කර්ෆිව් එකට දවසකට කලින්

නෑ උණ නෑ පොඩ්ඩක්වත්. දාඩියයි පැළෙන්න. එළිය ගිණි තියලා. එළිය කිව්වට එළිය කළුවරයි. දැං රෑ. නිදිමතක් නැති නිසා සිංදුවක් දාගත්තා. සිංදුවක් දාගත්තම ලියන්න හිතුණා. ලියන්න හිතුණ නිසා දැන් ලියනවා. ලියනවා කිව්වට කීබෝඩ් එක ඔබනවා. අතින් ලියන තරම් ඒක ලල් නෑ. මට හේතුවක් තේරෙන්නෑ. සමහරවිට නොස්ටල්ජියාව හරස් වෙනවා ඇති. කොහොමත් පෑනයි අතයි කියන්නේ වෙන ගනුදෙනුවක්. හිතයි අතයි අල්ලගන්න තැනක්. ඔබන තැනක් නෙමෙයි. මේ ටික මෙහෙම්ම කාලෙකට කලින් ලිව්වා වගේ මතකයි. ෂුවර් නෑ. ෂුවර් නැති නිසා ඔහොම්ම තිබ්බාවේ.

එළියෙ කොරෝනා. සොරි. කොවිඩ්දහනවය. මට හෙම්බිරිස්සාව. පීනසේ කියලා හිත හදාගෙන ඉන්නේ. පීනසේ තමයි. නහයෙන් දිය ඇළ්ළ වගේ තමයි. එළියට ගියේ නෑ දවස් දෙකතුනේම. ගාණ ෂුවර් නෑ. කවුරුහරි රජයේ එකෙක් කියලා තිබ්බා දවස් හතළිහක් ක’ෆිව් එකේ ඉන්න ඕන කියලා. එළියට ගියානං ඒ කඩේට. ඒ එළිය තමයි ඉතිං. ගෙවල් ළඟ වුණාට කඩේට යනවා කියන්නේ එළියට යනවා කියන එකම නේ. ඇතුළට වඩා එළිය එළියයි නේ. ඉතිං ඒ එළිය. රෑට නෙමෙයි. රෑ කළුවර.

මාස්ක් ගත්තෙත් නෑ. ගන්න හිතෙන්නෙත් නෑ. මැරෙනවනං මැරෙද්දෙං. එහෙමයි හිතෙන්නේ. සමාජ වගකීමක් ගැන එළියේ මහා හා හෝවක් තියෙනවා තමයි. ඉතිං මට පුක ද? එහෙමයි හිත හදාගන්නේ. එළිය රස්නෙයි මැරෙන්න. එක්කො උණ හැදුණනං දාඩියක් නැතුව ඉන්න තිබ්බා. දාඩිය නැතිවුණානම් දාඩිය බිබිලි එන්නෑ. එහෙනං දැවිල්ල තැන් ටිකත් සනීපෙට තියෙයි. හැබැයි අසනීප යි. මොකද උණ නේ. කැස්ස නැතුව උණ හැදුණට කොරෝනා නෙමෙයි නේ. එහෙමයි හිත හදාගන්නේ.

බොන්න ඕන. සල්ලි නෑ. සල්ලි තියෙන යාලුවොත් එළියට එන්නෑ. එළියට එන්න රෙඩි උං ගාව සල්ලි නෑ. සිගරට් එකක් තියෙනවා බංකර් කරපු. ඒක හෙටට තියාගන්නවා. අද ගැහුවොත් හෙට රෑට එකක් නැතිවෙනවා. අනික දැං ගැහුවොත් නහයට කෙළ වෙනවා. නිදිමත නෑ කිය කිය කල් දදා එජ් කර කර ඉඳලා ඉඳලා අන්තිමට ගන්න නින්ද නිදාගන්න බැරි වෙනවා.

නිදාගන්න බැරි වෙනවා කියන්නේ ජීවිතයේ පර්පස් එක, ඒ කිව්වේ අරමුණ, නිකංම නිකං අරමුණ නෙමෙයි, ජීවිතයේ ඒකායන අරමුණ මිස් වෙනවා. හොඳ නින්දක් තරම් වටින දෙයක් ලෝකෙ වෙන කොහෙවත් තියෙන්න බෑ. උඹලා නිවන ස්වර්ගය අරක මේක හෙණ බයිලා කිව්වට මටනං නිවනටත් ස්වර්ගයටත් ඉහළින් නින්ද තියෙන්නේ. ෆේස්බුක් එකේ තිබ්බ පෝස්ට් එකක් මතක් වුණා. උදේට නැගිටින්න තියෙන්න අමාරුව හිතපං. නිදාගත්තම තියෙන සනීපේ හිතපං. ඒක සදාකාලික නින්දක් වුණොත් තවත් හොඳයි. ඒ කිව්වේ නිදාගන්නවා, ආයේ කවදාවත් නැගිටින්නෑ. චුට්ටක්වත්? නෑ චුට්ටක්වත් නැගිටින්නෑ.

මදුරුවෝ කණවටේ සෙල්ලං කරනවා. පිටිපස්සේ ඉඳං කොනිත්තනවා. උංටත් හෙණ ආතල් තියෙන්නේ. සමහර වෙලාවට තැළිලා ඇඹරුණාම ඉතුරු වෙච්ච පුක විතරක් දඟලනවා. සමහර වෙලාවට කකුලක් දෙකක්. මට ඉතිං හිනාත් යනවා. හැබැයි ටක් ගාලා නවතිනවා. තාම පව් කරන්න බයයි. ඊටපස්සේ අපි හෙණ පව් ඕයි කියලා හිතිලා ආයේ හිනා යනවා. නොතේරෙන කාලේ තේරෙනකං ප්‍රෝග්‍රෑම් කරපු ජීවිත. පව් පිං අස්සේ හිරකරලා මරලා දාන හිත්. නොදකිං තුඃ තොපේ යහපතට හිතැති තිත්!

මූණ අල්ලන්නමයි හිත. නහයත් දෙනවා වදයක්. හෙණම අමාරුයි නොඅල්ලා ඉන්න. ඉතිං අල්ලනවා. හිතට එන දේට ඉඩ දෙනවා. ඉතුරු ටික පස්සේ. ආෆ්ටර්මැත්ස් කියන්නේ ඒකනේ. මට කොහොමත් මැත්ස් පේන්න බෑ. ආෆ්ටර් ද ප්‍රී ද වැඩක් නෑ. මැත බෑ. මැතට තිත. මෙච්චරකල් මැතෙන් සතපහක වැඩක් අරං නෑ. සතපහෙන් ඊට වඩා වැඩ අරං තියෙනවා.

ඉස්සර අම්මා ගාව තිබ්බා එකතු කරපු තඹ සත පහේ දහයේ ඒවා හෙණ ගොඩක්. ඉතිං මගේ වැඩේම ඒවා තිබ්බ බාස්කට් එකෙං බිමට හළන එක. හදනවා එක උඩ එක තියලා බිල්ඩිං. හරියටම දැං කොළඹ වගේ. ඊටපස්සේ ඒ කාසි බිල්ඩිං ඔක්කොම කුඩු කරනවා. ඒ කිව්වේ, සෙල්ලං කාර්, හරි වචනෙං කිව්වොත් හොට් වීල්ස් වලිං හප්පලා බිම දානවා. නයින් ඉලෙවන් ප්ලේන් එක ට්වින් ටවර්ස් වල හැප්පුවා වගේ තමයි. හැබැයි මැද්දෙං උඩිං නෙමෙයි. යටිං. එහෙම බිම දාලා, ඒවා එකතු කරලා බාස්කට් එකට ආයේ දානවා. ආයේ එළියට හළනවා. ඕක ඇති වෙනකං රිපීට් කරනවා. ඊට පස්සේ පාරට යන ටයිම් එකක් අල්ලලා, හොරෙං දෙක තුනක් උස්සං ගිහිං තියනවා රේල් පීල්ලක් උඩ.

කෝච්චිය කෑගහගෙන එද්දි අයිං වෙනවා. අයිං වුණාට බෙල්ල තිබ්බා වගේ තමයි. කාසිය ෆ්ලැටේ ෆ්ලැට්. තිබ්බට වඩා ලොකුත් වෙලා. ඒ වෙලාවෙම අල්ලන්නනං කොහොමටත් බෑ. පට්ටම රස්නෙයි. දැං වගේම තමයි. රස්නේ දේවල් ලොකුයි. බැස්සම සීතලයි. හැංගෙනවා. මං රස්නෙට වඩා සීතලට ආසයි. සීතලේ ගුලි වෙන්න පුළුවං. රස්නෙත් එක්ක නිදාගන්නවත් පුළුවන් ද? එහෙමයි මොළේ අහන්නේ. මොළේ කියන්නේ, හිත නෙමෙයි. රස්නේ කියන්නේ උණුහුමත් නෙමෙයි.

සුදුපාට ස්ක්‍රීන් එකේ කළු පාට අකුරු පිරෙනවා. ඉතිරෙන කිරි මැදිං පේන මැටි කළේ ගෑවිච්ච දැළි වගේ. කළේ දැළි කළුයි. කිරි කිරි සුදුයි. මට මතක් වෙනවා කාලයක්. සුදු ස්ක්‍රීන් එකේ කළු පාට අකුරු වලට ආදරේ කරපු කාලයක්. ඒ අකුරුත් එක්ක තනි වෙන්න, ගුහාගතවෙලා වරු ගණන් අකුරු ගණන් කරන්න, හිනා වෙන්න, කැත ලස්සන වචනවලින් කිව්වොත් නන්ස්ටොප් මන්දස්මිතයන් අස්සේ අතරමං වෙන්න, හීනත් එක්ක අත් අල්ලං ඇවිදින්න හීන දැකපු කාලයක්.

කාලය කාලය අස්සේ අතරමං වෙලා කාලයත් එක්ක අමතක වෙනවා. හීන හීන අස්සේ පැටළිලා හීනත් එක්ක මතකෙට එනවා.

මිනිස්සුංගෙ ලොකුම හැකියාව අමතක කරන්න පුළුවන් එක කියලා පොඩි කාලේ මං කියවපු පොතක තිබුණා. ඒකේ අපිට වඩා, ඒ කිව්වේ මිනිස්සුන්ට වඩා, සෑහෙන ඇඩ්වාන්ස්ඩ් ඩ්‍රොයිඩෙක් වැඩි දෙනාගේ යහපත උදෙසා බිල්ඩිමක් පිටිං විනාශ කරලා දානවා. ඒකට අපේ මනුස්ස සෙට් එක තෑන්ක් කරනවා. ඩ්‍රොයිඩ් ෆුල් අප්සට්. ඌ එතනදි කියනවා මාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ඉන්පුට් වෙන කිසිම ඩේටා එකක් තනියම ඉරේස් කරගන්න බැරි වෙන්න කියලා. ඌ අහනවා උඹලට උඹලා ජීවිතේ අකමැතිම දේ අමතක කරන්න බැරි වුණොත් උඹලා මොකද කරන්නේ කියලා. ඇත්ත තමයි. සමහර දේවල් තියෙනවා මතකයි. ඒ වුණාට අමතක කරලා දාලා ඉන්න පුළුවන්. අමතකම නෑ. ඒත් මතක නෑ. ඒක තමයි මිනිස්සුංගෙ ලොකුම හැකියාව.

ලස්සනම තැන සහ අර පොත ලියපු එකී නොලියපු දේ තමයි, ඩ්‍රොයිඩ් අහන ප්‍රශ්නෙ කෙලින්ම අනිත් පැත්ත. අකමැති දේ නෙමෙයි, කැමතිම දේවල් අමතක කරන්න පුළුවන් කියන එක. ඒක තමයි හැකියාව. අකමැති දේවල් අමතක කරනවා කියන්නේ ඔබ්වියස්. කැමති දේවල් අමතක කරනවා කියන්නේ ඔබ්ලිවියස්. එහෙමයි හිතෙන්නේ. එහෙමයි හිත හදාගන්නේ. එහෙමයි හිත කියන්නේ. එතකොට තමයි හිත අහන්නේ.

ඈ තාම මතක ද?

© 2020 Pamuditha Zen Anjana