වෙලාව එකයි එකොළහයි

එළියේ වහිනවා. ඔයාව මට මතක් වෙනවා. අවුරුදු ආලෝක වර්ෂ ගාණක් ඔයා මට කතා කළේ නෑ. නෑ කතා කරනවා. ඒත් ඒ ඔයා නෙමෙයි. ඔයා හදාගත්තු වෙන මනුස්සයෙක් ද කොහෙද. මට හිතෙන්නේ එහෙමයි. එක්කෝ මං දන්නේ එහෙමයි.

ඒක එහෙම නෙමෙයි වෙන්න ඇති. ඒ ඔයාම වෙන්න ඇති. මට ඒ දෙකම එකයි. හැබැයි ඒ දෙක දෙකක්. මොන විදිහෙන්, මොන රූපෙකින් ආවත් ඔය ලස්සන විශ්වයට මං ආසයි. අත් නොහැර හුස්මක් තරම් ම ළඟින් තියාගන්න තරම් ආදරෙයි.

ඒත් එළියේ අකුණු ගහනවා. අහස අඬනවා. බැරි ම තැන ගොරවනවා. ඇයි මං ඔයා ගාව නැත්තේ කියලා ගෝරනාඩු කරනවා. මාව ම ප්‍රශ්න කරනවා. අඬන්න බැරි තැන මං වහිනවා.

අද ගෙදර ආවේ සෑහෙන වේලාසනින්. මංදා ඇයි කියලා. බියර් එකයි ගල් බාගෙට පස්සේ බාර් එකෙන් එළියට බහිද්දිත් වහිනවා. ඇරලා තිබ්බ හෝටලෙන් කෑම ගනිද්දිත් වහිනවා. ගෙදර ඇවිත් කෑම තියලා තිබ්බ නිසා හෝටලෙන් ගත්තු එක ෆ්‍රිජ් එකට දාන්න කියලා අම්මව ඇහැරවද්දිත් වහිනවා. සතියකට කලින් හෝදන්න දාලා වහලා දාපු රෙදි කූඩයක් උඩ නෑඹිලියකින් වහලා තිබ්බ කෑම එක අතට ගනිද්දිත් වහිනවා. නෑඹිලිය එතනින්ම තියලා කන්න කියලා හිතාගෙන අරං ආපු කෑම එක කී බෝඩ් එක ළඟ තියාගෙන මේක ටයිප් කරද්දිත් වහිනවා.

කොච්චර වැස්සත් මේක අනෝරා වැස්සක් නෙමෙයි. ඔයා වගේම මල් වැස්සක්. හිත නිවන තැනක්.

මං වැස්සට පට්ට ආසයි. ඔයත් එහෙමයි. ඒ වුණාට ඔයා මට ආස නෑ. මට මුලිං හිතුණේ එහෙමයි. නෑ. ඔයා මට ආසයි. මං ඔයාට ආදරෙයි. ආදරේ, ආසාව මාරයි. ඒක එහෙමයි. අපේ කතාව වැස්ස පොළවට ඇදගෙන වැටෙනවා වගේ ම ලස්සනයි.

මං ඔයා ගාවට ඇදගෙන වැටුණද ඔයා මං ගාවට කඩාගෙන වැටුණද මං දන්නෑ. මං ඒක හොයන්නෙත් නෑ. මට ඒක කොහොම වුණත් ලොකු වෙනසක් නෑ. එකම දේ ඔයා මං ළඟ නිසා.

ඒක කවදාහරි එහෙම නොවෙන තැනකට ගියොත්…, ඕන්නෑ! ඒක දැම්ම ඔළුවේ ප්‍රෝසස් කරගන්න ඕන දෙයක් නෙමෙයි. මොළේට අගුළු දාන්න බෑ තමයි. ඒත් මොළේ ඉග්නෝ කරන්න පුළුවන්. මොළෙන් සතපහක වැඩක් නෑ.

හැබැයි හිත…

හිතට මොකුත් කියන්න බෑ. හිත ඕන වෙලාවක හරි. ඒක එහෙමයි. කවුරු හරි එහෙම නෑ කියන්න ලෑස්ති නං මං ලෑස්තියි ඒ මොහොතේ ඉඳං ලෝකේ කෑලි කෑලි වලට කීතු කීතු වෙන්න කුඩුපට්ටං වෙලා සුන්නද්ධූලි වෙලා යනකං ඌත් එක්ක ද්වන්ධව සටනකට යන්න. ඒ කිව්වේ ෆේස් ටු ෆේස් ගේමක්. ෆේස් ඕෆ් එකක්. මං ඒකට බය නෑ.

හැබැයි ලෝකේ වැඩකරන්නේ එහෙමම නෙමෙයි. ඔයා මං ළඟ නෑ. මං ඔයා ළඟ නෑ. මේ ලියන දේවල් මට වාරු නෑ. හරියටම එළියේ වැස්ස වගේ. බාගෙට වැදිලා අකුරු අමුණලා වචන ගොතලා හිතන දේවල් මවන දේවල් කීස් ඔබලා ටයිප් කරලා දාද්දී, ඇත්ත මොකද්ද බොරුව මොකද්ද ඇත්තයි බොරුවයි මැද්දේ තියෙන හැඟීම්, හැඟවීම් මොනවද කියලා තේරෙන්නේ නැතුව යනවා. ලස්සන දේවල් මිස් වෙලා යනවා.

අකුරු, වචන, වාක්‍ය, ඡේද බොඳ වෙලා යනවා.

ඉතිං මං ලස්සන දේවල් විතරක් ම හිතනවා. අනිත්වා ලෝකෙට භාරගන්න දෙනවා. උං ඒවා බලාගත්තාවේ. ඒවා මගේ ප්‍රශ්න නෙමෙයි. මං හැමදාම කිව්වා වගේ ඒවා ඔයාගේ ප්‍රශ්නත් නෙමෙයි. කාලයයි, ලෝකයයි, ඒවා ගැන වොරි වෙන අනිත් උනුයි ඒවා බලාගත්තා වේ.

මේ ලියන හැම දේම තාලෙකට හිත පුරා ප්ලේ වෙන්න ගන්නවා. ඒක හරියටම මේ වෙලාවෙ බැක්ග්‍රවුන්ඩ් එකෙන් ප්ලේ වෙන සිංදුවට සර්වසමපාත වෙනවා. ඒක මාරයි. ඔව්. මේ වෙලාවේ ප්ලේ වෙන්නේ – තඩි අකුණක් ගැහුවා ඇස් නිලංකාර වෙන්න, හැබැයි ගෙරවිල්ල සුමුදුයි. අකුණ සැරයි, ගෙරවිල්ල මුදුයි. ඒකත් ඔයා වගේ ම තමයි.

මං කිය කිය හිටියේ මේ වෙලාවෙ ප්ලේ වෙන සිංදුව. වැස්ස වහළෙට වැටෙන හීන් සද්දෙත් එක්ක, බෙන් ලෝන්කල් සෝල් ගේ “ඇඩික්ටඩ්” ප්ලේ වෙද්දි, මං මෙහෙම ඔයා ගැන හිතනවා.

මේ වෙලාවේ ඇත්තම ප්‍රශ්න වෙන මොනාවත්ම නෙමෙයි.

ඔයා මේ වෙලාවේ මං ගැන හිතනව ද? මේ වෙලාවේ ඔයත් සිංදුවක් අහනව ද? ඔයා ඉන්න තැනටත් මේ වෙලාවේ වහිනව ද?

මත් වෙලා අපි මත්තේ වැතිරෙන, ඉසියුම් ව වහළේ අඩි තියන, වැස්සත් එක්ක මාව මතක් වෙනව ද?

© 2021 Pamuditha Zen Anjana