ආලෝක වැස්ස

එළියේ නොකඩවා වහිනවා. ඊයේ පාන්දර ඉඳන් දවසම එළිය කරපු වැස්ස තාමත් අහස් කළුවරේ පොළව තෙමනවා. අපි කතා කරලා ඉවරවෙලා, විනාඩි තුන්සිය ගාණක් විතර දැනට අපිව පහු කරන් ගිහිං ඇති. ඒත් දැනටත් ඔය ලස්සන කටහඬ මගේ හිත ඇතුළේ දෝංකාර දෙනවා. ඔය හිනාව දෙඇස් වෙරළේ හසරළරැළි අතුරනවා. කිලෝමීටර් ගාණක් ඈතින් වැස්සේ සද්දේ අහගෙන සීතලට ගුලි වෙලා දෙතැනක ඉන්න අපි තව තවත් ළං වෙනවා.

තෙත වහලෙට, එළියේ අඹ ගහේ කොළ මත්තට, ඇදගෙන වැටෙන වැහි බිංදු, මේ අපූරු පාළුව දිය කරලා දාන්න ට්‍රයි කරනවා.

මං විටින් විට ෆෝන් එක දිහා බලනවා. වෙනදට ෆෝන් එක සයිලන්ට් කරලා පැත්තක දාලා ඉන්න මං, නැවත නැවතත් ෆෝන් එක දිහා බලනවා. නිකං හරි සද්දේ ඇහුණේ නැත්තං කියලා ඩබල් ටැප් කරලා ස්ක්‍රීන් එක ඔන් කරලත් බලනවා.

නොටිෆිකේෂන් එකක් වත් නෑ.

මං ආපහු පීසී එකේ ස්ක්‍රීන් එකට එබෙනවා. සුදු පාට එළිය හොයාගෙන ඇවිත් ස්ක්‍රීන් එක පුරා ඇවිදිමින් ඉන්න කළු පාට කුරුමිණියෝ ස්ක්‍රීන් එකේ පැත්තක වචන මවනවා. මගේ හිත නොනවත්වා ආලෝක වේගයෙන් වැඩ කරනවා. හිතෙන දේවල් පිළිවෙලකට, එහෙමත් නැත්නම් අපිළිවෙලකට ස්ක්‍රීන් එකේ ලියවෙන්න ගන්නවා. මං තව තවත් සීරුවෙන් ඔය හිත ළඟට, හදගැස්මක් දුරට ළං වෙනවා.
අසුරු සැණකින් එබිලා අතුරුදන් වෙන අකුණු සැර ඇස් නිලංකාර කරනවා. අහස සාංකාවට ගොරවනවා. බැක්ග්‍රවුන්ඩ් එකේ ලෝෆයි ප්ලේලිස්ට් එකක් රහසින් වගේ කොඳුරනවා.

එතන ඉඳන්, ඔය අතැඟිලි මගේ අතැඟිලි අස්සේ සෙල්ලං කරනවා. රහසින් වගේ එකිනෙක පැටළෙනවා. පාන්දර වැටෙන හුස්ම පොදින් පොද මගේ හිතේ රිද්මෙට සමපාත වෙනවා. මතක වළාකුළු උනුන් මත දැවටෙනවා. වළාකුළු අස්සේ හැංගිලා මියැදෙන තරු අපිට ඉඟි කරනවා. දෑසින් දෑසට විදුලි එළි දැල්වෙනවා. ඔය දෙලවන් තාලෙකට දිදුළනවා.

ඊළඟ සැණෙලියේ;

විශ්වය පුරාවටම මන්දස්මිත පැතිරෙනවා.

මං ගුහාවෙන් එළියට ඇවිත් වැහි බිංදු අස්සේ ඔයාව හොයනවා. අඹ ගහේ කොළ අතරින් එබෙන සැර ලයිට් එළිය, ඔහේ පියාඹන්න හදන මාව ආපහු පොළවට ඇදගෙන එනවා. සමහරවිට ඔත්තේ ඉරට්ටේ නොතේරී සිගරට් එළි දැල්වෙනවා. නිකටින් ෆිල්ටර් කරලා එළියට එන හුස්මත් එක්ක හිතේ දුම පිටවෙනවා. ඔයා පා තුඩු අගින් මන්දාරමේ දුර මනිනවා. රස්නේ දුම අස්සෙන් රිංගලා ඉඳහිට ඇඟ සිපගන්න වැහි වතුරේ සීතල නැතිවෙලාම යනවා.

හදිසියේම නොටිෆිකේෂන් ටෝන් එක ඇහෙනවා. මං ඇහිපිල්ලමක ඇවෑමෙන් ෆෝන් එකට එබෙනවා.
ඒක ඔයාගෙන් නෙමෙයි.

සීතලට ගුලි වෙලා ඔයා නිදි ඇති.

අපි හෙට ඇහැරෙද්දිත් වහියි. ඇහැරිලා කතා කරද්දිත් වහියි. මෙහෙම එක දිගට වහින එක හොඳයි. වැස්ස කොහොමත් ලස්සනයි.

මං නිදාගන්න යනවා.

(2021. 06. 04)

© 2021 Pamuditha Zen Anjana