සප්‍රාණික

මං පිම්බුවා බැලුමක්. ඒක රතුපාටයි. පිම්බෙන්න පිම්බෙන්න ජබ්බේ වෙන බැලුම දිහා ඈතින් බලං හිටපු ඉරේ රස්නේ වැදිලා, රතු පාට බැලුම සුදු පාටට දිළිසෙන්න ගත්තා. ඉර සුදු පාට නං ඇයි ලංකාව කහ පාට? ලංකාවට පේන ඉර කහ පාට නම් ඇයි නුවර සීතල එළිය කැමරාවට සුදු පාට. ඕක මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක්. හරියට ගත්තොත් ප්‍රහසනයක්. ඒ කිව්වේ කොමඩියක්. කොමඩියට සිංහලෙන් කියන්නේ ප්‍රහසනය. හරියටම ෂුවර් නෑ. හැබැයි මතක විදිහට ඒක තමයි වචනේ. ඒක කොමඩියක් වෙන්නේ මං කළු නිසා. කළු. දුඹුරු. තළෙලු. මෙලනින්. මංදා. මට පාට හරියට පේන්නෑ. පේන්නෑ නෙමෙයි තෝරගන්න තේරෙන්නෑ.

කහ පාට ඉර එළියට කළු පාට තව තද වෙනවා. මළ පනිනවා. රස්නේ උරාගන්නවා. රස්නේ උරන්න උරන්න තව මළ පනිනවා. මේ වගේ විසිහතර පැයේ ඉර පායන රටක, කළු හමක් තියෙනවා කියන්නේ තනිකර බ්ලැක් හෝල් එකක්. මළේ තරම හිතාගන්න වෙනවා. මං එච්චර කළු නෑ. ඒ නිසා ෂේප්.

ෂේප් නිසා මං බැලුමක් පිම්බුවා. ඒකත් මහ දවල්. ඒකයි ඔච්චර දිළිසුම. බැලුම දුන්නේ පොලිසියෙන් නෙමෙයි. මං හිටියේ බීලත් නෙමෙයි. හැබැයි බැලුමේ පාට වෙනස් වුණා. ඒ එක්කම එයාගේ ඇස් දෙකත් වෙනස් වුණා. මෙච්චර වෙලා මං දිහා සනීපෙට බලාගෙන හිටපු ඇස් දෙක හීනි වුණා. චීන වුණා. ගංජා ගැහුවම වෙනවා කියනවා වගේ රතු වුණා. අල්ලන්න පොලිසියෙන් නොහිටියට චෙක් කරන්න එයා හිටියා. එයා කිව්වේ එයාට. එයා ලස්සනයි.

ලස්සනයි කිව්වට බුදු අම්මෝ ලස්සනක් නෙමෙයි. පොඩ්ඩක් කියුට්. කියුට් කියන්නෙ හුරුබුහුටි නෙමෙයි. ඒ සිංහලයොංගෙ බොරුවක්. උං ඉංග්‍රීසි වචනවලට පට්ට බොරු තේරුම් දෙනවා. ඉංග්‍රීසියෙන් කිව්වම ෆීල් වෙනදේ ලොවෙත් ෆීල් නොවෙන පට්ට ගොබ්බ වචනයක් අර ඉංග්‍රීසි වචනය වෙනුවට වද්දගන්නවා. ආදේශ කරගන්නවා. ඊට පස්සේ ඒක නෙමෙයි මේක කියාගෙන මැරෙන්න හදනවා. ඉතිං හෙණ පෝසත් භාෂාවක් ලු. එක්කො මං භාෂාව දන්නෑ. එක්කො උං ෆීලිංස් දන්නෑ. මං කැමතියි දෙවනි එක ඇත්ත කියලා හිතන්න.

ඇත්ත කියන්නේ ගොඩක් වෙලාවට හැමෝගෙම බොරුවක්. බොරුව කියන්නේ සමහරවෙලාවට උඹේ ඇත්තක්. බොරුවයි ඇත්තයි කියන්නේ සමහරවෙලාවට තේරුමක් නැති වචන දෙකක්.

එයාට කොල්ලෙක් ඉන්නවා. නෙමෙයි, මං එහෙම හිතනවා. මොකද මට ලේසියි. සෙකන්ඩ් තර්ඩ් ස්ටෙප්ස් ඕන්නෑ. කෙලිම්ම පළවෙනි ස්ටෙප් එක. මං එයාට කැමතියි. එච්චරයි. එයා මට කැමතිද කියන එක දැනගන්න හිතන එක දෙවනි සෙටෙප් එක. එයාගෙ අදහස දැනගන්න එක තර්ඩ් ස්ටෙප් එක. පඩිපෙළේ මම නගින්නේ පඩි දෙකතුනක් එක පාර. හැබැයි මං ඇවිදින්නේ එක තැන. ට්‍රෙඩ් මිල් එකක් උඩ. පළවෙනි පඩිය තමයි අර ට්‍රෙඩ් මිල් එකේ බෙල්ට් එක වගේ කැරකිලා ආයෙමත් උඩට එන්නේ. ට්‍රෙඩ් මිල් එකට වඩා එස්කලේටර් එක හොඳ උදාහරණයක්. ඒත් දැං ආයෙත් උඩ ඉඳං හදන්න කම්මැලියි.

මං පට්ට කම්මැලියෙක්. කාලකණ්ණියෙක්. කාලකණ්ණියෙක් කියන්නේ නරක දෙයක් නෙමෙයි. උං කියන විදිහටම උඹ ඉන්නෝන කියලා එකක් නෑ. කාලේ කන එකත් වැඩක් තමයි. නිකංම නිකං මිනිහෙක්ටත් එහෙම ලේසියෙන් කාලේ කන්න බෑ. බොරුනං සද්දයක් වත් නෑහෙන්න සීල් කරපු එළිය බිංදුවක් නැති තනිකර කළුවර කාමරේක කොච්චර කල් මොකුත් නොකර ඉඳං ඉන්න පුළුවන් ද බලපං. නෑ නිකමට හිතලා බලහං.

ඒකයි මං නිදාගන්නේ. නිවන කියන්නේ මරණෙට වඩා සැප දෙයක් ලු නේ. එහෙනං නින්ද කියන්නේ නිවනට වඩා සැප දෙයක්. ඇවිළෙන එක නිවනවට වඩා සැප දෙයක් ලු. කොහොමත් ඔළුව ඕෆ් නොකර ජීවත් වෙන ගමන් ජීවත් වෙනවා කියලා නොදන්න එක පට්ට සනීප තැනක්. ඒකයි ගෙදර ඇඳට වඩා සැප තැනක් හම්බ නොවෙන්නේ. එයාව ගෙනල්ලා ගෙදර තියාගන්න මට ඕන නැත්තේ ඒකයි. මට නිවන දුර ඒකයි. තාම මට මරණේ ඕන නැත්තේ ඒකයි. නින්ද ළඟ තියෙනකං නිවනෙයි මරණෙයි ලස්සන මට කියලා වැඩක් නැත්තේ ඒකයි. ඒක නිසා මං දිරපු දතේ හිල හාරන්න ළඟ තියාගෙන හිටපු කට්ටක් අරගෙන බැලුමට ඇන්නා.

මං පිපුරුණා.

රතු පාට ලේ,
බඩ බොකුවැල්,
මොළකෑලි,
දඟලන නළියන නහර,
කෑලි කුඩු වෙච්ච ඇටකටු,
බම්ප් වෙන කැරකෙන ඇස් ගුලි,
ගැළවිච්ච ඇඟිලි,
හුස්ම නැතුව ගැහෙන හදවතක්,
තදට තදේ සප්‍රාණික වුණ පකක්;

මං වටකරගෙන මං ආසම හින්දි සිංදුවක් දාගෙන නැටුවා. හෙණ සුදු පාට එළියක් ඈතින් අත වැනුවම මම පියවියට ආවා.

එළියේ වහිනවා. වැස්ස අතරින් එයා මට අත වැනුවා. එයා කිව්වේ ඉරට නෙමෙයි. එයාට. එයා හරි ලස්සනයි. මං සිගරට් එකක් පත්තු කරගෙන, අංශක එකසිය අසූවක් හැරිලා, ඒ පැත්තට අඩිය තියන්න පටන් ගත්තා.

© 2020 Pamuditha Zen Anjana