සප්‍රාණික

මං පිම්බුවා බැලුමක්. ඒක රතුපාටයි. පිම්බෙන්න පිම්බෙන්න ජබ්බේ වෙන බැලුම දිහා ඈතින් බලං හිටපු ඉරේ රස්නේ වැදිලා, රතු පාට බැලුම සුදු පාටට දිළිසෙන්න ගත්තා. ඉර සුදු පාට නං ඇයි ලංකාව කහ පාට? ලංකාවට පේන ඉර කහ පාට නම් ඇයි නුවර සීතල එළිය කැමරාවට සුදු පාට. ඕක මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක්. හරියට ගත්තොත් ප්‍රහසනයක්. ඒ කිව්වේ කොමඩියක්. කොමඩියට සිංහලෙන් කියන්නේ ප්‍රහසනය. හරියටම ෂුවර් නෑ. හැබැයි මතක විදිහට ඒක තමයි වචනේ. ඒක කොමඩියක් වෙන්නේ මං කළු නිසා. කළු. දුඹුරු. තළෙලු. මෙලනින්. මංදා. මට පාට හරියට පේන්නෑ. පේන්නෑ නෙමෙයි තෝරගන්න තේරෙන්නෑ.

කහ පාට ඉර එළියට කළු පාට තව තද වෙනවා. මළ පනිනවා. රස්නේ උරාගන්නවා. රස්නේ උරන්න උරන්න තව මළ පනිනවා. මේ වගේ විසිහතර පැයේ ඉර පායන රටක, කළු හමක් තියෙනවා කියන්නේ තනිකර බ්ලැක් හෝල් එකක්. මළේ තරම හිතාගන්න වෙනවා. මං එච්චර කළු නෑ. ඒ නිසා ෂේප්.

ෂේප් නිසා මං බැලුමක් පිම්බුවා. ඒකත් මහ දවල්. ඒකයි ඔච්චර දිළිසුම. බැලුම දුන්නේ පොලිසියෙන් නෙමෙයි. මං හිටියේ බීලත් නෙමෙයි. හැබැයි බැලුමේ පාට වෙනස් වුණා. ඒ එක්කම එයාගේ ඇස් දෙකත් වෙනස් වුණා. මෙච්චර වෙලා මං දිහා සනීපෙට බලාගෙන හිටපු ඇස් දෙක හීනි වුණා. චීන වුණා. ගංජා ගැහුවම වෙනවා කියනවා වගේ රතු වුණා. අල්ලන්න පොලිසියෙන් නොහිටියට චෙක් කරන්න එයා හිටියා. එයා කිව්වේ එයාට. එයා ලස්සනයි.

ලස්සනයි කිව්වට බුදු අම්මෝ ලස්සනක් නෙමෙයි. පොඩ්ඩක් කියුට්. කියුට් කියන්නෙ හුරුබුහුටි නෙමෙයි. ඒ සිංහලයොංගෙ බොරුවක්. උං ඉංග්‍රීසි වචනවලට පට්ට බොරු තේරුම් දෙනවා. ඉංග්‍රීසියෙන් කිව්වම ෆීල් වෙනදේ ලොවෙත් ෆීල් නොවෙන පට්ට ගොබ්බ වචනයක් අර ඉංග්‍රීසි වචනය වෙනුවට වද්දගන්නවා. ආදේශ කරගන්නවා. ඊට පස්සේ ඒක නෙමෙයි මේක කියාගෙන මැරෙන්න හදනවා. ඉතිං හෙණ පෝසත් භාෂාවක් ලු. එක්කො මං භාෂාව දන්නෑ. එක්කො උං ෆීලිංස් දන්නෑ. මං කැමතියි දෙවනි එක ඇත්ත කියලා හිතන්න.

ඇත්ත කියන්නේ ගොඩක් වෙලාවට හැමෝගෙම බොරුවක්. බොරුව කියන්නේ සමහරවෙලාවට උඹේ ඇත්තක්. බොරුවයි ඇත්තයි කියන්නේ සමහරවෙලාවට තේරුමක් නැති වචන දෙකක්.

එයාට කොල්ලෙක් ඉන්නවා. නෙමෙයි, මං එහෙම හිතනවා. මොකද මට ලේසියි. සෙකන්ඩ් තර්ඩ් ස්ටෙප්ස් ඕන්නෑ. කෙලිම්ම පළවෙනි ස්ටෙප් එක. මං එයාට කැමතියි. එච්චරයි. එයා මට කැමතිද කියන එක දැනගන්න හිතන එක දෙවනි සෙටෙප් එක. එයාගෙ අදහස දැනගන්න එක තර්ඩ් ස්ටෙප් එක. පඩිපෙළේ මම නගින්නේ පඩි දෙකතුනක් එක පාර. හැබැයි මං ඇවිදින්නේ එක තැන. ට්‍රෙඩ් මිල් එකක් උඩ. පළවෙනි පඩිය තමයි අර ට්‍රෙඩ් මිල් එකේ බෙල්ට් එක වගේ කැරකිලා ආයෙමත් උඩට එන්නේ. ට්‍රෙඩ් මිල් එකට වඩා එස්කලේටර් එක හොඳ උදාහරණයක්. ඒත් දැං ආයෙත් උඩ ඉඳං හදන්න කම්මැලියි.

මං පට්ට කම්මැලියෙක්. කාලකණ්ණියෙක්. කාලකණ්ණියෙක් කියන්නේ නරක දෙයක් නෙමෙයි. උං කියන විදිහටම උඹ ඉන්නෝන කියලා එකක් නෑ. කාලේ කන එකත් වැඩක් තමයි. නිකංම නිකං මිනිහෙක්ටත් එහෙම ලේසියෙන් කාලේ කන්න බෑ. බොරුනං සද්දයක් වත් නෑහෙන්න සීල් කරපු එළිය බිංදුවක් නැති තනිකර කළුවර කාමරේක කොච්චර කල් මොකුත් නොකර ඉඳං ඉන්න පුළුවන් ද බලපං. නෑ නිකමට හිතලා බලහං.

ඒකයි මං නිදාගන්නේ. නිවන කියන්නේ මරණෙට වඩා සැප දෙයක් ලු නේ. එහෙනං නින්ද කියන්නේ නිවනට වඩා සැප දෙයක්. ඇවිළෙන එක නිවනවට වඩා සැප දෙයක් ලු. කොහොමත් ඔළුව ඕෆ් නොකර ජීවත් වෙන ගමන් ජීවත් වෙනවා කියලා නොදන්න එක පට්ට සනීප තැනක්. ඒකයි ගෙදර ඇඳට වඩා සැප තැනක් හම්බ නොවෙන්නේ. එයාව ගෙනල්ලා ගෙදර තියාගන්න මට ඕන නැත්තේ ඒකයි. මට නිවන දුර ඒකයි. තාම මට මරණේ ඕන නැත්තේ ඒකයි. නින්ද ළඟ තියෙනකං නිවනෙයි මරණෙයි ලස්සන මට කියලා වැඩක් නැත්තේ ඒකයි. ඒක නිසා මං දිරපු දතේ හිල හාරන්න ළඟ තියාගෙන හිටපු කට්ටක් අරගෙන බැලුමට ඇන්නා.

මං පිපුරුණා.

රතු පාට ලේ,
බඩ බොකුවැල්,
මොළකෑලි,
දඟලන නළියන නහර,
කෑලි කුඩු වෙච්ච ඇටකටු,
බම්ප් වෙන කැරකෙන ඇස් ගුලි,
ගැළවිච්ච ඇඟිලි,
හුස්ම නැතුව ගැහෙන හදවතක්,
තදට තදේ සප්‍රාණික වුණ පකක්;

මං වටකරගෙන මං ආසම හින්දි සිංදුවක් දාගෙන නැටුවා. හෙණ සුදු පාට එළියක් ඈතින් අත වැනුවම මම පියවියට ආවා.

එළියේ වහිනවා. වැස්ස අතරින් එයා මට අත වැනුවා. එයා කිව්වේ ඉරට නෙමෙයි. එයාට. එයා හරි ලස්සනයි. මං සිගරට් එකක් පත්තු කරගෙන, අංශක එකසිය අසූවක් හැරිලා, ඒ පැත්තට අඩිය තියන්න පටන් ගත්තා.

© 2020 Pamuditha Zen Anjana

පෙති කපපු සැන්විච් පාන්

හෙණ කම්මැලියි. මුස්පේන්තුයි. අර හඳයගෙ නාට්‍යානුරූපික භාෂාවෙන් ලියැවිච්ච ඩයලොග් එකක් වගේ කිව්වොත්, “මට මහා හිස්කමක් දැනෙනවා සුභද්‍රා”. ඔය ගෝතමංගේ අන්තිම වචනය. කිව්වේ සුභද්‍රාට. ඒ කෑල්ල මෙහෙම දාන්න ඕනම නෑ. ඒ වුණාට හිතුවක්කාරකම ඒක අයින් කරන්න ඉඩ දෙන්නෑ. හිතලා බලෙන් ඔබ්බලා දැම්මා නෙමෙයි. ඉබේම එනවා. අමුත්තක් නෑ. ළඟ ඉන්න උං දන්නවා. හේතුවක් මංදා. උං දන්නෙත් නෑ. හිනා යනවා.

සඳ බයිලා අහලා තියෙනව ද? අහලා නැත්තං ඔය මං ඇරෙන්න රටේ ලෝකේ හැමෝම කියන දේවල් අහං හිටහං. ඒවට තමයි සඳ බයිලා කියන්නේ. සමහර වෙලාවල් තියෙනවා, ලියන්නේ මොනවද දන්නෙත් නෑ, ලියන්නේ මොන ඉලව්වක් ද කියලා දන්නෙත් නෑ. එහෙම ලියවෙන වෙලාවට මේ ඔක්කොම සිලෙක්ට් කරලා ඩිලීට් කරලා දාන්න හිතුණට, පස්සේ ලෝබයි. සිංදුවක් ඉවර වෙනකම්ම ලියපු වචන තොගයක් නෙ. නවල් එකක් තියෙනවා. තියෙනවා කියන්නේ තාම ලියනවා. චැප්ටර්ස් හය හතක් ඉවරයි. ඉවරයි කිව්වට ඒ ටිකම තමයි ආයෙ ආයෙ එඩිට් කරන්නේ. ලියලා ඉවර වුණොත් අපරාදේ. ආයේ වෙනම පටන් ගන්න වෙනවනේ. මේ ලියද්දි, හිත යටිං හිනා වෙන සද්දේ ලියන්න තේරෙන්නෑ. එහෙම ලිව්වම ඒ සද්දෙ ඇහෙනවනං මට ඕන වැඩේ වෙලා නේ. ඒ කියන්නේ ඒ සද්දෙ ලියන්න පුළුවන්.

හැබැයි මට ඇහෙන සද්දෙමද මේක කියවන උඹට ඇහෙන්නේ?

ඕක මට පොඩි කාලේ ඉඳම්ම තියෙන ප්‍රශ්නයක්. මට පේන දම් පාටම ද තව එකෙක්ට පේන්නේ. එහෙම නෙමෙයි නම් අපි දම් පාට කියන එක දම් පාට වෙන්නේ කොහොම ද? තමන්ගෙන් තොර දම් පාට කියන්නේ මොන උලව්වක් ද? මං කුණුහරුප දන්නවා. මේවා කුණුහරුප වෙන්නත් පුළුවන්. හැබැයි මං දන්න කුණුහරුප වෙනස්. ඒවා සමාජ සම්මත කුණුහරුප. කුණුහරුප නං අසම්මත වෙන්න ඕන. ආ නෑ නේ. පස්සේ කල්පනා කළාම අසභ්‍යය කියන්නේ සම්මතයක්. අසභ්‍යය සම්මතයක් වගේම සම්මතය සභ්‍යයක්. සම්මතය අස්සේ අසම්මත වෙන එක ප්‍රොජෙක්ට් එකක් වුණාම ඔය වගේ ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා මගෙ හිතේ. අසභ්‍ය කියන සම්මතය කඩන්න වෙන ක්‍රම හොයන්න ඕන. ඒත් එතකොට අසම්මතය කියන සම්මතය කඩන්නේ කොහොම ද? සිස්ටම් එකේ ඉන්න ගමන් සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියන එකත් සිස්ටම් එකේම කෑල්ලක් නොවෙන්නේ කොහොම ද? ඔන්න කල්පනා කරනවනං ප්‍රශ්න. ට්‍රැකේ උපත.

මොංගලන් ගියා විශ්වයේ කෙළවර හොයාගෙන. ගිහිල්ලා අතරමං වුණා. අචින්ත්‍යය දේවල් තියෙනවා කියලා දැනගැනීමම චින්ත්‍යයි නේ ද? මොංගලන් ට ඕක තේරෙන්නැද්ද? විකාර.

කපරාරු නොකරපු බිත්තියක් අයිනෙං කෙලිං උඩටම ඇදිච්ච තඩි පීවීසී බටේ දිගේ ඇවිදං යන මී තාත්තට, තත්පර ගාණක් ඇතුළේ ඔය බරසාර සාගරයක් වගේ ටික හිතුණට කාටවත් කියාගන්න තේරෙන්නෑ. අඩුම ගාණේ මේ ඌගෙ සිතුවිලි ද කියලවත් පොරට ෂුවර් නෑ. හැබැයි වෙන එකෙක්ට හිතෙන දේවල් ඌගෙ හිතට හිතෙන්න විදිහක් නෑ නේ? පුළුවන් ද මංදා? හැබැයි ඌට මීට කලින් කවදාවත් ඔහොම හිතිලත් නෑ. පොර බිත්තියෙ හුළං කවුළුවකිං බූස් ගාලා රිංගලා, සූස් සූස් ගාලා කපරාරු නොකරපු සිමෙන්ති ගල් වල ගැටි අල්ලං පහතට බැස්සා. පහත තිබ්බේ හැඩි වෙච්ච මේසයක්. මේසේ උඩ තිබ්බ පොත් පත් ලැප්ටොප් වයර් ලයිටර් සිගරට් කොට පිරිච්ච ඈෂ් වලින් හැඩදාපු අළු බඳුන් අනංමනං ලට්ට ලොට්ට අස්සේ ලස්සනට පෙති කපලා පොලිතින් එකකිං වැහිලා සීල් වුණ සැන්විච් පාං රාත්තලක්. රාත්තල කියන්නේ ටිකක් බර වුණාට මී තාත්තට තිබ්බේ පවුල ජීවත් කිරීමේ බර කරගහලා රැට් රේස් එකේ දුවලම එක්සයිස් එකෙන් හැදිච්ච පදාර බයිසෙප්ස් ට්‍රයිසෙප්ස් සහ අනිත්සෙප්ස්. සිංහලෙන් කිව්වොත් මොල්ලි ගොඩයි. මොල්ලි ගොඩ මී පරපුර. ලේසි නෑ. ආයේ ෆුල් ග්‍රයින්ඩ් එකේ ලයිෆ් ජිම් යන බුවෙක්ට රාත්තලත් ගේමක් ද ඕයි? මී තාත්තා එහෙම හිතාගෙන ගට්ස් කටට අරං පොලිතින් එක හපාකාලා කටින්ම පාං එකේ යට පැත්ත නිරුවත් කළා. ළාවට වගේ රහත් බලලා පෙති දෙක තුනක් විනාශ කරලා දූෂණය කළාට පස්සේ තමයි ආයෙමත් පවුල මතක් වුණේ.

මී තාත්තා දන්න ලබ්බේ පවුල් සැලසුමක් නෑ. මී අම්මටයි කලිං පවුලේ දුවල දෙන්නටයි ඔහේ හුකලා ළමයි සීයයි. මී සීයටත් සීයයි. අහළ පහළ පූසොංගෙනුයි ඉඳහිට කඩාපනින ගැරඬිංගෙනුයි අනේකවිධ පාරසරික උලව් නිසයි මැරිච්ච උං අමතක කළාම දැං ඉතුරු මී ළමයි පහයි. මී මුත්තො නං හත් දෙනයි. ජීවත් වෙන්න නොසෑහෙන තරම් හිතේ හැටියට කන්න ඕන තරම් කෑම තිබ්බා. මීයෝ ඉන්න ගෙදර තිබ්බ ගෙදර ඉන්න මනුස්සයොංට හොඳටම ට්‍රැක. උං තාප්පෙ උඩට බත් දානවා ලේන්නුංට කුරුල්ලොංට කන්න. උංට වඩා ඒවා කෑවේ මී පවුලේ උං. කොච්චරනං කෑවද කිව්වොත් දුටුගැමුණුගෙ ආම් එකේ උඩ මොල්ලිය තරම් ලොකුවට ඒ මී පවුලේ මීයො ලොකු වුණා. ලොකු වෙන්න ලොකු වෙන්න උංගෙ කෑමේ හැකියාවත් ලොකු වුණා. කෑමේ හැකියාවෙ තරමට අර ගෙදර ගෑණි තාප්පෙට දාපු බත් කට දෙක තුන පවුලේ හත්දෙනාට මදිවෙන්න ගත්තා. මී ගෙදර තිබ්බ සතුට බඩජාරිකමට යට වෙලා තෙරපිලා මාළිගාවත්තේ කොරෝනාවලට බෙදපු සල්ලි ගන්න ආපු දුප්පත් මිනිස්සු මැරුණා වගේම මියෑදුණා. ඉතිං මී තාත්තා විදිහට පොරට තිබ්බ භාරදූරම රාජකාරිය වුණේ ඇතිවෙන්න කෑම ගෙනල්ලා ගෙදර බලව්‍යුහය පවත්වාගෙන යන එක. බලය මෙහෙක් කරද්දි නැති වෙලා යන්න පුළුවන්. සැණෙකින් මියැදෙන සැණෙලියක් වගේ. ඒ ගැන හොඳටම මීටරෙන් හිටපු මී පුත්තු හැමතිස්සෙම රබර් ඇහැගහං හිටියේ මී අම්මවයි මී සහෝදරියොවයි යටකරගන්න මාන බලාගෙන.

මී තාත්තා අසම්මතය පවත්වාගෙන යන්න කැමති එකා. පොරට ඕන වුණේ නෑ ව්‍යභිචාරී එහෙම නැත්තං ඉන්සෙස්ට් මතින්ම විස්තෘත පවුලක් ගොඩනගන්න. පොරට ඇත්තටම ඕන වුණේ සම්මතයෙං බැහැර ගිහිං ලේ නෑකමක් නැති සමවයස් මීයො අතර පමණක් දෙපාර්ශවයේම කැමැත්ත මූලිකව අන්තරාභිජනනය සිදුවෙනවට. න්‍යෂ්ටික පවුලක් හැදෙනවට. පොර ඒකට ඉහළ උසාවියේ නඩුවකුත් දාලා දාන්න ඕන හැම පෙත්සමක්ම දාලා යන්න ඕන හැමතැනටම ගිහිං පැමිණිලි කරලා තිබ්බේ. හැබැයි වෙච්ච උලව්වක් නෑ. මී ආණ්ඩුව හෝ මී ජනරජය සතු අධිකාරී බලය නියෝජනය කරන හැම එකාම හැම තිස්සෙම කිව්වේ සම්මතයට පිටු නොපෑ යුතුයි කියලා. මී තාත්තා අසරණයි. තනි මීයෙක් මොනා කරන්න ද? හදිසියේම එළියේ හිටපු නන්නත්තාරෙ යන වල් බල්ලෙක් බුරන්න ගත්තම මී තාත්තා ආයේ පියවි සිහියට ආවා.

හුළං කවුළුව තිබ්බේ සෑහෙන උඩිං.

දැන් මොනා කරන්න ද, මේ පාන් රාත්තල කොහොමහරි උඩට ඇදං යන්නෝන. මොකෝ දොර ඇරගෙන යන්න කියලා යැ. යතුරක් තිබ්බනං අඩුම ගාණේ ට්‍රයි එකක් වත් දෙන්න තිබ්බා. මී තාත්තා තඩි හුස්මක් අරගෙන පපුව පුම්බගෙන පොලිතින් එකේ පැත්තක් කටිං පටළවගෙන උඩහට තනි කෙලින් රිවර්ස් කරන්න ගත්තා. අමාරුයි කියලා හිතුවට එච්චර අමාරු පාටක් නෑ. ඇදපන් මීපියෝ නැගපන් බඩගිනි යනවා. හෙණ ගේමක් දීලා දඟලලා අර පොඩි හුළං කවුළුවෙං රාත්තලම ගන්න එක තමයි පොඩ්ඩක් අමාරු වුණේ. තණ්ඩලේ දෙන්නා දෙපොළේ හිටියනං අමාරු වෙන්නෑ. තට්ට තනියම නිසා පොඩ්ඩක් අමාරුයි. කොහොමහරි ඇදගත්තා කවුළුවෙං එළියට. දැං කවුළුවෙං ඇතුළට යන්න දතකන හුළඟ මී තාත්තගෙ ගතේ දහඩිය සනසනවා.

එක පාරටම තාප්පෙට සම්බන්ධව තිබ්බ ගේට්ටුව ජර බර ගාගෙන කාලෙකින් ග්‍රීස් නොකරපු රෝද අතු නොගාපු වැලි දූළි මතින් ඇඹරිලා කැරකිලා පැත්තට ඇදෙන්න ගත්තා හෙණ සද්දෙට වඩා පොඩ්ඩක් අඩු සද්දෙකින්. මී තාත්තා කලබල වුණා. මී හදවත දඩ බඩ ගාලා සැළෙන්න පටන් ගත්තා. ෂුවර් එකට පහළ කාමරේ ඉන්න රැවුළා. පොර දෙකේ ගුණාකාරවලින් හොඳට දාගෙන ගෙදර එන්නේ මේ වෙලාවට කියලා මී තාත්තා දන්නවා වුණාට, කලබලේට ඒක මීටරෙන් ගිලිහුණා. ගිලිහුණේ ඒක විතරක් නෙමෙයි. අච්චර ගේමක් දීලා කවුළුවෙන් එළියට ගත්ත තැළිච්ච පාන් රාත්තලත් මී තාත්තගේ කටින් ගිලිහුණා. සරස් ගාලා ඒක කෙලින්ම පහළ පාක් කරලා තිබ්බ බයික්කෙක එහා පැත්තට වැටුණා. හෙණ සොෆ්ට් ලෑන්ඩිං එකක්. පාන් නේ. සද්දයක් නෑ.

මී තාත්තා නොසෙල්වී බලාහිටියා.

හෙළවුණත් දකින්නැති ගාණට වැදිච්ච රැවුළා කෙලිම්ම බයික් එක පාස් කරගෙන ලයිට් එකේ ස්විච් එක අතපතගාන්න ගියා. පාන් එක ඌට මිස් වුණා.

ටික් සද්දෙත් එක්ක ලයිට් එක පත්තුවුණා මහ පාන්දරම එළිය කරගෙන. සුදෝ සුදු එළිය මී තාත්තගේ පවුලේ කුසගින්න කළුවර කරගෙන විහිදිලා ගියා. මී තාත්තා තාමත් හෙළවෙන්නෑ. ලයිට් එක වගේම පොරගේ බලාපොරොත්තුවේ දෑසුත් තාම දැල්වෙනවා.

රැවුළා වැනි වැනි ආපස්සට උගෙ කාමරේ පැත්තට යද්දි අන්ධයගේ පයේ හැපුණු මැණික වගේ පාන් රාත්තල උගේ පයක් යට හිරවුණා. පොඩ්ඩක් නැවතිච්ච රැවුළා පාත් වෙලා පාන් රාත්තල අතට ගත්තා. ඉරිලා නිරුවත් වෙලා තිබ්බ පොලිතින් කවරේ හිලෙන් පාන් පෙති දෙකක් රැවුළගේ අතට පැන්නා. මී තාත්තගේ දෑස් වැහුණා. බලාපොරොත්තු මැකුණා. රැවුළා උඩ බැලුවට හුළං කවුළුව දැක්කෙ නෑ. හුළං කවුළුව දැක්කත් මී තාත්තව දැක්කේ නෑ. මී තාත්තව දැක්කත් මී තාත්තගෙ දෑස් නිවිලා. කළුවරයි. පෙති දෙකත් ඔහේ ඉරිච්ච පොලිතින් එකටම ඔබලා පාන් රාත්තල ළඟ තිබ්බ කිළුටු රෙදි කූඩයක් උඩට විසික් කරපු රැවුළා වැනි වැනිම කොරෝනාවලින් බේරෙන්න අත් හෝදගෙන කාමරේට ගියා.

© 2020 Pamuditha Zen Anjana

කර්ෆිව් එකට දවසකට කලින්

නෑ උණ නෑ පොඩ්ඩක්වත්. දාඩියයි පැළෙන්න. එළිය ගිණි තියලා. එළිය කිව්වට එළිය කළුවරයි. දැං රෑ. නිදිමතක් නැති නිසා සිංදුවක් දාගත්තා. සිංදුවක් දාගත්තම ලියන්න හිතුණා. ලියන්න හිතුණ නිසා දැන් ලියනවා. ලියනවා කිව්වට කීබෝඩ් එක ඔබනවා. අතින් ලියන තරම් ඒක ලල් නෑ. මට හේතුවක් තේරෙන්නෑ. සමහරවිට නොස්ටල්ජියාව හරස් වෙනවා ඇති. කොහොමත් පෑනයි අතයි කියන්නේ වෙන ගනුදෙනුවක්. හිතයි අතයි අල්ලගන්න තැනක්. ඔබන තැනක් නෙමෙයි. මේ ටික මෙහෙම්ම කාලෙකට කලින් ලිව්වා වගේ මතකයි. ෂුවර් නෑ. ෂුවර් නැති නිසා ඔහොම්ම තිබ්බාවේ.

එළියෙ කොරෝනා. සොරි. කොවිඩ්දහනවය. මට හෙම්බිරිස්සාව. පීනසේ කියලා හිත හදාගෙන ඉන්නේ. පීනසේ තමයි. නහයෙන් දිය ඇළ්ළ වගේ තමයි. එළියට ගියේ නෑ දවස් දෙකතුනේම. ගාණ ෂුවර් නෑ. කවුරුහරි රජයේ එකෙක් කියලා තිබ්බා දවස් හතළිහක් ක’ෆිව් එකේ ඉන්න ඕන කියලා. එළියට ගියානං ඒ කඩේට. ඒ එළිය තමයි ඉතිං. ගෙවල් ළඟ වුණාට කඩේට යනවා කියන්නේ එළියට යනවා කියන එකම නේ. ඇතුළට වඩා එළිය එළියයි නේ. ඉතිං ඒ එළිය. රෑට නෙමෙයි. රෑ කළුවර.

මාස්ක් ගත්තෙත් නෑ. ගන්න හිතෙන්නෙත් නෑ. මැරෙනවනං මැරෙද්දෙං. එහෙමයි හිතෙන්නේ. සමාජ වගකීමක් ගැන එළියේ මහා හා හෝවක් තියෙනවා තමයි. ඉතිං මට පුක ද? එහෙමයි හිත හදාගන්නේ. එළිය රස්නෙයි මැරෙන්න. එක්කො උණ හැදුණනං දාඩියක් නැතුව ඉන්න තිබ්බා. දාඩිය නැතිවුණානම් දාඩිය බිබිලි එන්නෑ. එහෙනං දැවිල්ල තැන් ටිකත් සනීපෙට තියෙයි. හැබැයි අසනීප යි. මොකද උණ නේ. කැස්ස නැතුව උණ හැදුණට කොරෝනා නෙමෙයි නේ. එහෙමයි හිත හදාගන්නේ.

බොන්න ඕන. සල්ලි නෑ. සල්ලි තියෙන යාලුවොත් එළියට එන්නෑ. එළියට එන්න රෙඩි උං ගාව සල්ලි නෑ. සිගරට් එකක් තියෙනවා බංකර් කරපු. ඒක හෙටට තියාගන්නවා. අද ගැහුවොත් හෙට රෑට එකක් නැතිවෙනවා. අනික දැං ගැහුවොත් නහයට කෙළ වෙනවා. නිදිමත නෑ කිය කිය කල් දදා එජ් කර කර ඉඳලා ඉඳලා අන්තිමට ගන්න නින්ද නිදාගන්න බැරි වෙනවා.

නිදාගන්න බැරි වෙනවා කියන්නේ ජීවිතයේ පර්පස් එක, ඒ කිව්වේ අරමුණ, නිකංම නිකං අරමුණ නෙමෙයි, ජීවිතයේ ඒකායන අරමුණ මිස් වෙනවා. හොඳ නින්දක් තරම් වටින දෙයක් ලෝකෙ වෙන කොහෙවත් තියෙන්න බෑ. උඹලා නිවන ස්වර්ගය අරක මේක හෙණ බයිලා කිව්වට මටනං නිවනටත් ස්වර්ගයටත් ඉහළින් නින්ද තියෙන්නේ. ෆේස්බුක් එකේ තිබ්බ පෝස්ට් එකක් මතක් වුණා. උදේට නැගිටින්න තියෙන්න අමාරුව හිතපං. නිදාගත්තම තියෙන සනීපේ හිතපං. ඒක සදාකාලික නින්දක් වුණොත් තවත් හොඳයි. ඒ කිව්වේ නිදාගන්නවා, ආයේ කවදාවත් නැගිටින්නෑ. චුට්ටක්වත්? නෑ චුට්ටක්වත් නැගිටින්නෑ.

මදුරුවෝ කණවටේ සෙල්ලං කරනවා. පිටිපස්සේ ඉඳං කොනිත්තනවා. උංටත් හෙණ ආතල් තියෙන්නේ. සමහර වෙලාවට තැළිලා ඇඹරුණාම ඉතුරු වෙච්ච පුක විතරක් දඟලනවා. සමහර වෙලාවට කකුලක් දෙකක්. මට ඉතිං හිනාත් යනවා. හැබැයි ටක් ගාලා නවතිනවා. තාම පව් කරන්න බයයි. ඊටපස්සේ අපි හෙණ පව් ඕයි කියලා හිතිලා ආයේ හිනා යනවා. නොතේරෙන කාලේ තේරෙනකං ප්‍රෝග්‍රෑම් කරපු ජීවිත. පව් පිං අස්සේ හිරකරලා මරලා දාන හිත්. නොදකිං තුඃ තොපේ යහපතට හිතැති තිත්!

මූණ අල්ලන්නමයි හිත. නහයත් දෙනවා වදයක්. හෙණම අමාරුයි නොඅල්ලා ඉන්න. ඉතිං අල්ලනවා. හිතට එන දේට ඉඩ දෙනවා. ඉතුරු ටික පස්සේ. ආෆ්ටර්මැත්ස් කියන්නේ ඒකනේ. මට කොහොමත් මැත්ස් පේන්න බෑ. ආෆ්ටර් ද ප්‍රී ද වැඩක් නෑ. මැත බෑ. මැතට තිත. මෙච්චරකල් මැතෙන් සතපහක වැඩක් අරං නෑ. සතපහෙන් ඊට වඩා වැඩ අරං තියෙනවා.

ඉස්සර අම්මා ගාව තිබ්බා එකතු කරපු තඹ සත පහේ දහයේ ඒවා හෙණ ගොඩක්. ඉතිං මගේ වැඩේම ඒවා තිබ්බ බාස්කට් එකෙං බිමට හළන එක. හදනවා එක උඩ එක තියලා බිල්ඩිං. හරියටම දැං කොළඹ වගේ. ඊටපස්සේ ඒ කාසි බිල්ඩිං ඔක්කොම කුඩු කරනවා. ඒ කිව්වේ, සෙල්ලං කාර්, හරි වචනෙං කිව්වොත් හොට් වීල්ස් වලිං හප්පලා බිම දානවා. නයින් ඉලෙවන් ප්ලේන් එක ට්වින් ටවර්ස් වල හැප්පුවා වගේ තමයි. හැබැයි මැද්දෙං උඩිං නෙමෙයි. යටිං. එහෙම බිම දාලා, ඒවා එකතු කරලා බාස්කට් එකට ආයේ දානවා. ආයේ එළියට හළනවා. ඕක ඇති වෙනකං රිපීට් කරනවා. ඊට පස්සේ පාරට යන ටයිම් එකක් අල්ලලා, හොරෙං දෙක තුනක් උස්සං ගිහිං තියනවා රේල් පීල්ලක් උඩ.

කෝච්චිය කෑගහගෙන එද්දි අයිං වෙනවා. අයිං වුණාට බෙල්ල තිබ්බා වගේ තමයි. කාසිය ෆ්ලැටේ ෆ්ලැට්. තිබ්බට වඩා ලොකුත් වෙලා. ඒ වෙලාවෙම අල්ලන්නනං කොහොමටත් බෑ. පට්ටම රස්නෙයි. දැං වගේම තමයි. රස්නේ දේවල් ලොකුයි. බැස්සම සීතලයි. හැංගෙනවා. මං රස්නෙට වඩා සීතලට ආසයි. සීතලේ ගුලි වෙන්න පුළුවං. රස්නෙත් එක්ක නිදාගන්නවත් පුළුවන් ද? එහෙමයි මොළේ අහන්නේ. මොළේ කියන්නේ, හිත නෙමෙයි. රස්නේ කියන්නේ උණුහුමත් නෙමෙයි.

සුදුපාට ස්ක්‍රීන් එකේ කළු පාට අකුරු පිරෙනවා. ඉතිරෙන කිරි මැදිං පේන මැටි කළේ ගෑවිච්ච දැළි වගේ. කළේ දැළි කළුයි. කිරි කිරි සුදුයි. මට මතක් වෙනවා කාලයක්. සුදු ස්ක්‍රීන් එකේ කළු පාට අකුරු වලට ආදරේ කරපු කාලයක්. ඒ අකුරුත් එක්ක තනි වෙන්න, ගුහාගතවෙලා වරු ගණන් අකුරු ගණන් කරන්න, හිනා වෙන්න, කැත ලස්සන වචනවලින් කිව්වොත් නන්ස්ටොප් මන්දස්මිතයන් අස්සේ අතරමං වෙන්න, හීනත් එක්ක අත් අල්ලං ඇවිදින්න හීන දැකපු කාලයක්.

කාලය කාලය අස්සේ අතරමං වෙලා කාලයත් එක්ක අමතක වෙනවා. හීන හීන අස්සේ පැටළිලා හීනත් එක්ක මතකෙට එනවා.

මිනිස්සුංගෙ ලොකුම හැකියාව අමතක කරන්න පුළුවන් එක කියලා පොඩි කාලේ මං කියවපු පොතක තිබුණා. ඒකේ අපිට වඩා, ඒ කිව්වේ මිනිස්සුන්ට වඩා, සෑහෙන ඇඩ්වාන්ස්ඩ් ඩ්‍රොයිඩෙක් වැඩි දෙනාගේ යහපත උදෙසා බිල්ඩිමක් පිටිං විනාශ කරලා දානවා. ඒකට අපේ මනුස්ස සෙට් එක තෑන්ක් කරනවා. ඩ්‍රොයිඩ් ෆුල් අප්සට්. ඌ එතනදි කියනවා මාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ඉන්පුට් වෙන කිසිම ඩේටා එකක් තනියම ඉරේස් කරගන්න බැරි වෙන්න කියලා. ඌ අහනවා උඹලට උඹලා ජීවිතේ අකමැතිම දේ අමතක කරන්න බැරි වුණොත් උඹලා මොකද කරන්නේ කියලා. ඇත්ත තමයි. සමහර දේවල් තියෙනවා මතකයි. ඒ වුණාට අමතක කරලා දාලා ඉන්න පුළුවන්. අමතකම නෑ. ඒත් මතක නෑ. ඒක තමයි මිනිස්සුංගෙ ලොකුම හැකියාව.

ලස්සනම තැන සහ අර පොත ලියපු එකී නොලියපු දේ තමයි, ඩ්‍රොයිඩ් අහන ප්‍රශ්නෙ කෙලින්ම අනිත් පැත්ත. අකමැති දේ නෙමෙයි, කැමතිම දේවල් අමතක කරන්න පුළුවන් කියන එක. ඒක තමයි හැකියාව. අකමැති දේවල් අමතක කරනවා කියන්නේ ඔබ්වියස්. කැමති දේවල් අමතක කරනවා කියන්නේ ඔබ්ලිවියස්. එහෙමයි හිතෙන්නේ. එහෙමයි හිත හදාගන්නේ. එහෙමයි හිත කියන්නේ. එතකොට තමයි හිත අහන්නේ.

ඈ තාම මතක ද?

© 2020 Pamuditha Zen Anjana