රෝස

රෝස පාට මල් පොළවට වැටෙන්න ගත්තා. රෝස මල් නෙමෙයි, රෝස පාට මල්. ලෝකේ තියෙන රෝසම පාට රෝස මලටත් වඩා තද රෝස පාට ඒ මල් පෙතිවල, සියුම් රශ්මියෙන් බැබළෙන රන් කෙන්ඳෙන් කේශනාලිකා රටා ඇඳිලා තිබුණා. වැටෙමින් තිබ්බ මල් කන්දරාව, අකාලෙට වැටුණු අනෝරා වැස්සක් වගේ මං වටේටම පොළවෙ හිස් ඉඩේ වැතිරිලා, නෝවාගේ මහා ගංවතුර වගේ මාව වහගෙන ඉහළ නැගෙන්න ගත්තා.

නොහිතපු මොහොතක, තත්පරයට කිලෝමීටර් අසූහාරලක්ෂයක ආලෝක වේගයෙන් විශ්වය ඔස්සේ ඇදීගෙන ආපු උල්කාපාතයක්, මල් මැදින් එබිකම් කරලා මගේ හිත ඇතුළට කිඳා බැහැලා පත්ළක නිදන්ගත වුණා. රුධිර නාළිකා ඔස්සේ එතෙක් තටු සළමින් ඔහේ ඒ මේ අත යමින් හිටපු සමණල්ලු හදිසියේ අත්තටු කැරැල්ලක් පටන් අරගෙන තිබුණා. ඒ අත්තටු වල ප්‍රවේගයටද මංදා අහස උසට නැගුණු මල් වතුරේ මං හෙමින් හෙමින් පාවෙලා අහස කරා නැගුණා. හුස්මක වියැකීමත් එක්ක හෘද පේශී මත්තට හදිසියේ ම විදුලි කොටන්න පටන් ගත්තම, එපමණ කාලයක් එළියේ නිද්‍රාශීලීව උන්නු රෝම කූප උද්ගමනය වුණා. හරියටම ඊට ප්‍රතිචාර දක්වන්නා වගේ, පහතරට තාලෙට අඩි තියමින් මං අවට නටමින් හිටිය සුමුදු සුළං රැළි කැළඹිලා සැඩ සුළං බවට පත්වුණා.

හිත වටේට හදලා අතෑරලා දාලා, ගරා වැටෙමින්, පාසි බැඳෙමින්, නටඹුන් වෙමින් තිබුණු මහා ප්‍රාකාර ශේෂයන් අළු බවට රූපාන්තරණය වෙලා ඒ ධාරාණිපාත හුළඟට ගහගෙන යත් දී නිල් අහස කළු වළාවන්ගෙන් වැහිලා මිරිකිලා, හදිසි සතුට නිසා ම හෝ ගාලා අඬා කඩාගෙන වැටෙන්න ගත්තා.

ලෝකෙම අල්ලගන්න පුළුවන් තරම් ඈතට විහිදලා දිගු කරගත්ත දෑතින් මං ඈ තරයේ වැළඳ ගත්තා. ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් තරම් ම සුමුදු ව සුසිනිඳු රෝස මල් පෙති මත මගේ මුළු හිතම ඇතිරුවා.

ඈ හිනා වුණා.

රහසින්. නොරහසින්. විශ්වයේ නොදන්නා කෙළවරවල් පවා එළිය කරගෙන ඈ හිනා වුණා. අපි දිහාටම ඇස් තියාගෙන හිටපු දිව්‍යලෝක පවා කුතුහලයෙන් ලජ්ජාවෙන් ඇඹරුණා. නිරාමිස සුවයෙන් ඉතිරෙන දිව්‍යමය ආශිර්වාද සංගීත කණ්ඩායම් වාතලය ගිගුම් දෙමින් තාලෙකට වයලීන් ගහන්න පටන් අරන් තිබුණා.

ක්ෂණයක ඇවෑමෙන් දැවෙන ඉර, මල්වතුරේ ගිලී මියැදී, සෞම්‍ය වූ රාත්‍රිය එළැඹුණා.

අමාවක කළුවරට රහසින් එළිය දෙමින්, මොහොතකට වත් බාධා නොකර හොරෙන්ම අපි දෙන්නා වටේ රටා අඳිමින් ඉඟි කරපු කණාමැදිරි රෑන් පිටින් අහසට නැගලා තරු එක්ක එකතු වුණා. නිවෙන දැල්වෙන තාරකා කණාමැදිරි එළි පිරුණු අහස දිහා ම බලාගෙන, කාලෙකට කලින් මියැදුණු පොළවක් මත, නැවත වතාවක් ආසාව දළුලන්න පටන් ගත්තා. හේදිලා පාළුවට ගිය ශිෂ්ටාචාරයන් මත ගැටුණු දෙව්මිනිස් සතුටු සංග්‍රාම මැද ආදරය ඉසියුම් ලතාවකට රළ නගමින් වෙරළ මත වැතිරුණා.

අපි හිටියේ අහස පුරා දිළුණු තරු ඇඟිලි තුඩින් නෙළමින්, හුස්ම මතින්, හුස්ම මගින්, එකිනෙක යාකරලා අපූර්ව තරුරටා මවමින්. ඒ තරු එළියට කාලාන්තරයක් තිස්සේ හුදෙකලාවට දුර්වර්ණ වෙමින් තිබුණු බිතුසිතුවම් මැකිලා වාෂ්පවෙලා ගියා. පට්ට රස්නෙට පුපුරා ගියපු සුපර්නෝවා නිසා, අහසේ ඇඳි තරුරටා, දිදුළන රත්‍රන් පැහැයෙන් දිය වෙලා, මගේ නහරයක් නහරයක් පාසා ගලාගෙන යන්න පටන් ගත්තා. කැරැල්ල මැද්දේ බචාටා පුරුදු වෙමින් හිටපු සමණල්ලු තාරකා දියරෙන් නැහැවිලා රෝසරන් පැහැයට හැරුණා.

මං එතකොටත් ඈ දෙනෙත් මත අනිමිස ලෝචනයක් වෙමින් ගැඹුරට පීනමින් හිටියේ.

පැත්තක ඉඳන් මට කතා කළේ මගේ ඉපැරණි මිත්‍රයා, දාවිත්. තාත්තගේ ගිණි පෙට්ටියේ හිටපු සුදු කැරපොත්තා. මට උගේ හඬ ඇහුණේ අතීතය හරහා හමා ආපු බටනලා රාවයක් වගේ. ඌත් එක්ක කරට අත දාගෙන හිටියේ රොබට්. ඌ උගේ ඔළුවටත් වඩා ලොකු පාට පාට තටු දෙක වන වන හෙණ සන්තෝසෙන් හිනා වුණා. උං දෙන්නගේ වටේ පියාඹමින් හිටියේ කාලෙකදි නාවුකයෙක් වෙලා හිටිය මට, මං සළකුණු පෙන්වපු තටු සිඳුණු වැහි ලිහිණියා. උගේ තටු ආයේ ලැබිලා කියලා තේරුණාම මාත් සන්තෝසෙන් ඉපිළුණා. උං ඔක්කෝම මං ගැන සන්තෝස වෙද්දි මං උං ගැන සන්තෝස වුණා.

පෙර සූදානමකින් තොරව ඊළඟට එළැඹුණේ කුරිරු ශීත කාලය. නිද්‍රා ශිශිරය අපිට නොදන්වා ම පොළෝ තලය මත ඇඳෙන්නට වුණා. සියල්ලෝම අකමැත්තෙන් වුණත් ශිශිරතරණය කරන්න ගුහා වල හැංගිලා ගුලි වෙත් දී, අවට ඔක්කෝම සුසුදු පැහැති සීතලෙන් වෙළිලා යත් දී, අපි විතරක් එකිනෙකාගෙ උණුසුම අස්සේ හැංගිලා කාළ තල දර්පණ ඔස්සේ කාලයත් එක්ක තුරඟ තරඟ වල නියැලුණා.

ලොක්ඩවුන් රේස් එක පුදුමාකාර තරම්, තරණයට නොහැකි තරම් දිගයි. තනි නොතනි හිතකට නොහිතෙන තරම් දුරයි. සෘජු කශේරුකා ඇද වෙන තරම් වේගෙන් කඩාගෙන එන මළකඩ හුළං පාර සැඩ යි. ඇබ්බැහි ය හුස්ම ට වඩා ළඟයි.

හුදෙකලා සයනය පට්ට ම පාළුයි.

පැත්තකට කරලා තිබ්බ කොට්ටයක් බදාගත්තු ම‍ං ආයේ ඔයාව හැබැහින් දකින්න දින ගණන් කළා.

© 2021 Pamuditha Zen Anjana