කළුවර සඳ

මගේ ඇස් වලින් ලේ ගැලුවා

ඒ ලේ
ඇළි ගංගා වෙලා මුහුදක් තරම් පිරිලා
මහාද්වීප වට කරගත්තා

හදිසියේම
උගුර කසන්න ගත්තම
මං හයියෙන් කෑරුවා

උගුර අස්සෙං තෙරපි තෙරපි
අමාරුවෙන් රිංගලා එළියට ආපු කාක්කෙක්
පියාඹන ගමන් ගර්ජනා කරා

පපුව අස්සේ මොකෙක් නමුත් පහුරු ගානවා
රිදිල්ල දරාගන්න බැරුව මං ඔළුව පොළේ ගැහුවා
ආයේ උගුර පිම්බෙනවා දැනුණම
මං හිතුවා ආයේ කාරනවා කියලා

“ක්‍රාක්” ගාලා කාරද්දි
බිලියන ගාණක් කාක්කෝ
පුදුමෙට ඇරිච්ච කටින් පියාඹලා ගිහිං
අහස රතුකළු කරගත්තා

උංගේ පිහාටු වල ගෑවිලා තිබ්බ
මගේම ලේ
අනෝරා වැස්සක් වෙලා
මාවම තෙමාගෙන
පොළවට ඇදගෙන වැටුණා

ඒ ලේ කළුවරේ
මං
ආයේ මුහුද හොයාගෙන ගියා
මගේම ලේ වලිං හැදිච්ච මුහුදේ
මං පීනුවා

මුහුද හදිසියෙම ගඟක් වෙලා
උඩුගං බලා එවරස්ට් නගින්න ගත්තා
කොච්චර දුර පීනගෙන ගියත්
මට මගේ හිත හොයාගන්න බැරිවුණා

කමක් නෑ..

මං හිතන්නේ ඒක තාම ඔයා ගාව
ඔයා ඒක පරිස්සමට තියාගන්න
පීන පීන හිස් තැනක බිත්ති පහුරු ගාපු
තෙස්ට්‍රල් සතෙක්ට හායි කියාගෙන
මං මගේ උගුරෙන්ම එළියට පියෑඹුවා

එළියේ කන්ද උඩට
හරි ලස්සනට හඳ පායලා තිබ්බා
ඒ හඳ එළිය මට පාර හොයාගන්න උදව් කරයි

දැනට මට ඒ ඇති.

© 2021 Pamuditha Zen Anjana