය ඇළ්ළ වගේ තමයි. එළියට ගියේ නෑ දවස් දෙකතුනේම. ගාණ ෂුවර් නෑ. කවුරුහරි රජයේ එකෙක් කියලා තිබ්බා දවස් හතළිහක් ක’ෆිව් එකේ ඉන්න ඕන කියලා. එළියට ගියානං ඒ කඩේට. ඒ එළිය තමයි ඉතිං. ගෙවල් ළඟ වුණාට කඩේට යනවා කියන්නේ එළියට යනවා කියන එකම නේ. ඇතුළට වඩා එළිය එළියයි නේ. ඉතිං ඒ එළිය. රෑට නෙමෙයි. රෑ කළුවර.

මාස්ක් ගත්තෙත් නෑ. ගන්න හිතෙන්නෙත් නෑ. මැරෙනවනං මැරෙද්දෙං. එහෙමයි හිතෙන්නේ. සමාජ වගකීමක් ගැන එළියේ මහා හා හෝවක් තියෙනවා තමයි. ඉතිං මට පුක ද? එහෙමයි හිත හදාගන්නේ. එළිය රස්නෙයි මැරෙන්න. එක්කො උණ හැදුණනං දාඩියක් නැතුව ඉන්න තිබ්බා. දාඩිය නැතිවුණානම් දාඩිය බිබිලි එන්නෑ. එහෙනං දැවිල්ල තැන් ටිකත් සනීපෙට තියෙයි. හැබැයි අසනීප යි. මොකද උණ නේ. කැස්ස නැතුව උණ හැදුණට කොරෝනා නෙමෙයි නේ. එහෙමයි හිත හදාගන්නේ.

බොන්න ඕන. සල්ලි නෑ. සල්ලි තියෙන යාලුවොත් එළියට එන්නෑ. එළියට එන්න රෙඩි උං ගාව සල්ලි නෑ. සිගරට් එකක් තියෙනවා බංකර් කරපු. ඒක හෙටට තියාගන්නවා. අද ගැහුවොත් හෙට රෑට එකක් නැතිවෙනවා. අනික දැං ගැහුවොත් නහයට කෙළ වෙනවා. නිදිමත නෑ කිය කිය කල් දදා එජ් කර කර ඉඳලා ඉඳලා අන්තිමට ගන්න නින්ද නිදාගන්න බැරි වෙනවා.

නිදාගන්න බැරි වෙනවා කියන්නේ ජීවිතයේ පර්පස් එක, ඒ කිව්වේ අරමුණ, නිකංම නිකං අරමුණ නෙමෙයි, ජීවිතයේ ඒකායන අරමුණ මිස් වෙනවා. හොඳ නින්දක් තරම් වටින දෙයක් ලෝකෙ වෙන කොහෙවත් තියෙන්න බෑ. උඹලා නිවන ස්වර්ගය අරක මේක හෙණ බයිලා කිව්වට මටනං නිවනටත් ස්වර්ගයටත් ඉහළින් නින්ද තියෙන්නේ. ෆේස්බුක් එකේ තිබ්බ පෝස්ට් එකක් මතක් වුණා. උදේට නැගිටින්න තියෙන්න අමාරුව හිතපං. නිදාගත්තම තියෙන සනීපේ හිතපං. ඒක සදාකාලික නින්දක් වුණොත් තවත් හොඳයි. ඒ කිව්වේ නිදාගන්නවා, ආයේ කවදාවත් නැගිටින්නෑ. චුට්ටක්වත්? නෑ චුට්ටක්වත් නැගිටින්නෑ.

මදුරුවෝ කණවටේ සෙල්ලං කරනවා. පිටිපස්සේ ඉඳං කොනිත්තනවා. උංටත් හෙණ ආතල් තියෙන්නේ. සමහර වෙලාවට තැළිලා ඇඹරුණාම ඉතුරු වෙච්ච පුක විතරක් දඟලනවා. සමහර වෙලාවට කකුලක් දෙකක්. මට ඉතිං හිනාත් යනවා. හැබැයි ටක් ගාලා නවතිනවා. තාම පව් කරන්න බයයි. ඊටපස්සේ අපි හෙණ පව් ඕයි කියලා හිතිලා ආයේ හිනා යනවා. නොතේරෙන කාලේ තේරෙනකං ප්‍රෝග්‍රෑම් කරපු ජීවිත. පව් පිං අස්සේ හිරකරලා මරලා දාන හිත්. නොදකිං තුඃ තොපේ යහපතට හිතැති තිත්!

මූණ අල්ලන්නමයි හිත. නහයත් දෙනවා වදයක්. හෙණම අමාරුයි නොඅල්ලා ඉන්න. ඉතිං අල්ලනවා. හිතට එන දේට ඉඩ දෙනවා. ඉතුරු ටික පස්සේ. ආෆ්ටර්මැත්ස් කියන්නේ ඒකනේ. මට කොහොමත් මැත්ස් පේන්න බෑ. ආෆ්ටර් ද ප්‍රී ද වැඩක් නෑ. මැත බෑ. මැතට තිත. මෙච්චරකල් මැතෙන් සතපහක වැඩක් අරං නෑ. සතපහෙන් ඊට වඩා වැඩ අරං තියෙනවා.

ඉස්සර අම්මා ගාව තිබ්බා එකතු කරපු තඹ සත පහේ දහයේ ඒවා හෙණ ගොඩක්. ඉතිං මගේ වැඩේම ඒවා තිබ්බ බාස්කට් එකෙං බිමට හළන එක. හදනවා එක උඩ එක තියලා බිල්ඩිං. හරියටම දැං කොළඹ වගේ. ඊටපස්සේ ඒ කාසි බිල්ඩිං ඔක්කොම කුඩු කරනවා. ඒ කිව්වේ, සෙල්ලං කාර්, හරි වචනෙං කිව්වොත් හොට් වීල්ස් වලිං හප්පලා බිම දානවා. නයින් ඉලෙවන් ප්ලේන් එක ට්වින් ටවර්ස් වල හැප්පුවා වගේ තමයි. හැබැයි මැද්දෙං උඩිං නෙමෙයි. යටිං. එහෙම බිම දාලා, ඒවා එකතු කරලා බාස්කට් එකට ආයේ දානවා. ආයේ එළියට හළනවා. ඕක ඇති වෙනකං රිපීට් කරනවා. ඊට පස්සේ පාරට යන ටයිම් එකක් අල්ලලා, හොරෙං දෙක තුනක් උස්සං ගිහිං තියනවා රේල් පීල්ලක් උඩ.

කෝච්චිය කෑගහගෙන එද්දි අයිං වෙනවා. අයිං වුණාට බෙල්ල තිබ්බා වගේ තමයි. කාසිය ෆ්ලැටේ ෆ්ලැට්. තිබ්බට වඩා ලොකුත් වෙලා. ඒ වෙලාවෙම අල්ලන්නනං කොහොමටත් බෑ. පට්ටම රස්නෙයි. දැං වගේම තමයි. රස්නේ දේවල් ලොකුයි. බැස්සම සීතලයි. හැංගෙනවා. මං රස්නෙට වඩා සීතලට ආසයි. සීතලේ ගුලි වෙන්න පුළුවං. රස්නෙත් එක්ක නිදාගන්නවත් පුළුවන් ද? එහෙමයි මොළේ අහන්නේ. මොළේ කියන්නේ, හිත නෙමෙයි. රස්නේ කියන්නේ උණුහුමත් නෙමෙයි.

සුදුපාට ස්ක්‍රීන් එකේ කළු පාට අකුරු පිරෙනවා. ඉතිරෙන කිරි මැදිං පේන මැටි කළේ ගෑවිච්ච දැළි වගේ. කළේ දැළි කළුයි. කිරි කිරි සුදුයි. මට මතක් වෙනවා කාලයක්. සුදු ස්ක්‍රීන් එකේ කළු පාට අකුරු වලට ආදරේ කරපු කාලයක්. ඒ අකුරුත් එක්ක තනි වෙන්න, ගුහාගතවෙලා වරු ගණන් අකුරු ගණන් කරන්න, හිනා වෙන්න, කැත ලස්සන වචනවලින් කිව්වොත් නන්ස්ටොප් මන්දස්මිතයන් අස්සේ අතරමං වෙන්න, හීනත් එක්ක අත් අල්ලං ඇවිදින්න හීන දැකපු කාලයක්.

කාලය කාලය අස්සේ අතරමං වෙලා කාලයත් එක්ක අමතක වෙනවා. හීන හීන අස්සේ පැටළිලා හීනත් එක්ක මතකෙට එනවා.

මිනිස්සුංගෙ ලොකුම හැකියාව අමතක කරන්න පුළුවන් එක කියලා පොඩි කාලේ මං කියවපු පොතක තිබුණා. ඒකේ අපිට වඩා, ඒ කිව්වේ මිනිස්සුන්ට වඩා, සෑහෙන ඇඩ්වාන්ස්ඩ් ඩ්‍රොයිඩෙක් වැඩි දෙනාගේ යහපත උදෙසා බිල්ඩිමක් පිටිං විනාශ කරලා දානවා. ඒකට අපේ මනුස්ස සෙට් එක තෑන්ක් කරනවා. ඩ්‍රොයිඩ් ෆුල් අප්සට්. ඌ එතනදි කියනවා මාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ඉන්පුට් වෙන කිසිම ඩේටා එකක් තනියම ඉරේස් කරගන්න බැරි වෙන්න කියලා. ඌ අහනවා උඹලට උඹලා ජීවිතේ අකමැතිම දේ අමතක කරන්න බැරි වුණොත් උඹලා මොකද කරන්නේ කියලා. ඇත්ත තමයි. සමහර දේවල් තියෙනවා මතකයි. ඒ වුණාට අමතක කරලා දාලා ඉන්න පුළුවන්. අමතකම නෑ. ඒත් මතක නෑ. ඒක තමයි මිනිස්සුංගෙ ලොකුම හැකියාව.

ලස්සනම තැන සහ අර පොත ලියපු එකී නොලියපු දේ තමයි, ඩ්‍රොයිඩ් අහන ප්‍රශ්නෙ කෙලින්ම අනිත් පැත්ත. අකමැති දේ නෙමෙයි, කැමතිම දේවල් අමතක කරන්න පුළුවන් කියන එක. ඒක තමයි හැකියාව. අකමැති දේවල් අමතක කරනවා කියන්නේ ඔබ්වියස්. කැමති දේවල් අමතක කරනවා කියන්නේ ඔබ්ලිවියස්. එහෙමයි හිතෙන්නේ. එහෙමයි හිත හදාගන්නේ. එහෙමයි හිත කියන්නේ. එතකොට තමයි හිත අහන්නේ.

ඈ තාම මතක ද?

© 2020 Pamuditha Zen Anjana

අදහසක් නෑ

නිදාගන්න හිතුවට නිදාගන්න බෑ. හිතන දේවල් වචන වලට දාගන්න තියෙන අමාරුව දන්නේ ඒ හුත්ත කරන්න හදපු ගොන්නු විතරයි. සමහර දේවල් තියෙනවා කියාගන්න බැරි. හරියටම මූඩ් එකක් වගේ. හෙණ ආතල් වුණත් ගොබ්බ වුණත් ඒ වචන වලින් එහාට සමහර මූඩ්ස් තියෙනවා කියාගන්න බැරි එක්ස්පීරියන්ස් එකක්. ඔයත් ඒ වගේ.

ප්ලේලිස්ට් එකේ යනවා එම්ජීකේගේ අයි තින්ක් අයිම් ඕකේ සිංදුව. ඒක මරු. අයි ඩූ තින්ක් අයිම් ඕකේ! කලින් ගියේ යුකීගේ අලුත් සිංදුව. හීනෙන්. නෑ හීනෙන් නෙමෙයි හැබැහින්. ඒ සිංදුවෙ නම හීනෙන්. ඒක වෙනම ලල් එකක්. අම්මේ මාව මෙහේ එක්කං ආවේ ඇයි? කියලා අහන ගමන් අයි තින්ක් අයිම් ඕකේ කියලා කියන්න පුළුවන්. ඒ වගේ තමයි. දෙකටම කැමතියි. හැබැයි දෙක දෙකක්.

චින්තා නං කියන්නේ ඒක ලංකාවෙ දෙබිඩි ජීවිත කියලා. ඇත්තටම ඒක සීන් එකක් තමයි. මං හිතන්නේ ඇත්තටම මෙහේ ඉන්න උංට තියෙන ස්පෙෂල් හැකියාවක් ඕක. මටත් තියෙනවා. මේ කියන එකට ප්‍රතිවිරුද්ධ හුත්තක් තමයි ජීවිතේ අස්සේ තියෙන්නේ. හරියට ගත්තොත් ෆේල් වෙන්නෝන. හැබැයි ෆේල් නෑ. සේෆ් නෙමෙයි ෂේප්. කිසිම ගිල්ට් එකක් නැතුව ඒ දෙක වෙනුවෙන්ම පෙනී හිටින්න පුළුවන්. ඒක එක්කො කැරිම ෆේල් එකක්, නැත්තං මං හිතන් ඉන්න විදිහට කැරිම හැකියාවක්.

අද බිව්ව නිසා මෙහෙම ලියන්න හිතුණ ද? බොද්දි කතා කරපු දේවල් හේතුවක් වෙලා මෙහෙම ලියනවද දන්නේ නෑ. මොනෞත්තක් වුණත් දැං මේ ලියන්නේ බයිලා. හරියටම වාදෙකට සෙට් වෙච්ච එකෙක් ඒ වාදෙන් ගැළවෙන්න පතාර සයිස් බොරු කියනවා වගේ. මේ ලියන්න හදන්නෙත් ඒ වගේ හුත්තක් ද කොහෙ ද. හැබැයි මේ ලියන්නේ බොරු නෙමෙයි.

එහෙම කියන්නේ ලියන මම. ඉතිං කොහොමද මං මාව විශ්වාස කරන්නේ එක හිතකිං. ඔයත් ඒ වගේ.

සොරි මදුරුවො කද්දි සංයමයෙන් ලියන්න බෑ. මදුරුවො කන්නෙත් දැන් ප්ලේ වෙන පෝස්ට් මලෝන් ගේ ගුඩ් බයිස් කියන සිංදුවෙ රිදම් එකට. රිදම් එක අල්ලන්න බැරි, තාලෙකට අප්පුඩියක් ගහගන්න බැරි මිනිස්සු මං දැකලා තියෙනවා. ඉතිං බීට් එකට හරියන්න මදුරුවො කනවා කියන්නේ, මේ වෙද්දි මදුරුවො සමහර මිනිස්සුන්ට වඩා සෑහෙන ඉස්සරහ.

මට කොහොමත් මිනිස්සු පේන්න බෑ. කෙල්ලො නෙමෙයි. මිනිස්සු. ගොඩක් උං හිතන් ඉන්නේ මිනිස්සුත් එක්ක එකට ජීවත් වෙන එක ආතල් කියලා. හැබැයි මේ මං කියන්නේ වෙන එකක්. හෙණ සෙක්ෂුවල් ෆ්‍රස්ට්‍රේෂන් එකක් අත පිටිං දාලා ඉවර කරගෙන මිනිස්සුන්ව පේන්න බෑ කියන්නේ වෙන ලල් එකක් මගේ හිතේ.

ලව් කරපු කෙල්ලො හිටියා අතේ ගාණට. බොක්කෙං ලව් කරා කියලා කළේ ඒකෙනුත් දෙකයි. ඉතිං මං දන්න හුත්ත. මං හිතං ඉන්නේ ආදරේ කරන්න අනිත් එකාගෙ කැමැත්ත ඕනම නෑ කියලා. හැබැයි ඇත්තටම ලව් කරන්න ගියාම ආයෙත් අර පරණ ෆිල්ම් වල පොත් වල තිබ්බ ලව් අස්සේ හිරවෙනවා. ඒ පැත්තෙන් එන ආන්සර් එකක් ගැන හිතනවා. හෙණම ගොං කියලා මටම හිතෙන වෙලාවල් තිබ්බට, තනියම ඉන්න ඕන වෙලාවක මට හිතෙන්නේ මේ මං ඉන්නේ ආතල් ම විදිහකට කියලා.

නෝ වුමන් නෝ ක්‍රයි ලංකාවෙ විදිහට කිව්වොත් ගෑණු නැත්නං අඬන්න හේතුවක් නෑ.

ඔන්න ට්‍රාන්ස්ලේෂන්. මං මේ දෙවනි පාර කියවගෙන යන ගමන් ලියන්නේ. ඕන නං මේක ආයෙත් මං පහළින් ලියන්නම්. එතකොට තේරුණොත් උඹලා මං පට්ට රයිටර් කෙනෙක් කියලා මාව උඩිං තිබ්බොත් හොඳයි ඉතිං. ආයේ කියවගෙන යටට යං.

බත් එක සෑහෙන වෙලාවක ඉඳන් වේලෙනවා. බොන්න එළියට යද්දි අම්මට කිව්වේ මං ඉක්මණට එනවා අම්මා නිදාගන්න කලින් බෙදලා තියන්න කියලා. හැබැයි හැමදාම වගේ ගෙදර එද්දි පරක්කුයි. බත් එක වහලා එළියෙන් තියලා තිබ්බේ. දැං ඒක ඇරලා හෙළුවෙන් මගේ කී බෝඩ් එක ගාව ඉඳන් හිනාවෙනවා. පිළුණු වෙනවා. ඔයත් ඒ වගේ. පොඩ්ඩක් හිටහං සිංදුව මාරු කරලා එන්නං.

මං මේ ඔහේ ලියාගෙන යනවා. සමහර විට මේක පබ්ලිෂ් කරන්නත් ඉඩ තියෙනවා. පබ්ලිෂ් වුණොත්- නෑ- පබ්ලිෂ් කළොත් හොඳයි. මට හිතෙන සමහර දේවල් මං කරන්නෑ. කරන්න හිත දෙන්නෑ. හිතට ඕන විදිහට තමයි මං වැඩකරන්නේ. ඔව්. මං එහෙම තමයි හිතං ඉන්නේ.

කවුද දන්නේ හිතං ඉන්න දේවල් වැරදි වෙන්නත් පුළුවන්.

මොළේ හුකහං!

මට වැඩක් නෑ හුත්ත. කොහොම හරි දැං මං කන්න ඕන. මොකද දවල්ට කෑවෙ කෝක් දෙකයි සිගරට් හයයි. ඊට පස්සේ මික්ස්චර් පැකට් එකකින් ජූංජක් කෑවා. ගලට බයිට් ඕන වුණේම නෑ. සිගරට් පැකට් එකක් ඉවරයි. වැඩියෙං ගැහුවේ මං ලු. ලොවෙත් මීටර් නෑ ඕයි. මේ කැරි මදුරුවොත් එක්ක බෑ හුත්ත. කනවා කියලා සීමාවක් තියෙන්නත් ඕන. සුදු පාට ස්ක්‍රීන් එක උඩිං කළු පාටට පියඹං යද්දි අල්ලන්න හිතුණට අත දාද්දිම උං මාරු.

ඔයත් ඒ වගේ!

දැං ආයේ මේක උඩ ඉඳං කියවගෙන එන්න ඕන.

දැං මේ කියවගෙන ඇවිල්ලා ආයේ පටන් ගත්තා ලියන්න. උඩ මං දෙවනි පාර කියවද්දි ඇඩ් කරපු එක කියෙව්ව උංට නිකං ප්‍රෙඩික්ෂන් එකක් වගේ ඒක තේරෙන්න ඕන. එහෙම හිතද්දි කැරි ලල් ඕයි. නොතේරුණත් මට පුක ද? මොකද මේක ලියන්නේ උංට යෑ. මට නේ. මේ කියවන්නේ පස්වෙනි පාර විතර. මටවත් තේරෙන්නෑ ලොල්, ඔයත් ඒ වගේ.

මගේ කාමරේට එහා පැත්තේ කාමරේ ඉන්නේ මල්ලි. ඌ අද කොහෙ හරි වැඩකට ගිහිං. තාම නෑ. එක්කො සිකුරාදා නිසා ඌ කාත් එක්ක හරි සෙට් වෙලා ඇති. මගේ ආතල් එක කියන්නේ එළියේ සූ ගා වැස්ස. බංකර් කරපු සිගරට් එකක් තියෙනවා. ඒක ගහන්න පුළුවං. මල්ලි ඉන්න දවසක නං ඌ නිදාගන්නකං ඉන්නෝන. ඌට ගඳ අවුල්. නෑ ඌත් ගහනවා. බොන වෙලාවට විතරයි හැබැයි.

උගේ කාමරේට ගඳ එන එක මට තේරෙනවා. ඒක අවුල් ඇති. හැබැයි දැං ඌ නෑ නේ. වෙනදට ඌ නිදාගත්තම ෆෑන් එකත් දාගෙන දුම එළියට යන්න හදලා ගහනවා වෙනුවට අද ෆෑන් හුකහං කියලා දුං පුරෝගෙන ගහන්න පුළුවන්. දඩ බඩ ගාලා මොකක් හරි සීරීස් එකක් බලන ගමන් කෑම එක කාලා, දුමක් රස විඳින්න ඕන. එතකොට දුමට මදුරුවොත් යයි. දිගටම ඔයත් ඒ වගේ කිව්වේ මං ඔයා දැකපු විදිහත් එක්ක. එක්කො සමහර විට මෙහෙමත් වෙන්නැති.

ඔයා ඒ වගේ නෙමෙයි වෙන්නැති.

මං යනවා.

© 2019 Pamuditha Zen Anjana

නාසිසිස්ටික් මංජු

එදා හඳ පායලා තිබුණා වුණාට තිත්ත කළුවර රැයක්. ලෝකේ සෑහෙන පැති වලට ඉර පායලා, රෑ එළියේ පණිවිඩකාරයා විදිහට සළකන හඳ ලව්වා සමහර පැතිවලට ආලෝකය බෙදමින් තිබ්බට, මේ කුඩා ගම්මානයට එළියක් වැටුණෙම නෑ.

එළිය ලෝකෙන් බේරිලා, තඩි කන්දකට වැහිලා තියෙන මේ පොඩි ගමට ඉර එළියක් වැටෙනවනම් ඒ ටික වෙලාවකට වෙනකම් විතරයි. ඉතිං මේ ගමට උදේ වෙලාව පැය දෙකයි, දවල් වෙලාව පැය තුනයි. එතකොට රෑ කියන්නේ පැය හැටහතරයි, දවසකට ඔක්කෝම පැය හැට නවයයි. එච්චර වෙලාවකට එළිය නැති වෙන්නේ තඩි කඳු වලින් ඉර ගිලින නිසා කියලයි පොඩි කාලේ ඉඳම්ම නාකි උං පවා දැනං හිටියේ. ඉතිං නාකි උං පොඩි උංට ඒක එහෙම්මම කියලා දීලා පොඩි උං නාකි වුණාම උංගෙ පොඩි උංටත් එහෙම්මමයි කියලා දුන්නේ. දැං මේ ඉන්නේ එහෙම ඉගෙනගෙන හැදිච්ච විසිහතර වෙනි පරම්පරාව ලු. ඒක දන්නෙත් ඉතිං නාකි උංගෙත් නාකි උං විතරයි. අනිත් උංට ඒක එච්චර ගාණක් නෑ. මොකද දැං හැදෙන උං කළුවරට පුරුදු වෙලා හිටියේ. සමහරුන්ට රෑට තමයි හොඳටම පේන්නේ. දවල්ට පේන්නේ නැල්ලු. කොහොමත් කටිං කට ආපු ඉතිහාසෙං කාටත් වැඩක් වුණේ නෑ.

මංජු, ලේසියට කියන්නේ මං කියලා, කැළෑවට ඇවිදගෙන ගි‍යේ හැමදාම රෑට ගම මැද්දේ පොදු ඉඩමේ පත්තු කරන තඩි ගිණිමැළේට පොවන්න කරක් පුරවලා දර හොයං එන්න. ඒත් මං ආයේ ආවේ නෑ.

මුළු ගමේම මිනිස්සු කලබල වෙලා හිටියේ මං ආපහු ආවේ නැති එකට. හැමෝම ‘මං කෝ?’, ‘මං තාම නෑ!’, කිය කිය තැන තැන කසු කුසු ගගා රහසින් කතා වෙවී හිටියට කටක් ඇරලා සද්දෙට පඩයක් වුණත් යවන්න හැමෝම බය වුණා. ඒ බය අහේතුක නෑ, සහේතුකයි. ගමේ උං බය වෙලා හිටියේ, රෑට රෑට කැළේට උඩින් ලෝකෙම බර දරාගෙන හිටපු මහා කන්දකින් රූටලා, කැළේ කඩාගෙන, සත්තු මරාගෙන, ගමට ඇවිත්, ගමේ බවලත් උංට හුකන්න එන පරාස්සයා නිසා. අල්පෙනෙත්තක් හරි වැටෙනවා වගේ පොඩි සද්දයක් ඇහුණත් ඒක ඔස්සේ එළවං එන පරාස්සයා මේ ගමම හුකලා හුකලා කළුවර කළා කිව්වොත් ඒක හරි. සමහරු නං කිව්වේ මේ ගමේ මුල්ම උං හැදුණෙත් පළවෙනි බවලතාට හුකපු පරාස්සයට දාව කියලා. තර්ක විතර්ක මැද්දෙං ඒකේ ඇත්ත නැත්ත හොයන හැම එකාම නවතින්නේ මුලිං ආවේ ගෑණිද පරාස්සයද කියන ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න බැරුව.

කොච්චර ගමේ උං බයේ හැංගිලා හිටියත් මං බය නෑ. ඒකනේ කැළේට ගියේ දර හොයන්න. අනික මං කියන්නෙ කවදත් තනියම හිටපු එකෙක්. ඌට අම්මෙක් අප්පෙක්, නැන්දෙක් මාමෙක්, ආච්චියෙක් සීයෙක්, නංගියෙක් මල්ලියෙක්, අක්කෙක් අයියෙක්, තියා ලව් කරන්න කෙල්ලෙක් කොල්ලෙක් හරි හුරතල් කරන්න කියලා ළඟ දැවටිච්ච බල්ලෙක් පූසෙක් වත් හිටියේ නෑ. ඉතිං ඌට පරාස්සයගෙං ආරස්සා කරන්න කියලා තමන්ගෙම කවුරුත් හිටියේ නෑ. ගමේම උං මංව දන්නවා වුණාට මං ගමේ උංව උකුණු පුකක් තරම්වත් ගණන් ගත්තේ නෑ. ගමේ උං හැබැයි මංව ඉහටත් උඩින් පිළිගත්තා. මොකද කොච්චර ගණන් නොගත්තත් ගමේ මොකක් හරි වැදගත් කියලා සළකන වැඩකට පක්කලියෙක් වගේ පුක දීගෙන වැඩ කරන ගොං පුරුද්දක් මංට තිබ්බා. මං ආස එහෙම වැඩ කරන්න. ලබ්බක වත් වාසියක් නොබලා ගොබ්බ විදිහට කරන පක්කලි සේවාව නිසාමද කොහෙද ගමේ උං හැමෝම මං කරන හැම වැඩක් ගැනම වගේ ළාවට හරි ඇහැ ගහගෙන හිටියේ.

ඉතිං මං දර හොයන්න මහ ගිණි මද්දහනේ කැළේට ගියා කිව්වම ගමේ උං මං එනකං පෙරමං බලාගෙන හිටියේ. අනිත් එක මං කැළේට යනවා කිව්වයෙන් පස්සේ ආයේ ගමේ උං කැළේ රිංගන්න යන්නේ නෑ. මොකද මං කියන්නේ අනිවාර්යයෙන්ම වැඩක් කළොත්, කරන වැඩේ තිතට ඉවර කරන එකෙක් නිසා. කොහොමිං කොහොම හරි ඇත්ත ප්‍රශ්නෙ ඇවිල්ලා මං ආපහු ආපු නැති එක නෙමෙයි. ගිණිමැළේ තාම සූදානම් නැති එක! තව පැය බාගෙකින් වගේ කළුවර වැටෙන්න කලින් ගිණිමැළේ හදාගන්න ඕන වුණාට දර ඉහළින් පහළ වෙන්නේ නෑ නේ. ගිණිමැළේ නැතිවුණොත් පරාස්සයා අනිවාර්යයෙන්ම ගං වදිනවා. ඉතිං ඔහොම කසු කුසු ගගා හිටපු උං ඒකට පිළියමක් වශයෙන් ගමේම බවලත් උදවියව ගමේ තිබ්බ ආරක්ෂිතම ගෙදර හෙවත් ගමේ නායිකාව ජීවත් වෙන ගල් වලව්වට පිටමං කරලා ඇරියා. ගල් වලව්වේ හිටියේ ගම පාලනය කරපු, ගමේ ප්‍රශ්නවලට ඉස්සර උත්තර හොයලා දීපු, ගල් ආරච්චිලා හාමිනේ. උන්දැට ගල් ආරච්චිලා හාමිනේ කියන නම වැටුණේ එක පාරක් උන්දැට හුකන්න ආපු පරාස්සයෙක්ව ගල් දෙකෙන් තද කරලා අල්ලලා හුස්ම හිර කරලා මැරුවට පස්සේ කියලා තමයි දන්න කවුරුත් කියන්නේ. දැං උන්දැ නාකියි. ගල් දෙකේ එච්චර හයියක් නැල්ලු. අනිත් එක දැං හැදෙන උං ඕක කටකතාවක් කියලා අවඥාවෙන් බැහැර කරනවා. මොකද කටිං කට එන ඉතිහාසෙං කාටවත් වැඩක් නෑ නේ. ඉතිං ආයේ ඒ ගල් ආරච්චිලා හාමිනේගේ තැන ගන්න තාම ඒ තරම් බලවත් බවලතෙක් නෑ.

කොහොමහරි කැළේට ගිය මංට මොකද වුණේ කියලා හොයාගන්න නම් මේ උලව්ව කියවන උඹලටයි මේක ලියන මටයි වෙනවා ගමේ උං එක්ක කසු කුසු ගාන එක, පරණ ඕපදූප හොයන එක නවත්තලා, මං එක්ක ආපහු මුල ඉඳන් ඇවිදගෙන යන්න.

ඇත්තටම කිව්වොත්, මද්දහන් කළුවරේ දර කඩන්න කැළේ රිංගලා ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන කවදාවත් කවුරුවත් නොගියපු පැත්තකට ගිය මංට හම්බුණා අමුතුම අඩි පාරක්. නිකං අලි හැත්තෑවක් විතර කකුළුවො වගේ පැත්තෙන් පැත්තට එක පේළියට හැමදාම එහා මෙහා ඇවිද්දම හැදෙන ජාතියේ පතාර සයිස් අඩිපාරක්. ඒ අඩිපාර දිගේ අඩි හැත්තපන්දාහක් විතර වියදම් කරගෙන; මහා රූස්ස ගස්, පොඩි බූස්ස පඳුරු. කෙට්ටු මාර ගස්, පුස් වැල්, පඩ වැල්, මල් ගස්, පොල් ගස්, දෙල් ගස්, කොස් ගස්, නම් දන්නේ නැති ගස්, පළතුරු ගස්, එළවළු පැළ, බෙහෙත් පැළ, මැරිච්ච ගස්, හෙණගහපු ගස්, මේ අඹ ගස්, මේ අඹ ගස් හැර වෙන අඹ ගස්, ගස් වගේ පේන පැළ, පැළ වගේ පේන පොඩි පොඩි ගස්, කියන්න බැරි ජාතියේ ගස්, නිකම්ම නිකන් ගස් වගේ ගස් බරපතල ගාණක් පහු කරගෙන කැළේ ඇතුළට ඇතුළට ඇවිදගෙන ගිය මංට හම්බුණා කැළේ ඉවර වෙලා තිබ්බ තඩි තැනිතලාවක් කෙළවර වෙච්ච කන්දක කොණක්.

ඒ කන්ද පට්ට උසයි. කොච්චර උසද කියනවනම් මුදුනක් කියලා එකක් පේන්නවත් නෑ. පට්ට කළුවරයි. ආපහු මිසක් ඉස්සරහට යන එන මං නැති නිසා වටපිට බලපු මං දැක්කා ඒ කඳු පාමුල සෑහෙන ඈතකින් කැළේ පටන් ගන්න පැත්තකට වෙන්න කළු එළියක් එනවා. මං කන්දෙ ගැට්ට දිගේ ඒ පැත්තට ගියා. එන්න එන්න එළිය වැඩි වෙනවා. අම්මටහුඩු! මෙන්න ආයේ කැළේ පටන් ගන්න ගස් දෙක තුනක් මැද්දෙන් කළු එළියෙන් දිස්නේ ගහන මේන් මෙතක් විතර පොඩි විවරයකින් ඇතුළට යන්න පුළුවන් ගුහාවක්. අර විවරයෙන් එළියට එන අම්මටසිරි වෙන කළු එළිය දැකපු මං, මීට කලිං කවදාකවමත් නොදැකපු ඒ එළිය හරියටම එන්නෙ කොහෙන්ද මොකෙන්ද කියලා දැනගන්නයි ඇස් දෙකටම බලාගන්නයි කැසිල්ලක් ආපු නිසා, හාවෙක් වගේ ඒ පොඩි විවරයෙන් දඟලලා කරලා ගේම දීලා ඇතුළට රිංගුවා.

විවරෙ පොඩි වුණාට ගුහාව තරමක් ලොකුයි. දිගට දිගට ඇතුළට යන්න පුළුවන් පාටක් තිබ්බේ. ගුහාව අනිවාර්යයෙන්ම කෙළවර වෙන්නේ එළියෙන් කියලා දැනගත්තු මං දිගටම ගුහාව දිගේ ඇතුළට ගියා. සමහර තැන් වලදි ගුහාව වකුටු වෙළා පොළවෙ හැංගෙන්න හදනවා. ඒ තැන් වලදි මං බඩගාගෙන පොළොවෙ පස් කාගෙන ඇතුළට රිංගං ගියා. සමහර තැන් වලදි පොළව පේන්න බැරි වෙච්ච ගුහාව ‘ඊයියා!’ කියන්නා වගේ පොළවෙන් සෑහෙන ඈතට උඩට ගිහින් තිබ්බා. ඒ කියන්නේ අහස තරම් උඩට ගිහින්. පට්ට උසක්. ඒ විසල් තැන්වලදි මං වටපිට උඩබිම බල බල වැඩිය සද්ද බද්ද නොකර ඉස්සරහට ගියේ මොකද, ඒ තඩාර තැන් වල, ගුහාවෙ වහළේ යට, ඒ කිව්වේ උඩ යට පැත්තේ, ගුලි ගුලි වගේ එල්ලිලා නිදියං හිටියේ, පවුල් දෙකක් විතර ඉන්න පුළුවන් ගෙවල් තරම් ලොකු මහවවුල්ලු. මංගෙ අඩිසද්දෙටද කොහෙද ඇහැරිච්ච සමහර මහවවුල්ලු, එක ඇහැක් ඇරලා මං ඇවිදං යන හැටි බලලා, ගේම ඉල්ලන්න කම්මැලි නිසාද කොහෙද ආයේ ඒ ඇහැත් වහගෙන එල්ලිලා නිදාගත්තා. කොහොමත් මං කාටවත් බය නෑ නේ. ඒකනේ මෙච්චර දුරක් ආවේ. මං සද්ද නොකර ගියෙත් වවුල්ලු පව් උං ඇහැරෙනවා කියලා දන්න නිසා.

දැං මං හිතන්නේ මං පැයක් දෙකක් යනකම් ඔහේ ඉස්සරහට ඇවිදං ඇවිල්ලා ඇති. එන්න එන්නම අර කළු එළිය වැඩි වෙන්න ගත්තා. කොහොමහරි එළිය හොයාගන්න තිබ්බ කැසිල්ල නිසා ගිණිමැළේට දර නැති වෙලා ගමේ උංට හෙණගහලා ගියත් කමක් නෑ, කොච්චර වෙලා ගියත් ඉස්සරහටම යනවමයි කියලා මං හිතාගත්තා. ගුහාව එක පාරට පැත්තට හැරිලා ඉස්සරහට යන්න ගත්තා. එහෙම ගියාම, ආයේ ආපස්සට හැරිලා, ආයේ අනිත් පැත්තට හැරිලා, හරියටම සිංහල හෝඩියේ ‘ය’ අකුරක් වගේ හැඩේට එක තැන කැරකෙනවා. පට්ට ආතල්. එළියත් පට්ට සැර වේගන එනවා. පට්ට රස්නෙයි.

මං හිතුවා මං හිතන හැටි මට තේරෙයි කියලා. හැබැයි මං හිතන්නේ මට ඕන විදිහට නෙමෙයි. මංට ඕන විදිහට. රස්නේ නිසා සාමාන්‍යයෙන් මං ඉස්සරහට නොගියට මං ඉස්සරහට ගියා. පටළවගන්න එපා.

‘ය’ යන්නේ තොප්පිය වගේ කෑල්ලෙන් හැරුණ ගමන් ඇස් නිලංකාර වෙන කළු එළිය මංව තෙමලා කරකවලා අතෑරියා. මං අතකින් ඇස් ළාවට වහගෙන කළු බෝල දෙක පුංචි කරගෙන ඇස් දෙක හීනි කරගෙන එළිය එන තැන බැලුවා. අඩි විසිදෙකක් විතර උස තඩි කළු මැණිකක්! මං ඇස් එහෙම්ම තියාගෙන ඒක වටේ ඇවිද්දා. වටප්‍රමාණය හරියටම අඩි හාරදාස් පන්සිය විසි පහයි. අඩි මැන මැන ගණන් හද හද ගියාට වටපිටත් හොඳ අවධානෙකින් බලාගෙන ගියපු මං දැක්කා තව ඉස්සරහට ගුහාව ඇදෙනවා. ඒ කියන්නේ ආපු ‘ය’ තොප්පියෙන් පටන් ගත්ත දොර නෙමෙයි වෙනමම අලුත් දොරක් තව පැත්තකින් තියෙනවා.

මේ ත්‍රාඩ මැණික උස්සං යන්න තියා කෑල්ලක් ගලවගන්න වත් බැරි තරම් ඝණයි ලොකුයි බරසාරයි නිසාත් මෙච්චර දුරක් ඇවිත් ආයේ හැරිලා යන එක හද්ද ගොං වැඩක් නිසාත් මං තීරණය කළා අනිත් දොරෙනුත් ගිහින් බලන්න. මොකෝ මං බය එකෙක් යැ. අනික මංට නැති වෙන්න කියලා උලව්වක් තියෙනවයි කියල යැ. මං දෙපාරක් හිත හිත හිටියේ නෑ. එක පාරම හිතුවා, අනිත් දොරෙං රිංගුවා.

දැං කළු එළිය එන්නේ පස්සෙං නිසා ඇස් දෙක පොඩ්ඩක් හුරු කරගන්න නැවතිලා ඇස් පියාගෙන අම්මව මතක් කරපු මං ඉස්සරහට අඩි මාරු කරන්න ගත්තා. ගුහාව ආයෙත් කැරකෙනවා කියහංකො. ඒ පාර ඒක කැරකෙන්නේ සිංහල හෝඩියේ ‘හ’ යන්න වගේ. නයා අට ගැහුවා වගේ කැරකිලා ආයෙමත් මං ආවේ ඉස්සෙල්ලා පාර අර මහවවුල්ලු හිටියා වගේ ගුහා කෑල්ලකට. ඒකෙනං වවුල්ලු තියා කණාමැදිරියෙක්වත් නෑ ආසාවට. මං ඉස්සරහට ගියා. ආයෙමත් ගුහාව වකුටුවෙලා බිම බඩගෑවා. මංත් බිම බඩගාලා එතනිං එළියට ආවා. මෙන්න යකෝ ඉස්සරහ තඩි බිත්තියක්. ඒ බිත්තියේ පැළ්මක්. පැළ්මෙන් එළිය කළුවරයි. මං කරපු වැඩේ, ‘අයියණ්ඩිය බිය නොවන්න පැළ්මේ තරම මං බලන්නං!’ කියලා බය නැතුව පැළ්මට ඇඟිල්ලක් දාලා බැලුවා. පැළ්මෙන් එළිය පොඩ්ඩක් රස්නෙයි තෙතයි. මං බය නැතුව අතම රිංගවලා බැලුවා. ගුහා බිත්තිය හිතුව තරං ඝණ නෑ කියහංකො. පොඩි ගේමක් දුන්නොත් අනිත් අතත් දාගන්න පුළුවං පාටයි. මං අත් දෙකම දාලා පැළ්ම පළල් කරන්න උත්සාහ කරා. මෙන්න බොලේ බිත්තිය පොඩ්ඩක් ඈත් වුණා දෙපැත්තට. පැළ්ම ලොකු වෙලා විවරයක් වුණා.

මං දාන්න පෙර සිතා නොබලා ඔළුවම දැම්මා. එළිය පට්ටම එළියයි කියහංකො. මංගෙ ඇස් නිලංකාර වෙලා ගියා. හරියටම තත්පර විසිදෙකහමාරක් තත්පරේකට ඇහිපිල්ලම් දෙසියවිසිදෙකේ වේගෙකින් ඇහි පිල්ලම් ගහගෙන ගහගෙන ගියාම මංගෙ ඇස් දෙක ඒ එළියට හුරු වුණා. එළියෙ තිබ්බ දේවල් දැක්ක ගමන් මංට උන් හිටිතැන් අමතක වුණා. කවදාවත් බයක් කියලා දෙයක් ගෑවිලාවත් නොතිබ්බ මංගෙ ඇස් දෙකේ බය සෑහෙන්න ගෑවුණා. මං බැලුවේ ආයේ කොහොමහරි ආපස්සට හැරෙන්න. ඒත් ඒ වෙද්දි පරක්කු වැඩියි.

මං ඉස්සරහ හිටං හෙණ උවමනාවකින් මං දිහා බලං හිටපු පරාස්සයො කල්ලියෙන් ප්‍රධාන පෙනුමක් ගත්ත පරාස්සයා මංගෙ බෙල්ලෙන්ම අල්ලලා අර පැළ්මෙන් මංව එළියට ඇද්දා. එළියට ඇදලා අරගත්තු පරාස්සයා මං දිහා කන්න වගේ බැලුවා. පරාස්සයො ප්‍රසිද්ධ හුකන්න මිසක් කන්න නෙමෙයි කියලා දන්න නිසා මං තක්බීර් බැල්මක් දාගෙන මේ වෙන්න යන උලව්ව මොකද්ද කියලා කල්පනා කරන්න උත්සාහ කරා. තව පොඩ්ඩක් වෙලා මං දිහා බලං හිටපු පරාස්සයා මංගෙ පුකට “චටාස්” ගාලා පාරක් දුන්නම, කවදාවත් නැතුව මංට ඇඬුණා.

කඳුළු අතරින් තමංව වට කරං හිටපු පරාස්සයො දිහා බලපු මංට කවදාවත් නැතුව ගමේ උංව මතක් වෙන්න ගත්තා. පරාස්සයො වියරු වැටිච්ච කොටි වගේ දත් විලිස්සං හිනාවෙන්න ගත්තා. මං තවතවත් බය වෙන්න ගත්තා. බය වැඩිවෙන්න වැඩිවෙන්න ඇඬිල්ලත් වැඩි වුණා. ඇඬිල්ල වැඩි වෙන්න වැඩි වෙන්න පරාස්සයො හිනා වෙන තරමත් ඇඬිල්ලට අනුලෝමව සමානුපාතික ලෙස වැඩි වුණා. එක පරාස්සයෙක් මංව අරගෙන වතුර ගහලා හෝදලා රෙද්දක ඔතලා කරේ තියාගෙන මරං කන්නද කොහෙද ගෙනිච්චා. මං දන්නෑ කන්න ද හුකන්න ද කියලා. මං හිතන්නේ මං හිතං ඉන්නේ උං කන්න ගෙනියනවා කියලා තමයි. පව් මං.

ආ මංගෙ ගමේ උං තාමත් මං දරත් අරං ආපහු එනකං පෙරමං බලාගෙන ඉන්නවා. අනිත් උං මේ කියෙව්වේ මොන උලව්වක්ද කියලා කල්පනා කරනවා. මං ගැන උං දන්නවනං නේ?

© 2019 Pamuditha Zen Anjana