“අසරීරං ගුහාසයං”

ගනුදෙනු කාර භවතුන් පෝළිමට වැඩියා
මම ගල්ලෙනෙන් පිට වෙලා නැවක් හොයාගෙන ගියා
මුහුදු යන්න නෙමෙයි ගෙයක් හදාගන්න
“අපිට කොහෙද පූසෝ මාළු? අපි යනවද මූදු?”
පාර දිගට නැවත් කරේ තියාගෙන ඇවිදපු මට
මිනිස්සු මල් වලින් ගැහුවා
නෑ- මිනිස්සු මල් ගැහුවා
සොරි- ඒක එහෙම නෙමෙයි වුණේ
ආයෙ මුල ඉඳන් එන්නම්

ගනුදෙනු කාර භවතුන් පෝළිමට වැඩියා
මම ගල්ලෙනෙන් පිට වෙලා
නැවක් හොයාගෙන ගියා
මුහුදු යන්න තමයි
මම ධීවරයෙක් නෙමෙයි
ධීවරයන්ට තියෙන්නේ බෝට්ටු
ඇයි මූදු යන්න පුළුවන් ධීවරයොන්ට විතර ද?
නිකම්ම නිකම් මිනිහෙක් වෙච්ච මට මූදු යන්න බැරි ද?

නැවත් කරේ තියාගෙන පාර දිගට ඇවිදපු මට
මිනිස්සු හූ කිව්වා
අපි සැලෙයි ඔව්වට
හූ සද්දෙට බයේ නැව නම් කරෙන් පැනලා දිව්වා
නැව්වලටත් ලැජ්ජ බය ඇති!

මං හිටියේ
තඩි බිම් මල් යායට වැවිලා තිබ්බ දූපතක
දූපත ලොකු ද?
ඔව් දූපත ලොකුයි!
දූපතේ මිනිස්සුන්ට දූපත ලොකුයි
ඒකනේ මූදු යන්න නැවක් ගත්තේ
ආ.. නැව පැනලා ගියානේ..!
කාත් එක්ක ද?

තනියම

හඳපානේ ‘වැටවුට්’ නෙමෙයි
කට්ට අව්ව තියෙන මහ දවල්
හූ සද්දෙට බයේ පැනලා ගියා

මම ගල්ලෙනෙන් පිට වෙලා නැවක් හොයාගෙන ගියා
මුහුදු යන්න නෙමෙයි ගෙයක් හදාගන්න
ඉන්න හොඳ තැනක් හොයාගන්න

මම යන පාර දිගට නිල් කටරොඩු මල් වැවිලා තිබ්බා
මිනිස්සු මට ආශිර්වාද කළා
“හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී!”
දෙවියෝ නමට වැන්ඳා
ඇත්තට නෙමෙයි නිකම් බොරුවට
නමට!

එක පාරට මහ පාර කෙළවර වුණා තඩි හෙළකින්
කෙළවරේ, ගැට්ට උඩ නැව ඉඳගෙන හිටියා
හෙළෙන් පහළ තිබ්බේ සුනාමියකට අත වනන මුහුද
හෙළ උඩ හිටියේ “පනින්න පෙර සිතා බලන” නැව

මම ළඟට යද්දි නැව බිම් මලකට රූපාන්තරණය වුණා
ඒක විසල් බිම්මලක්
දැක්කම බය හිතෙන සයිස් එකේ එකක්
අතේ තිබ්බ චේන් සෝ එකෙන්
බිම් මලේ මුල ගාවින් කපපු මම
ඒක මුහුදට තල්ලු කළා
සොරි- ඒක එහෙම නෙමෙයි වුණේ
ආයේ මුල ඉඳන් එන්න කම්මැලියි

“මට මතක නෑ!”

කොහොමත් මගේ මතකය දුර්වල වෙලා
මතක මාවත් වලට තඩි ගල් කඩන් වැටිලා
ඒවා බ්ලොක් වෙලා!

මම බෝම්බයක් පිටේ බැඳන්
හෙළෙන් පල්ලෙහාට පැන්නා

සූඌඌඌඌඌඌඌට් ප්වොහ්!

© 2016 Pamuditha Zen Anjana